JDS Sinhala

'යුද අපරාධ පරීක්‍ෂණයට සහාය දෙන්න' - ජනාධිපති මෛත්‍රීට ජාත්‍යන්තර ඉල්ලීම්

ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්‍ෂණයට පුර්ණ සහයෝගය දක්වන මෙන් රාජ්‍ය නායකයන් සහ මානව හිමිකම් සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහභාගී වීමට මෙතෙක් පෑ විරෝධය අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය (Amnesty International) නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා සිටියි.

'ඉකුත් දශකය තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වගකීම නොතකා හැරීම ශ්‍රී ලංකාවේ ශෝචනීය ධර්මතාව' වී ඇතැයි ක්‍ෂමා ආයතනයේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් (David Griffiths) ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත්, නව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක රාජිත සේනාරත්න පවසා ඇත්තේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා රට තුළ විමර්ශනය කිරීමෙන් අනතුරුව වරදකරුවන්ට දඬුවම් ලබාදෙන බව ය. 'කිසිදු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා කිසිවකුත් භාර නොදෙන' බව ඔහු අවධාරණය කොට තිබේ.

වසර ගණනාවක්ම රජය යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදුකළේ  'ආණ්ඩුවේ මතය තහවුරු කරන දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණ මත යැපීම' පමණක් යයි පවසන ක්‍ෂමා ආයතන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එම පිළිවෙත අවසන් කළ යුතු බව පවසයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන පනත් සම්මත කරගන්නා මෙන්ද, ජනමාධ්‍යවේදීන්ගේ නිදහස හා ප්‍රකාශනයේ අයිතිය සුරකින මෙන්ද ක්‍ෂමා ජාත්‍යන්තරය රජයෙන් තව දුරටත් ඉල්ලා සිටියි.

වත්මන් ජනාධිපතිවරයාද ඇතුළත් පාලන තන්ත්‍රයක් පැවතියදී 'සන්ඩේ ලීඩර්' ආරම්භක කර්තෘ මහමග මරාදැමීම ගැනත් පරීක්ෂණ ආරම්භ කරන බවට මේ වනවිට රජය සහතික වී ඇත. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා බලයට පත් වී දින සියයක් ඇතුළත නීති ගෙන එන බවට මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් සන්ධානය මැතිවරණ පොරොන්දුවක් දී තිබිණි.

බ්‍රිතාන්‍ය අගමැති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයට සුබ පතන බ්‍රිතාන්‍ය අගමැතිවරයා, නව රජය යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්‍ෂණයට සහාය දෙනු ඇති බවට විශ්වාසය පලකරයි. 'මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් පවත්වාගෙන යන පරීක්‍ෂණයට සහාය දීමට ජනාධිපති සිරිසේනට තමන්ගේ අනුබලය ලැබෙන' බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන්කොට තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් යෝජනාව ඇමරිකා එක්සත් ජනපදය සමග ඉදිරිපත් කළ රටවල් අතර බ්‍රිතාන්‍යය ද වේ.

යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ පාලනය සාධනීය පියවර නොගැනීමට විරෝධය පාමින් පසුගිය නොවැම්බරයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ කැනඩා රජයද, සිරිසේන ජනාධිපතිවරයාට සුබපතමින් 'ලැබුනු ජනතා වරම මත පිහිටා පාරදෘශ්‍ය භාවයෙන් යුත්, ප්‍රශ්නවලට පිළිතුරු දෙන, බහුත්වවාදී ආණ්ඩුවක් පිහිටුවීමට ' පියවර ගනු ඇති බවට බලාපොරොත්තු පලකරයි.

බලය බෙදීම

'බලය බෙදාහැරීම, වගකීමෙන් බැඳීම සහ සැබෑ ප්‍රතිසන්ධානය' සම්බන්ධ ප්‍රශ්න විසඳීම සඳහා ලද අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා මෙන් විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් (John Baird) කැනඩා රජය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් බලය බෙදීම සඳහා ගන්නා පියවර මැතිවරණ ප්‍රකාශනයේ දක්වා නැති ජනාධිපතිවරයා ජනමාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් මීට පෙර කියා තිබුණේ පළාත් සභා සම්බන්ධ බලතල තමන් අතම තබා ගන්නා බවයි.

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.