JDS Sinhala

පෞද්ගලික අංශයේ කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා වීදි බසිති

ව ආණ්ඩුවේ අතුරු අයවැය මගින් යෝජනා කරනු ලැබූ රුපියල් 2500 වැටුප් වැඩිවීම පනතක් මගින් අනුමත කරන මෙන් ඉල්ලා, දහස් ගණන් පෞද්ගලික අංශ සේවකයෝ බ්‍රහස්පතින්දා (12) කොළඹ දී විරෝධතා දැක්වූහ.

නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවන්ගේ බහුතර සහභාගීත්වයෙන් ඩි මෙල් පිටිය අසළින් ඇරැඹි පෙළපාලිය, ගංගාරාම මුත්තයියා පිටිය දක්වා පැමිණ එහිදී රැළියක් පැවැත්වී ය.

5000ක් වෙනුවට 2500ක්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 5000කින් වැඩි කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් රුපියල් 2500කින් වැඩි කිරීමට සළකා බලන ලෙස ය. ආණ්ඩුවේ එම ඉල්ලීම ඉවත දමා ඇති හාම්පුතුන්ගේ සම්මේලනය පවසනුයේ, පඩි පාලක සභා ඔස්සේ වැටුප් වැඩිකිරීම ගැන අවධානය යොමු කරන බවයි. එහෙත් පෞද්ගලික අංශයේ බොහෝ කර්මාන්ත ශාලා සහ සමාගම් මෙම පඩි පාලක සභාවලට අයත් නොවන බව වෘත්තීය සමිති පෙන්වා දෙති.

මේ වන විට පඩි පාලක සභා ඔස්සේ රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් කර ඇති බවට කෙරෙන ආණ්ඩුවේ ප්‍රකාශයන් බැහැර කරන වෘත්තීය සමිති නියෝජිතයින් පවසනුයේ, පෞද්ගලික අංශ සේවකයන්ගෙන් මතුව එන විරෝධය සමනය කිරීමට මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බවයි. වැටුප් වැඩිකිරීම සඳහා පඩි පාලක සභාවට නීතිමය බලයක් නොමැති අතර ඔවුන්ට නිගමනය කල හැක්කේ සේවකයන්ගේ මාසික වැටුප පමණි. පඩි පාලක සභාව විසින් අනුමත කර ඇති  පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම මාසික වැටුප පවතින්නේ රුපියල් 10,000 සීමාවේ ය. එහෙත් බහුතරයක් නිදහස් වෙළඳ කලාප සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 7,000ක් පමණ වේ.

රාජ්‍ය අංශයට වැඩි වැටුප්

අවිධිමත් ක්‍ෂේත්‍ර ඇතුළු පෞද්ගලික අංශයේ මිලියන 8ක් පමණ වන සේවක සේවිකාවන් කෙරෙහි මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක්ම දක්වනු ලැබුයේ අඩු සැළකිල්ලක් බව පවසන පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩිකරමින් මාසික වැටුප 35,000 දක්වා ඉහළ දැමීමට නව ආණ්ඩුව සිය අතුරු අයවැය මගින් කටයුතු කළ බවයි.

ඔවුන්ට අනුව 2013 වසරේ දී පමණක් පෞද්ගලික අංශයේ සේවකයින් විසින් බාහිර වෙළඳ සේවා යටතේ ඉපැයූ විදේශ ඉපැයුම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි.

2005 වසරේදී මෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිකිරීම් රජයේ පනතක් මගින් ලබා දෙන ලෙස ජනාධිපති, අගමැති සහ කම්කරු ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිය ද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

වෘත්තීය සමිති 10ක්

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 10කින් සැදුම් ලත් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුව මගින් කැඳවා තිබූ මෙම විරෝධතාවයට ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය, එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සම්මේලනය, නව සමසමාජ පක්ෂයට අනුබද්ධිත එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වතු සේවා නිලධාරිගේ සංගමය, එක්සත් වතු කම්කරු වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය යන කම්කරු වෘත්තීය සමිති එක් වී සිටියහ.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.