JDS Sinhala

ඌව වෙල්ලස්සේ ඉඩම් උක් වගාව සඳහා සිංගප්පූරුව හරහා ඇමරිකාවට‍

ක් වගාව සඳහා ඌව වෙල්ලස්සේ වන සංරක්ෂිතයන්ට අයත් සරුසාර ඉඩම් අක්කර 62,500ක්, සිංගප්පූරු සමාගමක් ඔස්සේ ඇමරිකානු  බහුජාතික සමාගමකට ලබාදීමට ආණ්ඩුව මේ වන විට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

පරිසර ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයා විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත මෙන්ම ජාතික පාරිසරික පනතේ මූලික නීතිය පවා කඩකරමින් මෙම ඉඩම් විදේශ සමාගම්වලට බදුදීමට යන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර‍ කාරියවසම් සහ පූජ්‍ය වෑකඳවල රාහුල හිමි කියා සිටිති. ජනාධිපතිවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට මේ වනවිටත් අත්සන් තබා ඇති අතර, එම ඉඩම් නිල වශයෙන් භාරදීම ජුනි මස 05 වැනිදා ජනාධිපතිවරයා අතින් ම සිදුකිරීමට නියමිතබෙවද ඔවුහු පෙන්වා දෙති.

අත්හැර දැමූ ව්‍යාපෘතියක්

වත්මන් යහපාලන ආණ්ඩුව විසින් මෙසේ ක්‍රියාවට නැංවීමට විධිවිධාන සලසා ඇති මෙම උක් වගා හා සීනි නිශ්පාදන ව්‍යාපෘතිය, පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ඇරැඹීමට කටයුතු යොදා තිබී, පසුව ඌව වෙල්ලස්ස ප්‍රදෙශවාසීන් ගේ, පරිසර ක්‍රියාකාරිකයන් ගේ හා බහුජන සංවිධාන ඇතුළු පිරිස්වල බරපතල විරෝධය මධ්‍යයේ අත්හැර දැමූ වැඩපිළිවෙලක් අලුත් වටයකින් ක්‍රියාවට නැඟීමකි.

අංක MDE/AD/03/CAB-PA/2017 දරන කැබිනට් පත්‍රිකාව යටතේ සිංගප්පූරුවේ පිහිටි ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) නම් සමාගම ඔස්සේ එහි මව් සමාගම වන ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි සීඩීවීසීඒ (CDVCA) නම් සමාගමට මෙම වන රක්ෂිතයන්ට අයත් ඉඩම් උක් වගාව සඳහා ලබා දී තිබේ. 2007 වසරේ දී බ්‍රිතාන්‍ය සමාගමක් වන බුකර් ටේට් (Booker Tate) සමාගමට උක් වගා ව්‍යාපෘතියක් සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීමේ කටයුතුවලට මැදිහත් වූ අයි එම් එස් පුද්ගලික සමාගම (Islandwide Marketing Services (Pvt) Ltd.) මේ ව්‍යාපෘතියේ ද ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් අනාවරණය කර සිටියි.

මේ අනුව මෙම උක්වගා ව්‍යාපෘතියට මහඔය, පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල, මොනරාගල, බිබිල, මඩගල්ල යන ප්‍රදේශවලින් වනාන්තර ඉඩම් ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඊට අමතර ව මෙම ව්‍යාපෘතියට අයත් සීනි කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මාදුරුඔය රක්ෂිතයෙන් ඉඩම් අක්කර 373ක්  වෙන්කර තිබේ.

විරෝධය වැළැක්වීමේ උපායක්

ඌව වෙල්ලස්සේ වන රක්ෂිතයන්ට අයත් ඉඩම් මෙසේ උක්වගා ව්‍යාපෘති සඳහා බහුජාතික සමාගම්වලට ලබාදීමේ උත්සාහයන්ට එරෙහිව පසුගිය කාලයේ පැනනැඟුණු මහජන විරෝධය මෙවර සමනය කරගැනීමේ උපක්‍ර‍මයක් ලෙස, මෙම ඉඩම් ලබාදීම ගොවි පවුල් වෙත ඉඩම් ලබාදීමක් ලෙස දියත් කිරීමට කටයුතු යොදා ඇති බව  පරිසරවේදීහු කියා සිටිති. ඒ අනුව ගොවි පවුල් 10,000කට මෙම ව්‍යාපෘතිය   යටතේ හෙක්ටයාර් 2.5ක ඉඩම් ක ැබැල්ලක් වගාකිරීම සඳහා ලබාදීමට යෝජනා කොට ඇති අතර, ඉඩම් හෙක්ටයාර් 25,000ක් හෙවත් අක්කර 62,500ක් අදාළ ව්‍යාපෘතියට වෙන්කැරේ. එහෙත් මෙසේ ගොවීන්ට ඉඩම් ලබාදීමේ ප්‍ර‍ධාන කොන්දේසිය වන්නේ එම ඉඩම් කැබැල්ලේ හෙක්ටයාර් දෙකක ප්‍ර‍මාණයක් අනිවාර්යයෙන්ම ඉහත කී සමාගම යටතේ උක් වගාකිරීම බවත් බහුජාතික සමාගම්වලට ඌව වෙල්ලස්සේ වනාන්තර ඉඩම් ලබාදීමේ මෙවර උපක්‍ර‍මය එය බවත් වාර්තා වේ.

