JDS Sinhala

'ත්‍රස්තවාදී චෝදනා' යටතේ දෙමළ මාධ්‍යවේදියා බන්ධනාගාරයට

සුගිය සතියේ අත් අඩංගුවට ගන්නා ලද යාපනයේ දෙමළ මාධ්‍යවේදියකුට එරෙහිව ත්‍රස්ත විරෝධී චෝදනා නැගූ පොලිසියට, ඔහු තව දුරටත් රඳවා තබා ගැනීමට අධිකරණය විසින් අවසර දී තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා (23) හිමිදිරියේ යාපනයේ නිවසක සිටියදී තවත් තිදෙනකු සමග අත් අඩංගුවට ගන්නා ලද ‘හිරු’ ගුවන් විදුලියේ මාධ්‍යවේදී තම්බිදු‍රෛ ප්‍රදීපන් විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධ බවට පොලිසිය විසින් අධිකරණය හමුවේ සඳුදා චෝදනා කරන ලදී. ඒ අනුව මැයි 11 දක්වා ඔහු රඳවා ගෙන  ප්‍රශ්න කිරීමට යාපනයේ මහේස්ත්‍රාත් පී සිවකුමාර් පොලිසියට අවසර දුන්නේය.

'කොටි' චෝදනා

අත් අඩංගුවට ගන්නා ලද දිනට පසුවදා තරුණයන් සිව් දෙනා යාපනය අධිකරණය හමුවට ගෙන ආ අවස්ථාවේ පොලිසිය විසින් චෝදනා කරන ලද්දේ ඔවුන් බීමත්ව ව්‍යාපාරිකයකුට පහර දුන් බවයි. එහෙත්, පොලිසිය මෙවර මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේ ‘හිරු’ ගුවන් විදුලි මාධ්‍යවේදියා ‘දිගින් දිගටම’ කොටි සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි. යුද හමුදාව විසින් මීට ඉහතදීද  අත් අඩංගුවට ගෙන ප්‍රදීපන් ‘පුනරුත්ථාපනය’ කිරීමෙන් අනතුරුව නිදහස් කර හරින ලද බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පොලිස් මරණ තර්ජන

චුන්නාකම් හි තාප විදුලි බලාගාරයකින් සිදු කෙරෙන පරිසර හානියට එරෙහිව යාපනයේ නල්ලුර් කෝවිල අසළ අප්‍රේල් 07 වැනිදා පැවති විරෝධතා උපවාසයක් වාර්තා කිරීමට ප්‍රදීපන් සමග ගිය 'යාල් තිනක්කුරල්' පුවත්පතේ මාධ්‍යවේදී  හා යාපනයේ මාධ්‍ය සමාජයේ සභාපති තර්මබාලා විනෝජිත් සහ නිදහස් මාධ්‍යවේදී ශ්‍රී රාචන්ද්‍රන් මයුරප්‍රියන් යන තිදෙනාට සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් විසින් තියුණු අවියක් එල්ල කොට මරණ තර්ජන එල්ල කළ බව ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට එදිනම පැමිණිලි කොට තිබුණි.

මීට අමතරව මන්නාරමේ ජනමාධ්‍යවේදීන් වන ඇන්තනි තේවරාජන් මාර්ක්, ජූඩ් පැලිස්ටස් සහ ලැම්බර්ට් රොසයිරෝත් වව්නියාවේ බීබීසී හා වීරකේසරී මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම්ටත් අඟහරුවාදා (28) කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස නියෝග කොට ඇත.☐

© JDS


සබැඳි පුවත්:

27.04.2015 - උතුරේ දෙමළ මාධ්‍යවේදීන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි
10.04.2015 - යාපනයේ මාධ්‍යවේදීන්ට එරෙහි පොලිස් තර්ජන යළිත් ඉහළ යයි
23.01.2015 - 'සන්නද්ධ කල්ලි නිරායුධ කොට ඝාතකයින් හෙළි කරනු'



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.