JDS Sinhala

ඝාතනය කළ ධර්මරත්නම් සිවරාම්ට යුක්තිය ඉල්ලා කොළඹ දී විරෝධතා

ප්‍ර‍වීණ මාධ්‍යවේදියෙකු හා දේශපාලන විශ්ලෙෂකයෙකු වූ ධර්මත්නම් සිවරාම්ගේ ඝාතනය පිළිබඳ විධිමත් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයෝ සිකුරාදා (29) කොළඹදී උද්ඝෝෂණය කළහ.

එකළොස් වසරකට පෙරෙ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉල්ලා පැවැත් වූ ඒකාබද්ධ උද්ඝෝෂණය කැඳවා තිබුණේ දෙමළ ජනමාධ්‍ය සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යකරුවන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස උදෙසා මාධ්‍යවේදියෝ යන මාධ්‍ය සංවිධාන සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති එකමුතුවක් විසිනි.

අධි ආරක්‍ෂක කලාපයක

2005 අප්‍රේල් 28වැනිදා රාත්‍රියේ බම්බලපිටියේදී සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ ධර්මරත්නම් සිවරාම්ගේ වෙඩිතබා ඝාතනය කරන ලද සිරුර පසුදා අධි ආරක්‍ෂක කලාපයක් වූ පාර්ලිමේන්තුවට යාබද කිඹුලා ඇළ ප්‍රදේශයේ දමා ගොස් තිබී හමුවිය.

තරාකී නමින් ප්‍රකටව සිටි සිවරාම් ඉංග්‍රීසි සහ දෙමළ බසින් සම්පාදනය කළ ලිපි ලේඛන, දි අයිලන්ඩ්, සන්ඩේ ටෛම්ස්, ටැමිල් ටෛම්ස්, ලංකා ගාඩියන්, මිඩ් වීක් මිරර්, ඩේලි මිරර්, වීරකේසරී, සරිනිහර් යනා දී පුවත්පත් හා වාර සඟරා ගණනාවකම පළ වූ අතර 2002 වසරේදී ආරම්භ කළ ‘නෝත් ඊස්ටර්න් හෙරල්ඩ්‘ පුවත්පත ජේ එස් තිස්සනායගම් හා එක්ව සංස්කරණය කරන ලද්දේ ද ඔහු විසිනි. සිවරාම්ගේ පුරෝගාමී දායකත්වයෙන් 1997දී ආරම්භ කළ ටැමිල් නෙට් වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරයෙකු ලෙස හෙතෙම සිය අවසාන මොහොත දක්වාම කටයුතු කළේය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.