JDS Sinhala

ලංකා ඊ නිවුස් සංස්කාරකට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්

දැනට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබා සිටින ලංකා ඊ නිවුස් සංස්කාරක සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටින වරෙන්තුවක් ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් සිකුරාදා  (25) නිකුත් කෙරිණි.

මීට දින කිහිපයකට පෙර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකා ඊ නිවුස් සංස්කාරක සඳරුවන් සේනාධීර විසින් අධිකරණයේ විනිසුරුවරයන්ට අපහාස වන අයුරින් සිය වෙබ් අඩවියේ වාර්තා පළ කර ඇති බව ය. ඊට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගනිමින් ඔහුට එරෙහිව කටයුතු කරන බව ද ඇමතිවරයා  එහිදී  පැවසීය.

පෙත්සම් 14ක්

අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට දින කිහිපයකට පසු (23) කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතානගේ විසින් ලංකා ඊ නිවුස් වෙබ් සංස්කාරකවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ගොනු කරන ලදී. එම වෙබ් අඩවිය මගින් අධිකරණයට අපහාස කර ඇති බව දක්වමින් ගොණු කරන ලද පෙත්සම්කරුගේ  නීතිඥයා ලෙස කටයුතු කරනුයේ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය යි.

අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ උග්‍ර විවේචනාත්මක ප්‍රවෘත්ති පළකරන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වා ව  කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් බන්ධනාගාරයට ගොස් රහසිගතව හමුවූ බවට පසුගිය දා අනාවරණය කර සිටියේය.  මේ වනවිට අධිකරණ සේවා කොමිසන් සභාව විසින් ආබ්දීන් විනිසුරුවරියගේ සේවය අත්හිටුවා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු සේ සැළකෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වාගේ අධිකරණ කටයුතුවලදී නීති උපදේශකයෙකු ලෙස ද ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය කටයුතු කර තිබේ. ඔහු  ඉතාලියේ ශ්‍රීලංකා  තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී සිදුකල මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලංකා ඊ නිවුස් මගින් මීට පෙර වාර්තා කළේය.

හමුදා ඔත්තු සේවා

ඉකුත් පාලන සමයේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරන ලද  මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණ පැවැත්වීමට ජනාධිපති සිරිසේනගේ නායකත්වය යටතේ පිහිටුවන ලද ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රතිඥා ලබා දී තිබුණි. නමුත් සන්ඩේ ලීඩර් ප්‍රධාන සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හා අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධීන්වලට සම්බන්ධව අත් අඩංගුවේ පසුවූ හමුදා ඔත්තු සේවා නිලධාරින් සියළු දෙනා පසුගිය දෙමස තුළ ඇප මත මුදා හැර තිබේ.

ඉකුත් ඔක්තෝබර් මාසයේ කොළඹ දී පැවැති රැස්වීමක් අැමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුදා නිලධාරීන් අත් අඩංගුවේ රඳවා සිටීම පිළිබඳව සිය අප්‍රසාදය විවෘතව පළකර සිටියේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුව පිළිබබඳ විවේචනාත්මක අදහස් දැරූ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන්ට එරෙහිව ගෙනයනු ලැබූ මර්දනය හමුවේ ලංකා ඊ නිවුස් සංස්කාරකවරයා දේශපාලන රැකවරණය පතා රටින් පිටුවහල් වූයේ 2010 වසරේදී ය.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.