JDS Sinhala

මූල්‍ය ආයතන බිය පළ කරද්දී කොටස් වෙළඳපොළේ වර්ධනයක්

ව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සමගම ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපළ දර්ශක වසර හතරක් තුළදී ලද ඉහළම අගය වාර්තා කරද්දී, ජාත්‍යන්තර මුල්‍ය විමර්ශකයන් විධායක ජනාධිපති ධුරයකින් තොර අනාගත පාලනයේ ආර්ථික අනාගතය පිළිබඳව සැක මුසු ප්‍රතිචාරයක් දක්වා තිබේ. රුපියලේ අගයද ඒ සමගම වැඩි වී තිබේ.

කොළඹ කොටස් වෙළඳපොළේ හවුල්කාරීත්වය උසුලන රිචඩ් පීරිස් සුරැකුම් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් කුරුකුලසූරිය රොයිටර් පුවත් සේවාවට අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ 'කුමන පාර්ශ්වය ජයග්‍රහණය කළ ද ආර්ථික පිළවෙත්වල බරපතල වෙනස්කම් නොකෙරෙන නමුත් මැතිවරණය කෙරෙහි වෙ‍ළඳපොල ප්‍රවේශය ප්‍රවේසම්කාරී එකක් වූ බව'ය.

2009 යුද්ධය ජයගත් බව ප්‍රකාශයට පත් වීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ආර්ථිකය අවුරුද්දකට සියයට හතක අනුපාතයකින් වර්ධනයක් පෙන්නුම් කළ බව ආණ්ඩුවේ මහ බැංකුව වාර්තා කළ අතර ආර්ථික හා මුල්‍ය සමාගම් ප්‍රධානීන් ඊට හේතුව ලෙස දක්වන්නේ විධායක බලයයි.

"යුද්ධයෙන් පසුව රටේ සංවර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගය වූ රාජපක්‍ෂගෙන් පසුව පැමිණෙන සිරිසේන තම ආර්ථික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අපි අවධානයෙන් සිටිය යුතුයැ,'යි හොංකොං හි පිහිටි  මුල්‍ය කලමනාකර ව්‍යාපාරයක්  වන ඒෂියා ෆ්රන්ටියර් කැපිටල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් හගර් (Thomas Hugger) බ්ලූම්බර්ග් පුවත් සේවාවට පවසා තිබුණි.

පොදු ආර්ථික පිළිවෙතක අඩුව

මේ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග සිංගප්පූරුවේ සිට ප්‍රකාශයක් කරන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් (Standard & Poor's) ආයතනය පවසා ඇත්තේ 'රාජපක්ෂ පලවා හැරීම පමණක් අරමුණු කොටගෙන' ජයගත් සන්ධානය සමන්විත වන පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණ නැති බවයි.

සිංගප්පූරුවේ සිට ජනමාධ්‍ය වෙත ප්‍රකාශනයක් ලබාදෙමින් S&P ආයතනය කියා තිබුනේ 'සභාගයේ විෂම ස්වභාවයත් බරපතල වෙනස්කම් යෝජනා කළ දේශපාලන පොරොන්දුත්,' මෙම අවිනිශ්චිත භාවයට හේතු වී ඇති බවයි. 'දකුණට බර' එක්සත් ජාතික පක්ෂය මෙන්ම 'මාක්ස්වාදී' ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලත් විවිධාකාර පක්ෂ නව ජනාධිපති බලයට පත් කළ සන්ධානයට එක්වී සිටින බව එම ආයතනය පවසයි.

පොරොන්දු ප්‍රකාර විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත්, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මුල්‍ය ස්ථාවරත්වය යන ක්‍ෂේත්‍ර දෙක පසුබෑමකට ලක්වනු ඇති බවට සැක පළ කරන S&P ආයතනය  හිටපු ජනාධිපති වරයා යටතේ 'සාපේක්ෂ ස්ථාවර භාවයක්' පැවති බව පවසා තිබේ. රාජපක්‍ෂ පාලන සමයේ දී විධායක ජනාධිපති ක්‍රමය දැඩි සේ මධ්‍යගත කොට තිබුණු බව පෙන්නා දෙන මුල්‍ය විමර්ශකයෝ, එමගින් ආර්ථිකයේ මර්මස්ථාන හා සන්නද්ධ සේනා 'සැළකිය යුතු ආධිපත්‍යයකින් යුතුව හසුරුවා ගැනීමට' මග පෑදුනු බව පවසති.

'අසීමිත දූෂණ'

කෙසේ වෙතත්, මෛත්‍රිපාල සිරිසේන ගේ මැතිවරණ ව්‍යාපාරයේ ආකර්ශනීය තේමාවක් වූයේ රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ බරපතල මුල්‍ය වංචා ය. අසීමිත මුල්‍ය දූෂණ සිදු කිරීමටත්, නීති විරෝධී ව්‍යාපාර වලටත් විධායක ජනාධිපති ධුරය ආධාර වූ බවට පළවූ ඔවුන්ගේ චෝදනාව ඡන්ද දායකයා පිළිගත් බව පෙනේ.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි සිරිසේන පාලනය ආදායම් අලුතින් සොයා නොගෙන සහනාධාර වැඩි කිරීමටත්,  සුභසාධන ලබාදීමටත් කටයුතු කළොත්, රටේ දැවැන්ත ණය සහ පොලී බර ගෙවීමේ හැකියාව අනතුරකට ලක් වීමේ ඉඩ ඇතැයි S&P ආයතනය බිය පල කරයි. ශ්‍රී ලංකාව නැවත පාර්ලිමේන්තු ක්‍රමයක් කරා ගමන් කළොත්, ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශපාලන සම්මුතියකට ඒම 'ආගම, ජාතිය හා ප්‍රාදේශීය වාදය පදනම් කොටගත් පක්ෂ විශාල ගණනකින් සමන්විත,' පාර්ලිමේන්තුවකට අසීරු වන බවද නිවේදනයේ සඳහන් වෙයි.

ලොව පුරා කාර්යාල 26ක් ඔස්සේ ක්‍රියාත්මක ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් (S&P), වෙළෙඳපල අධ්‍යයනයේ යෙදෙමින් මුල්‍ය කටයුතු පිළිබඳ විමර්ශනයේ සහ විශ්ලේෂණයේ යෙදෙන ආයතනයකි.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.