පැවැති රාජපක්ෂ පාලන සමයේ දී අයි එම් එස් පුද්ගලික සමාගමේ සම්බන්ධීකරණය මත ඌව වෙල්ලස්ස ඉඩම් මෙබඳු ම උක්වගා ව්‍යාපෘති සඳහා ලබාදීමේ උත්සාහයන් පැවැතුණි. 2006 දෙසැම්බර් මස එවකට අමාත්‍ය මිල්රෝයි ප්‍ර‍නාන්දු විසින් කැබිනට් අනුමැතියකින් ඌව වෙල්ලස්සේ බිබිල, මැදගම, මඩුල්ල, බඩල්කුඹුර, රිදීමාලියද්ද, මීගහකිවුල, ලුණුගල, කන්දකැටිය, පදියතලාව සහ මහඔය යන ප්‍රදේශවලින් ඉඩම් අක්කර 65,000ක් බ්‍රිතාන්‍යයේ බුකර් ටේට් සමාගමට පවරා දීමට උත්සාහ දරන ලදී. එමෙන්ම 2008 වසරේ  දී ද අමාත්‍ය මණ්ඩල සන්දේශයක් යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වෙල්ලස්සේ වනාන්තර ඉඩම් හෙක්ටයාර් 200ක් ලබාගැනීමටත්, 2009 වසරේ සීනි කර්මාන්ත ශාලාව පිහිටුවීම සඳහා තවත් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කැරුණු අතර, 2015 දක්වාම මේ ඉඩම්ලබා ගැනීමේ උත්සාහයන් පැවතිණි. එහෙත් ඒ සෑම අවස්ථාවකදී ම ප්‍රදේශවාසීන්ගේ හා බහුජන සංවිධානවල මැදිහත්වීමෙන් එම සැලසුම් පරාජයට පත්විය.

උග්‍ර‍ ජල ප්‍ර‍ශ්නයක්

වන සංරක්ෂිතවලට අයත් ඉඩම් මෙසේ උක්වගාවට ලබාදීම මඟින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයට බරපතල හානි පැමිණෙනවාට අමතර ව ප්‍රදේශයේ ජනතාවට උග්‍ර‍ ජල ප්‍ර‍ශ්නයකට අනාගතයේ මුහුණපාන්නට සිදුවන බව පරිසරවේදීහු අනතුරු හඟවති. වගාවට වෙන්කැරෙන ඉඩම් අයත් ප්‍රදේශ පුරාණ වාරි කර්මාන්ත ජාලයේ වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් ප්‍ර‍කට ය. සොරබොර වැව ආශ්‍රිත මහවැව හා එයට අනුබද්ධ කුළුවැව් ගණනාවක් ද මේ ප්‍රදේශයේ පිහිටා තිබේ. එමෙන් ම වෙල්ලස්ස කැරැල්ල සමයේ විනාශ කරන ලද වැව්වල නටඹුන්, සොරොව් කොටස් හා ගල්බැමි ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බවත්, යටත්විජිත සමයෙන් පසු මේවා සම්බන්ධයෙන් පුරා විද්‍යාත්මක හෝ ජල විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකැරී නොමැති බවත් ඔවුහු වැඩි දුරටත් පවසති.

උක්වගාව සඳහා ජල පෝෂිත වනාන්තර බිම් එළිපෙහෙළි කිරීමට අමතරව, උක්වගාවට අධික ලෙස ජලය අවශ්‍ය වීම ද අනාගත ජල හිඟයට හේතුවකි. අක්කට 62,500ක උක් වගාකිරීම සඳහා අදාළ ව්‍යාපෘතියට දළ වශයෙන් දිනකට වතුර ලීටර් තිස් ලක්ෂයකට ආසන්න ප්‍ර‍මාණයක් අවශ්‍ය බව ගණන් බලා තිබේ. ඌව වෙල්ලස්ස උක්වගා ව්‍යාපෘතිය මෙම ජල අවශ්‍යතාව සපුරාගැනීමට සැලසුම් කර ඇත්තේ ගොවි ජනතාව සිය වගාවන්ට ගන්නා ජලය හා ප්‍රදේශවාසීන්ගේ පානීය අවශ්‍යතා සපුරාගන්නා ජලය භාවිතා කිරීමෙනි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් මෙම තත්ත්වය මත නුදුරු අනාගතයේදීම ප්‍රදේශය තුළ උග්‍ර‍ ජල හිඟයක් ඇතිකිරීමට හේතුවනු ඇති බවට පරිසරවේදීන්  පෙන්වා දෙති. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හා මයිසූර් වැනි පළාත්වලින් මෙම විශාල වශයෙන් උක් වගා කැරෙන බ්‍ර‍සීලයේ අත්දැකීම් ආශ්‍රයෙන් ද මේ තත්ත්වය තහවුරු වන බව ඔවුහු පවසති.

අලි මිනිස් ගැටුම් තීව්‍රවීම

උක්වගාව සඳහා ඉඩම් ලබාදීමට නියමිත ගල්ඔය වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයත්, මහඔය, පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල‍ හා බින්තැන්න යන ප්‍රදේශවලට අයත් වනාන්තර කොටස් මේ වනවිට ඉතිරිව ඇති අලි ඇතුන් ගේ වාසභූමි වේ. දැනට අලි මංකඩක් ලෙස හඳුනාගෙන ඇති ඇකිරියන්කුඹුර ප්‍රදේශය ද උක්වගාවට බදුදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ අනුව සැලසුම් කර ඇති උක්වගා හා සීනි නිශ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් මෙම ප්‍රදේශවල ද අලි මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත්වනු ඇතැයි පරිසර සංවිධාන බිය පලකරති. පැල්වත්ත, හිඟුරාන, කන්තලේ යන දැනටමත් උක්වගාබිම් බවට හැරීඇති ප්‍රදේශ මේ වන විටත් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

වසරකට අලි ඇතුන් හැටකට වැඩි ප්‍ර‍මාණයක් ද, මිනිසුන් හතලිස් පහකට වැඩි පිරිසක් ද මෙම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමට ගොදුරු වන බව සංඛ්‍යා ලේඛන විසින් තහවුරු කරයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.