JDS Sinhala

‘මාධ්‍ය ක්‍රියාකාරිකයන්ම අපිව පාවාදීම අවාසනාවක්‘ - දෙමළ මාධ්‍යවේදී සසීකරන්

මන් ජනමාධ්‍යවේදියෙකු හෝ සිවිල් සංවිධාන ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කර නොමැති බවට ජන මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් ගැන කථා කරන පුද්ගලයන් විසින් කර ඇති ප්‍ර‍කාශයන් පිළිබඳව ඉතාමත් කනගාටුවක් දැනෙන බව විදේශ ගතව සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙකු හා සිවිල් සංවිධාන ක්‍රියාධරයෙකු වූ පුන්‍යමූර්ති සසීකරන් කියා සිටියි.

දැන් එවැනි ප්‍ර‍කාශයන් කරන පුද්ගලයන් පසුගිය පාලන සමයේ එල්ල වූ තර්ජන හේතුවෙන් රටින් පලා ගිය ද මේ වනවිට කිසිදු  හිරිහැරයකින් තොරව රිසි පරිදි රටට පැමිණීමේ අවස්ථාව හිමි කරගෙන ඇති  නමුත්, රටින් පිටුවහල් වූ සියල්ලන්ට ඒ වාසනාව හිමිව නැති බවත් JDS හා ප්‍ර‍කාශයක් කරමින්  සසීකරන් කියා සිටියේය.

නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියෙකු හා සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වශයෙන් ක්‍රියාකළ පුන්‍යමූර්ති සසීකරන් ජීවිත තර්ජන හේතුවෙන් 2012 වසරේදී ඕස්ට්‍රේලියාවට පලා ගිය අතර නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පිටුවහල් මාධ්‍යකරුවන්ට පෙරළා පැමිණෙන ලෙස කරන ලද විවෘත ආරාධනය පිළිගෙන මේ වසරේ ජනවාරි 20 වැනිදා  ශ්‍රී ලංකාවට පැමිණි විට  කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

සුනන්ද හා කීර්ති

මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධව ‘සිලෝන් ටුඩේ‘ පුවත්පතෙහි පළ වූ වාර්තාවක් ජනවාරි 22 වැනිදා උපුටා පළ කර තිබූ ‘Sri Lanka Brief‘ බ්ලොග් අඩවිය, අදාළ ප්‍ර‍වෘත්තියට පසු සටහනක් යොදමින් ප්‍ර‍කාශ කොට තිබුණේ ‘පුන්‍යමූර්ති සසීකරන් ශ්‍රී ලංකාවේ දී හෝ ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ක්‍රියා කළ බවට කිසිදු සාක්‍ෂියන් නොමැති බව‘ ය. Sri Lanka Brief බ්ලොග් අඩවිය ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරුවෙකු වන සුනන්ද දේශප්‍රිය විසිනි.

මේ සම්බන්ධයෙන් පෙබරවාරි 05 වැනිදා විකල්ප වෙබ් අඩවියට ඔහු විසින් සම්පාදනය කර ඇති ලිපියක මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ‘ඇත්ත වශයෙන්ම නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ සසිකරන්ට සිය ගමට යන්නට ඉඩ හැර පසුව මිනිස් ජාවාරම ගැන ප්‍රශ්න කිරීම‘ බව ය.

මේ අතර ‘දිවයින‘ පුවත්පතේ ආරක්‍ෂක ලියුම්කරු ලෙස ක්‍රියා කරන කීර්ති වර්ණකුලසූරිය ද ජනවාරි 31 වැනිදා ‘ඉරිදා දිවයින සංග්‍ර‍හය‘ට ලියන ලද වාර්තාවක ද මේ හා සමාන සඳහනක් කරමින් කියා තිබුණේ සසීකරන් ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ මාධ්‍යකරුවකු හා ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයතු කළ බවට තමන් විසින්ම ‘හඳුන්වාගත් අයෙක්‘ බව ය.

