JDS Sinhala

මාධ්‍ය මර්දනය ගැන පොරොන්දු වූ පරීක්‍ෂණ ඉල්ලා විරෝධතා

නමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට පසුගිය කාලය පුරා එල්ල වූ සියලු ම ආකාරයේ ප්‍ර‍හාරයන්ට එරෙහිව වින්දිත මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉල්ලා සිටීම අරමුණු කොටගත් වැඩසටහන් ගණනාවක් ජනවාරි 24 වැනි දා පැවැත්වීමට ජනමාධ්‍ය සංවිධාන හා  සිවිල්  සමාජ සංවිධානය කිහිපයක් කටයුතු යොදා තිබේ.

ජනමාධ්‍යයට එරෙහි ප්‍ර‍හාරයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවට පොරොන්දු දෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුවට වසර දෙකක් පිරී ඇති මුත්, ආණ්ඩුව මේ දක්වා එම ප්‍ර‍තිඥාව ඉටුකර නැති බව පෙන්වා දෙන මෙම සංවිධාන, වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මෙම වැඩසටහන් දියත් කිරීමට යොදාගනෙ ඇත්තේ මෙයින් වසර හතකට පෙර, එනම් 2010 වසරේ දී  මාධ්‍යවේදී ප්‍ර‍ගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද ජනවාරි 24 වැනිදා ය.

ජනාධිපතිවරයාට තැපැල්පත්

ජනමාධ්‍යවේදී ඝාතන, අතුරුදහන් කිරීම් මෙන්ම ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එල්ල කළ ප්‍ර‍හාර ද ඇතුළු සියලු බලපෑම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස වත්මන් ‘යහපාලන‘ ආණ්ඩුව පත් වූ අවස්ථාවේ දී තමන් විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නැවත සිහිකැඳවීමක් වශයෙන්, ජනාධිපතිවරයා වෙත තැපැල්පත් යොමුකිරීමේ වැඩසටහනක් ජනවාරි 24 වැනිදා  පෙරවරු 11 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

ජනමාධ්‍යයට එරෙහි ව පසුගිය කාලයේ සිදු වූ සියලු ප්‍ර‍හාරයන් ඇතුළු බලපෑම් සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට වගකිවයුත්තන් නීතිය හමුවට කැඳවීම උදෙසා ජනාධිපති කොමිසමක් පත්කරන මෙන් තමන් මෙයින් වසර දෙකකට පෙර ‘යහපාලන‘ ආණ්ඩුව බලයට පත් විගස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කොට ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනමාධ්‍ය ඇමැතිවරයා ද දැනුවත් කළ බව කියා සිටින ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, වසරක් ඉක්ම ගිය තැන ද ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍ර‍තිචාරයක් ආණ්ඩුවෙන් නොදැක්වුණු කල, පසුගිය වසරේ ජනවාරි මස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී මහජන පෙත්සමක් අත්සන් කොට නැවතත් එම ඉල්ලීම ජනාධිපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කළ බවත් කියා සිටී. එහෙත් එම සිහිකැඳවීමෙන් ද දැන් වසරක් ඉක්ම ගොස් ඇතත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍ර‍තිචාරයක් නොවීම හේතුවෙන් තමන් මෙම තැපැල්පත් යොමුකිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව එම සංගමය කියා සිටී.

මෙම තැපැල්පත් සඳහා අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නියෝජිතයන්ට මෙන් ම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන්ට ද, වෘත්තීයවේදීන්ට, සංස්කාරකවරුන්ට, ජනමාධ්‍ය ආයතන නියෝජිතයන්ට හා ජනමාධ්‍යවේදීන්ට ද ආරාධනා කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘

‘එක්නැලිගොඩ මිතුරෝ‘ සහ ජාතික විද්වත් මණ්ඩලය එක්ව එදින ම සවස 3ට ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් කතිකාවක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍ර‍වණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි දී ප්‍ර‍වීණ ලේඛක හා පරිවර්තක, පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ මෙන් ම දඹර අමිල හිමි ද දේශන පැවැත්වීමට නියමිත ය.

2010 ජනවාරි මස 24 වැනිදා, එනම් එම වසරේ පැවැති ජනාධිපතිවරණයට දිනකට පෙර සිදුවූ ප්‍ර‍ගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ නඩුවේ සැකකාර හමුදා නිලධාරීන් දහතුන් දෙනාම මේ වන විට ඇප පිට නිදහස් කර සිටින අතර, නඩුවේ චූදිතයන් ලෙස නම් කරන විට සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටි සියලු සැකකාර නිලධාරීහු මෙම ජනවාරි මාසය තුළම යළි හමුදා සේවයේ පිහිටුවනු ලැබ සිටිති. 

අධිෂ්ඨාන පූජාව

එදින ම සවස 6ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ‘යහපාලනයට අවුරුදු දෙකයි -  ජනවාරිය තවමත් කළුයි‘ යන මැයෙන් පහන් දැල්වීමේ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු යොදා තිබේ. මාධ්‍ය නිදහස සහ ප්‍ර‍කාශනයේ නිදහස සඳහා සටන් වැද ඝාතනය වූ හා ප්‍ර‍හාරයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් ‘කළු ජනවාරිය‘ නමින් රාජපක්ෂ පාලන සමයේ පටන් පැවැත්වූ විරෝධතා ව්‍යාපරයේ මේ වසරේ සැමරුම ලෙස තමන් මෙම අධිෂ්ඨාන පූජාව පවත්වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.