JDS Sinhala

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියක් යටතේ සාහිත්‍යවේදියා දඟගෙට


මාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද කෙටිකතාවක් හේතුවෙන් සම්මානලාභී ලේඛකයකු සිරගත කිරීම සඳහා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමක් යොදා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර තිබේ.

ඒ අනුව, සඳුදා (1) දිනයේදී පොලිස් නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද 'බී' වාර්තාවක් සළකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය, සාහිත්‍යවේදී ශක්තික සත්කුමාර අප්‍රේල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.  

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත (අයි.සී.පී.පී.ආර්. පනත) යටතේ සත්කුමාරට එරෙහිව චෝදනා ගොනුකිරීමට පොලිසිය පියවර ගෙන ඇත්තේ සිවුර ලූ භික්ෂුවක් ප්‍රස්තුත කොටගෙන ඔහු විසින් ලියන ලද කෙටි කතාවක් හේතුවෙනි. 2007දී හඳුන්වා දෙන ලද අංක 56 දරණ අයි.සී.පී.පී.ආර්. පනත මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන බලාත්මක කරනු ලැබුණි.

'ආගමික ද්වේශය'

සත්කුමාර විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළකරන ලද 'අර්ධ' නමැති කෙටි ප්‍රබන්ධය මගින් ආගමික ද්වේශයට අනුබල සපයා ඇති බවට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නමින් තමන් හඳුන්වාගත් අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ලේඛකයාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට පොල්ගහවෙල පොලිසිය ක්‍රියාකර තිබේ.

'වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය ‍හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම' අයි.සී.පී.පී.ආර්. පනත යටතේ නීති විරෝධී ලෙස සැළකෙන අතර අදාළ පනත යටතේ පවරන ලද නඩුවක චූදිතයන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත්වරයකු සතු නොවේ.

සත්කුමාරගේ කෙටි ප්‍රබන්ධය මුල්වරට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවීමෙන් පසු ඔහු සේවය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු භික්ෂුන් 20 දෙනකුගේ පමණ කණ්ඩායමක් ඔහුට එරෙහිව දඬුවම් කිරීමට පියවර ගන්නා මෙන්  ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ට බලකර සිටි බව මාධ්‍ය වාර්තා විසින් අනාවරණය කර තිබුණි.

ඒ අනුව මාර්තු 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවන ලද සත්කුමාරගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුගේ සේවා ප්‍රධානීන් ක්‍රියා කර තිබේ.

2010 සහ 2014 වසරවල දී ජාතික යෞවන සම්මාන උළෙලේදී හොඳම කෙටිකතාකරුවා වශයෙන් සම්මාන ලද ශක්තික සත්කුමාර, වයඹ පළාත් සභාව මගින් සංවිධානය කළ පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයන්හිදී දෙවරක් සම්මානයට පාත්‍ර වී තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.