JDS Sinhala

යුද හමුදා බුද්ධි ප්‍රධානියා යටතේ වධකාගාර තිබූ බව රහස් පොලිසිය කියයි

කිත්සිරි විජේසිංහ විසිනි.


පරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙළේ ආරක්ෂක අංශ බලධාරීන්ගේ ද අනුදැනුම මත විවිධ නම්වලින් නිවාස කුලියට ගෙන රහසිගත වධකාගාර පවත්වාගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය කරුණු හෙළි කරගෙන තිබේ.

'ද නේෂන්' පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් පැහැරගෙන යාම පිළිබඳ නඩුව පසුගිය සඳුදා (20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේදි වැඩිදුර වාර්තාවක්  ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිලිබඳ විස්තර ලබා දී ඇත.

මරදාන ට්‍රිපොලි කඳවුර මුලස්ථාන කොටගත් දෙවැනි සන්නද්ධ බුද්ධි බලකාය විසින් පැහැරගෙන යන පුද්ගලයන් රඳවා තබා ගනිමින් වධ හිංසා පැමිණවීම සඳහා දොම්පේ බදුවත්ත සහ ලංසියාවත්ත ප්‍රදේශවලින් නිවාස දෙකක් කුලියට ලබා ගෙන ඇති බවයි අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති තොරතුරු වාර්තාවල දැක් වේ.

නිවෙසකට රුපියල් හැට දහස බැගින් වන මාසික කුලි මුදල් සෘජුවම ගෙවා තිබෙන්නේ කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන, එවක යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මෙන්ම හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයද දැරූ ලද මේජර් ජනරාල් අමල් කරුණාසේකර විසින් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

“ජාතික ආරක්ෂාව” වෙනුවෙන්

මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ එම ඒකකයේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති මේජර් ප්‍රභාත් සීවලි බුලත්වත්ත විසින් මෙයට පෙර අවස්ථාවකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ලබා දී ඇති කට උත්තරයක ද මේ බව සඳහන්ව ඇතැයි ද එම වාර්තාවෙහි දැක්වේ.  ඔහු එම හෙළිදරව්ව කර ඇත්තේ 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අවස්ථාවක ය.

එසේ වුවද, මේජර් ජනරාල් අමල් කරුණාසේකර මෙන්ම යුද හමුදාපති මහේෂ් සේනානායක  ප්‍රමුඛ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනකුම මෙම වධකාගාර පිළිබඳව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් එම නිවාස යුද හමුදාවේ මුදලින් පවත්වාගෙන ගිය බව ඔවුන් ප්‍රතික්ෂේප කර නැත.

ඔවුන් පවසා ඇත්තේ “ආරක්ෂිත කටයුතු” වෙනුවෙන් කුලියට ගන්නා ලද ඒ නිවාස පිළිබඳව වැඩිදුර තොරතුරු සැපයීම “ජාතික ආරක්ෂාවට තර්ජනයක්” වන බවයි.

නමුත් පසුගිය සඳුදා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව යුද හමුදා බුද්ධි අංශය වෙනුවෙන් එම නිවාස ලබා ගෙන ඇත්තේ නිල ආරක්ෂිත නිවහන් වෙනුවෙන් නොව, දෙවැනි සන්නද්ධ බුද්ධි ඒකකය විසින් පැහැර ගන්නා පුද්ගලයන් රඳවා තබා ගෙන වධහිංසා පැමිණ වීමට සහ විවිධ ආකාරයේ අපරාධ සැලසුම් කිරීම සඳහා ය.

ආරක්ෂක ලේකම් නිහඬයි

දොම්පේ නිවෙස් මිලට ගැනීමට අවසර ලබා දුන් සහ ඒ සඳහා මුදල් අනුමත කළ අය  පිළිබඳවත්,  එම නිවාස කුලියට ගෙන පවත්වාගෙන යාම සම්බන්ධව යම් ලිපි ගොනුවක් යුද හමුදාව හෝ අදාළ බුද්ධි ඒකකය විසින් හෝ නඩත්තු කොට තිබේද යන්න පිළිබඳවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා ඇති බව අනාවරණය වී ඇත.

නමුත් මේ කිසිදු පැනයකට මේජර් ජනරාල් අමල් කරුණාසේකර හෝ හමුදා ප්‍රධානීන්ගෙන් පිළිගත හැකි මට්ටමේ පිළිතුරු නොලැබුණු හෙයින් වත්මන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න වෙතින් ද කරුණු විමසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිපි කිහිපයක්ම යොමු කර තිබේ. ඒ කිසිදු ලිපියකට මේ දක්වා ආරක්ෂක ලේකම්වරයා විසින් පිළිතුරු ලබා දී නොමැති බව ද අධිකරණයට හමුවේ ප්‍රකාශ විය.

කීත් නොයාර් 2008 මැයි 22 දින දෙහිවල පිහිටි ඔහුගේ නිවස ආසන්නයේදි පැහැර ගෙන යන ලද අතර පසුව පහර දී වධ හිංසා පමුණුවා නිදහස් කර එවා තිබුනි.

මෙම අපරාධය  සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දෙවන සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව සිටි මේජර් ප්‍රභාත් සීවලි බණ්ඩාර බුලත්වත්ත, සැරයන් දුමින්ද වීරරත්න, සැරයන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර, කෝප්‍රල් නිශාන්ත ජයතිලක යන අය ඇප පිට නිදහස්ව සිටින අතර මේජර් ජනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් භාරයේ පසු වේ. එමෙන්ම, සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේද දෙවැනි සන්නද්ධ බුද්ධි ඒකකයේ මේජර් බුලත්වත්ත ප්‍රමුඛ හමුදා සාමාජිකයන් පිරිසකි.

එකම කණ්ඩායමක්

කෙසේ නමුත් කීත් නොයාර් පැහැර ගෙන යාමෙන් පසුව 'ද නේෂන්' පුවත්පතේ එවකට සිටි කර්තෘ ලලිත් අලහකෝන් විසින් දුරකතනයෙන් ඒ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතත්, ඔහු විසින් එවකට සිටි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්ෂක උපදේශක කපිල හෙන්දවිතාරණටත්, ඔහු මගින් යුද හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් අමල් කරුණාසේකරටත් දැනුම් දී අතර, කරුණාසේකර විසින් මේ සම්බන්ධයෙන් මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත වෙත දන්වා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.