කෙසේ වුවද පුන්‍යමූර්ති සසීකරන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වීමට පෙර සුඩර් ඔලි පුවත්පතේ හා ‘රන් එෆ්එම්‘ ගුවන් විදුලියේ මඩකළපු වාර්තාකරුවෙක් මෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ මැතිවරණ නිරීක්‍ෂක කැෆේ සංවිධානය හා සම්බන්ධ ක්‍රියාධරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම හෙතෙම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් නගර කේන්ද්‍ර‍කොටගෙන විකාශනය කෙරෙන ප්‍ර‍මුඛ ගුවන් විදුලි සේවාවක් වන එස්බීඑස් (Special Broadcasting Service - SBS) ගුවන් විදුලියට සම්බන්ධව මාධ්‍යකරුවෙකු වශයෙන් ක්‍ර‍ියා කර තිබේ. ශ්‍රී ලංකාවේ දී ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ක්‍රියා කළ බව තහවුරු කරමින් රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින්  ඔහු වෙත නිකුත් කරන ලද හැඳුනුම්පතක් මෙන්ම 2015 ජූලි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ එස්බීඑස් ගුවන් විදුලි සේවාවේ දෙමළ විකාශය සඳහා වාර්තාකරණයේ නියැලුණු බව සනාථ කරන සේවා ගිවිසුමේ පිටපතක් හා ඔහු විසින් සම්පාදනය කරන ලද වාර්තා පිටපත් JDS වෙත ලැබී තිබේ. එස්බීඑස් ගුවන් විදුලිය වෙනුවෙන් අදාළ ගිවිසුම සඳහා අත්සන් තබා ඇත්තේ එහි වැඩසටහන් පරිපාලක හෙලේනා මිරැන්ඩා විසිනි.

ජනාධිපතිට ලියුමක්

ශ්‍රී ලංකාවට ඒමට මාසයකට පෙර, 2015 දෙසැම්බර් 18 වැනිදා දාතම සහිත නව ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති සසීකරන්, 2012 වසරේදී ජීවිත ආරක්‍ෂාව පතා මුහුදු මාර්ගයෙන් රටින් බැහැර වීමට තමන් තීරණය කළ ද, නව රජය විසින් කළ ඇරයුම අනුව තමන් පෙරළා පැමිණීමට තීරණය කොට ඇති බවත්, සිය ජීවිත ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත් නව ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණ. තවත් වසර පහක කාලයකට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ වීසා තිබියදීත් යළි පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැන් තමන් තුළ ඈත්තේ පසුතැවිල්ලක් බවද සසීකරන් JDS හා කියා සිටියේය.

“ආගමන විගමන නිලධාරින් තමාගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කර එය එක් දින බලපත්‍රයක් බැවින් ඒ පිලිබඳ ප්‍රශ්න කළ යුතු බව පවසා  කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටින CID හා TID නිලධාරින් වෙත භාරදුන් බව ද ඔහු ප්‍ර‍ාශ කළේය. “මාව රැගෙන ගිය කාර්යාලයේ  පුටු හතරක් තබා තිබුණා. රට ඉඳලා එන අය ප්‍රශ්න කරන්නේ එතැන තමයි. මම ඉන්න කොට කොහේ හරි රටක ඉඳලා කටුනායක ගුවන් තොටුපලට පැමිණි තවත් දෙමළ තරුණයන් හතර දෙනෙක් ප්‍රශ්න කරන්න එතැනට ගෙනාවා.“

“ඒ නිලධාරීන් මගේ සියලු තොරතුරු සටහන් කර ගත්තා. ලංකාවේ මොකද කළේ , ඇයි ලංකාවෙන් ගියේ, කොහොමද ගියේ, ඕස්ට්‍රේලියාවේදී මොකද කළේ ආදී වශයෙන් ප්‍ර‍ශ්න වැලක් මගෙන් ඇහුවා. මම හැම දෙයක්ම එයාලට විස්තර ඇතිව ප්‍ර‍කාශ කරලා ලංකාවේදී මට නිකුත් කරලා තිබුණ මාධ්‍ය හැඳුනුම්පත්, ඕස්ට්‍රේලියාවේ SBS එකෙන් දුන්නු කොන්ත්‍රාත් ලිපිය, ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සහ කැෆේ ආයතන වලින් මට තිබුණු හැඳුනුම් පත් කියන මේ ඔක්කොම දුන්නා. මුලින් ඒවා ඔවුන් පිළිගත්තේ නැතත්  ටික වෙලාවකින් මාව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විමසීම් කරලා විවිධ ඇමතුම් මෙයාලට එනකොට තමයි ඔවුන් මම කියූ දේවල් පිළිගත් බවක් පෙන්නුවේ.“

ජනවාරි 21 වැනිදා උදෑසන  ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අදාළ නිලධාරීන් ප්‍ර‍කාශ කළ ද දහවල් 1.20 වනතුරු ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බව ද සසීකරන් කියා සිටියේය.

