JDS Sinhala

ශ්‍රී ලංකාව ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ නරකම රටවල් 20 අතර

නමාධ්‍ය අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙනු කැප වූ ජාත්‍යන්තර සංවිධානයක් විසින් නිකුත් කර ඇති නවතම දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව යළිත් වතාවක් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලොව ඇති නරකම රටවල් 20 අතර  ශ්‍රේණිගතව තිබේ.  රටවල් 180ක ජනමාධ්‍ය නිදහසේ කාර්ය සාධනය ශ්‍රේණිගත කරමින් 2015 වෙනුවෙන් සිය 'ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය' (World Press Freedom Index 2015) ඉදිරිපත් කරන දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF), 2014 වසෙර් ලොව පුරා සිදුවූ තොරතුරු නිදහසේ පිරිහීම ඉස්මතු කොට දක්වයි. මාධ්‍ය නිදහසට අදාළ කිසිදු වර්ධනයක් අත්පත් කරගෙන නැති ශ්‍රී ලංකාව පසුගිය වසරේ රැඳීසිටි 165 වැනි ස්ථානයේම තවදුරටත් රැඳී සිටින බව මේ වසරේ දර්ශකය මගින් පෙන්නුම් කොට තිබේ.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය, නෝර්වේ සහ ඩෙන්මාර්කය දර්ශකයේ පළමු ස්ථාන තුන පිළිවෙලින් අත්කරගන්නා අතර, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලොව නරකම රටවල් තුන ලෙස එරිත්‍රියාව, කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව හා තුර්ක්මේනිස්ථානය ශ්‍රේණිගත වී තිබේ.

ජනමාධ්‍යයේ බහුවිධතාව සහ ස්වාධීනත්වය, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නිදහසට ඇති ගරුකිරීම මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාත්මක වන පරිසරයේ ඇති නීතිමය, ආයතනික හා යටිතල පහසුකම් වටපිටාව ඇතුළු නිර්ණායක ගණනාවකට අනුව ලෝකයේ රටවල් 180ක නිදහස් මාධ්‍ය කාර්ය සාධනය, තමන් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රේණිගතකොට ඇතැයි RSF පවසයි.

ස්කැන්ඩිනේවියානු ආදර්ශය

2015 වසර වෙනුවෙන් සිය ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය ඉදිරිපත් කරමින් RSF මෙසේ ද පවසයි.

‘‘නිතර සිදුවන පරිදි ශ්‍රේණියේ ඉහළින්ම සිටින්නේ ස්කැන්ඩිනේවියානු රටවල් තුනකි. ෆින්ලන්තය පිට පිටම පස්වැනි වසරටත් පළමු ස්ථානය අත්කරගෙන සිටින අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නෝර්වේ හා ඩෙන්මාර්කය විසින් ලබාගෙන ඇත. නරක ම මාධ්‍ය නිදහස් කාර්ය සාධනයක් සහිතව, දර්ශකයේ අනෙක් අන්තයේ තුර්ක්මේනිස්තානය, උතුරු කොරියාව හා එරිත‍්‍රියාව රැඳී සිටී.

"ප‍්‍රංශය එක් ස්ථානයක් ඉදිරියට එමින් 38වැනි ස්ථානයේ ද, එක්සත් ජනපදය ස්ථාන තුනක් පසුපසට යමින් 49වැනි ස්ථානයේ ද, ජපානය ස්ථාන දෙකක් පසුපසට යමින් 61වැනි ස්ථානයේ ද, බ‍්‍රසීලය ස්ථාන 12ක් ඉදිරියට එමින් 99වැනි ස්ථානයේ ද, රුසියාව ස්ථාන 4ක් පසුපසට යමින් 152වැනි ස්ථානයේ ද, ඉරානය නොවෙනස්ව 173 වැනි ස්ථානයේ ද, චීනය එක් ස්ථානයක් පසුපසට යමින් 176වැනි ස්ථානයේ ද රැඳී සිටී.

මහාද්වීපික පිරිහීම

‘‘2014 වසරේ තොරතුරු නිදහසේ ලෝක මට්ටමේ පිරිහීම මෙම දර්ශකය ඉස්මතු කර පෙන්වයි. යුද්ධ, රාජ්‍ය නොවන පාර්ශ්යන් වෙතින් වර්ධනය වන තර්ජන, විරෝධතාවන් අතරතුර ප‍්‍රචණ්ඩත්වය හා ආර්ථික අර්බුදය යන කරුණු හා වෙලූණු ජනමාධ්‍ය නිදහස, මහාද්වීප පහේදීම පසුබැසීමට ලක්ව තිබේ.

"RSF විසින් සම්පාදනය කොට ඇති දර්ශකයන් අභියෝග කළ නොහැකි එකකි. 2014 වසර තුළ තොරතුරු නිදහසේ බරපතල කප්පාදුවක් ඇතිවිය. 2015 මාධ්‍ය නිදහස් දර්ශකය සඳහා සමීක්ෂණයට බඳුන් කළ රටවල් 180න් තුනෙන් දෙකක් පසුගිය වසරට වඩා අයහපත් මට්ටමකින් කටයුතු කර තිබිණි. රටවල් 180ක තොරතුරු නිදහස උල්ලංඝනයේ මට්ටම මණින වාර්ෂික ගෝලීය දර්ශකය පසුගිය වසරේ 3,719 දක්වා ඉහළ ගිය අතර මෙය 8%ක වැඩිවීමකි. 2013 හා සසඳන විට මෙය 10% පමණ ඉහළ යාමකි. මෙම පිරිහීම සියලූ මහද්වීපවලට බලපා තිබේ."

"යුරෝපා සංගමයේ හා බෝල්කන් කලාපයේ රටවල් බොහෝ දුරට මෙම පිරිහීමේ පෙරමුණ ගනිමින් 2014 සහ 2015 සංස්කරණයන් අතර විශාලතම කඩාවැටීම වාර්තා කර ඇත. මෙම අයහපත් ප‍්‍රවණතාව දෙ ආකාර සන්සිද්ධීන් පිළිබිඹු කරයි. එක් අතකින් සාමාජික රටවල බහුලත්වය හා යුරෝපා සංගමයේ යාන්ත‍්‍රණයන්ට ඔවුන් පාලනය කිරීමට ඇති නොහැකියාවයි. තොරතුරු නිදහස් ලැයිස්තුවේ පහළින් සිටින උතුරු අප‍්‍රිකාව හා මැදපෙරදිග කලාපය මේ වසරේදීත් තොරතුරු ‘‘කළු කුහරවලින්’’ සමන්විත වේ. මෙය නිදහස් තොරතුරු හුදෙක් නොපවතින, රාජ්‍ය නොවන කණ්ඩායම් විසින් පාලනය කරන කලාපයකි."☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.