‘අන්තිමේදී පසුවදා හවස උසාවියට ඉදිරිපත් කරලා ඇප කොන්දේසි මත නිදහස් කරා. මගේ පාස්පෝර්ට් එක අවුරුදු පහකට අත් හිටුවලා, සෑම මාසෙකම අවසන් ඉරිදා මම මඩකළපුවේ ඉඳන් ඇවිත් කොළඹ හතර වෙනි තට්ටුවේ පෙනී සිටින්න මට දැන් නියම කරලා තියෙන්නේ” ඔහු කීය.

‘නීති විරෝධී මුහුදු ගමන‘

කෙසේ වුවද නිදහස් වූ පසු තමාට අනතුරක් වෙතැයි තිබූ බිය හේතුවෙන් මඩකළපුවට යාමෙන් වැළකී සිටි බව කියා සිටි හෙතෙම අවසානයේ  දින පහකට පසු සිය ගම් ප්‍රදේශය බලා ගිය බවත්, ඒ වනවිටත් මඩකළපු පොලිස් නිලධාරීන් සිය නිවසට පැමිණ තමා පිළිබඳ ප්‍රශ්න කර, තමා නීති විරෝධී මුහුදු මාර්ගයකින් රටින් බැහැර වූ ආකාරය පිළිබඳව විමසා තිබූ බවත් JDS හා කියා සිටියේය.

“මට රටින් පිටවෙන්න සිද්ධ වුණු කාලේ තිබුණු තත්ත්වය අනුව උතුරු -නැගෙනහිර පළාත්වල වැඩ කරපු ප්‍රාදේශීය දෙමළ මාධ්‍යකරුවෙකුට කටුනායකින් ආරක්‍ෂිතව පිටවෙන්න පුළුවන් ක්‍ර‍මයක් තිබුණේ නැහැ. බෝට්ටුවේ හරි මරණෙන් බේරෙන්න පළා යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුණේ නැහැ. හැමෝටම කරදරයක් නැතිව කටුනායක ගුවන් තොටුපළෙන් යන්න බැහැනේ. මම බෝට්ටුවෙන් ගියේ සල්ලි හොයන්න නෙමේ, ජීවිතය බේරගන්න” ඔහු වැඩි දුරටත් පැවසීය.

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිළිබඳව ඔහුට එල්ල කර ඇති චෝදනා සම්බන්ධ නඩු විභාගය ජුලි 20 වැනිදා කැඳවීමට නියමිත ය.

යාපනය හා වන්නි ප්‍රදේශවල ක්‍රියා කළ මාධ්‍යකරුවන්ට මෙන්ම, නැගෙනහිර පළාතේ මඩකළපුව කේන්ද්‍රීයව කටයුතු කළ මාධ්‍යවේදීන්ට හා සිවිල් ක්‍රියාධරයන්ටද පසුගිය දශකයකට වැඩි කාලය තුළ ක්‍රියා කිරීමට සිදුව තිබුණේ මරණ තර්ජන යටතේ ය. ප්‍රදේශයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ අයියාතුරෙයි නඩේසන් 2004 මැයි මාසයේ දී ඝාතනය කිරීමත් සමගින් එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් රටින් පිටුවහල් වූ අතර තවත් බොහෝ දෙනා එම ක්‍ෂේත්‍රවලින් ඉවත්ව නිහඬ වූහ. මඩකලපුවේ ප්‍ර‍කට මාධ්‍ය සේවකයන් වූ වෙට්ටිවේල් ජෙසීකරන්, තවරාසා ශන්මුගම්, තුරෙයිරත්නම්, නිරාජ් ඩේවිඩ්, චන්ද්‍රකුමාර්, නවරත්නම් සහ රාධිකා දේවකුමාර් මේ වනවිටත් ජීවත් වන්නේ පිටුවහලේ ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.