JDS Sinhala

යුද අපරාධ ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකාර පියතුමකු සමු ගනියි

සිවා පරමේස්වරන් විසිනි


ශ්‍රී

ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ ගලාගිය ලෝහිත ගංගාවේ බියකරු පරිමාණය ලෝකවාසීන් හමුවේ තතු දක්වා විදාරණය කරන්නට ආණ්ඩුවේම සභාවක් නොබියව තම මෙහෙයට ගත් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ නමක් දිවියෙන් සමුගත්හ.

යුද අපරාධ චෝදනා පිළිබඳ විශ්වසනීය සාක්ෂිකරුවකු වූ නිසාම නිල කතෝලික නායකත්වය ඇතුළු සිංහල බහුතරයක අප්‍රසාදයට හා වෛරයට පාත්‍රවූ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් අසූ එක් වසරක් ආයු වළඳා අප්‍රේල් පළමුවැනිදා අවසන් හුස්ම හෙළුවේ කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනයේ පුද්ගලික රෝහලකදී ය.

යාපනය රදගුරු නිල නිවහනේ මහජන ගෞරවය පිණිස තබා ඇති උන්වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු අප්‍රේල් 5 සඳුදා මන්නාරමේ ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී සිදුකිරීමට නියමිතය.

රදගුරුවරයකුට වඩා වැඩි යමක් කළ හෙතෙමේ අන් බොහෝ සහෝදර පූජකයන් පරයා ස්වකීය ජනතාවටත් ඒ භූමියටත් ස්වකීය දිවියෙන්ම කැපව මෙහෙවර කළ අයෙකි.

දෙමළ ජනතාවට ඔහුගේ සේවය ලැබුණු දශක දෙකහමාරෙන් වැඩිම කලක් ගතකළ මන්නාරමේ දේවස්ථාන යුද්ධයේ ගොදුරු වූ දස දහස් සංඛ්‍යාත ජනකායක අනාථ කඳවුරු බවට පත්වී තිබුණි. එවන් සමයක ශ්‍රී ලංකා ආරක්ෂක සේනා ෂෙල් ප්‍රහාරයට ඉලක්ක වූ මඩු පල්ලියේ සරණ පතා සිටි හතළිහකට අධික පිරිසක් මරුමුවට පත්වී සිය ගණනක් තුවාල ලද අවස්ථාවේ පියතුමා ට සිදුවූයේ සියවස් ගණනක් තිස්සේ කතෝලික බැතිමතුන්ගේ පුද පුජා ලත් මරදමඩු මාතා ප්‍රතිමාවද රැගෙන පලා යාමට ය.

“මට එතුමියගේ ආරක්ෂාව ගැන බයයි. ඒ නිසා මම එතුමියට ඇගේ ජනතාව අතර ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්න තේවාන්පිට්ටි පල්ලියට අරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා,” යි උන්වහන්සේ හමුදා ප්‍රහාරයෙන් අනතුරුව BBC තමිලෝසෙයි වෙනුවෙන් සහභාගිවූ සම්මුඛ සාකච්ඡාවකදී මා සමග පැවසුහ.

ආ ගිය අතක් නැති 146,679ක්

රායප්පු ජෝසප් පියතුමා ආරක්ෂක සේනාවලත්, සිංහල දේශපාලකයන්ගේත්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ගේත් නිරන්තර අඩන්තේට්ටමට ගොදුරු වූයේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ විශ්වසනීය තොරතුරු අඛණ්ඩව අනාවරණය කළ හෙයිනි. එයිනුදු, යුද්ධයේ අවසානය දක්වා වූ දසමාසයකටත් අඩු කාලයක් තුළ දී ලක්ෂ එකහමාරකට ආසන්න දෙමළ ජනකායක් ආගිය අතක් නැති බව සනාථ කිරීමට ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන ඇසුරින් කරුණු ගෙනහැර දැක්වූ නිසා ය.

යුද්ධය අවසන් වූ බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු 2009 මැයි 19 දාට සතියකට කලින් දස දහස් සංඛ්‍යාත ජනකායක් කොටුවී සිටි පටු බිම් තීරයකට එල්ල කෙරුණු ප්‍රහාරයකින් සියයකට අධික දරුවන් පිරිසක් මරා දමන ලද අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවසන ලද්දේ “ලේ ගංගාවක්” ගලා යන බව ය.

කෙසේවෙතත්, ජාත්‍යන්තර සහන සේවා හෝ ජනමාධ්‍යකරුවන් රහිත භූමියක සිද්ධවෙමින් පැවති බිහිසුණු විනාශය ලෝකයෙන් වසන් වී පැවතුනි.

සමස්ත දිවයිනම රජයේ ආරක්ෂක හමුදාවල අණසකට යටත් කරගත් පසුව, කලින් එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශයෙන් පිටතට රැස්කර ගන්නා ලද ලක්ෂ සංඛ්‍යාත ජනකාය මැණික් ෆාම් අනාථ කඳවුරට ගාල් කරගන්නා ලදී. තවත් දසදහස් ගණනක් හමුදා කැඳවීමෙන් අත් අඩංගුවට ගන්නා ලදී.

එයින් දෙවසරකට පමණ පසුව ජනාධිපති කොමිසමක් හමුවේ මන්නාරමේ රදගුරුතුමන් විසින් ඉදිරිපත් කළ කම්පා සහගත තොරතුරුවලින් හෙළිවූයේ යුද කලාපයෙන් දිවි බේරාගෙන පැමිණි එක්ලක්ෂ පනස් දහසකට ආසන්න දෙමළ ජනකායක් ආගිය අතක් නැති බව ය.

2008 ඔක්තෝබර් සහ 2009 මැයි අතර කාලයේදී රජයේ පාලන ප්‍රදේශයට පැමිණි සංඛ්‍යාවත්, 2008 ඔක්තෝබර් මුල වන්නියේ සිටි බව වාර්තාවන පිරිසත් අතර වෙනස වන 146,679 ක් වන ජනතාවට සිදුවූයේ කුමක්දැයි නිසි පරිදි පැහැදිලි කළ යුතුයැ,” යි රායප්පු ජෝසප් පියතුමෝ 2011 දී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) හමුවේ පැවසූහ.

එම ප්‍රකාශය සනාථ කරමින් බලධාරීන්ට අභියෝග කිරීම පිණිස ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන සාක්ෂියට කැඳවන්නට වික්ටර් සූසෙයි සහ ෂේවියර් කෘස් පියතුමන් දෙපලද රදගුරු තුමන් හා එක්වූහ.

2008 ඔක්තෝබර් මුල වන්නියේ ජනගහනයත්, ඉන් අනතුරුව ආණ්ඩු පාලිත ප්‍රදේශයට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාවත් පිළිබඳව මුලතිව් සහ කිලිනොච්චි කච්චේරිවල ඇති තොරතුරු පදනම් කොට ගත් කල, පුද්ගලයන් 146,679 ක් සම්බන්ධයෙන් ගණන් හිලව් නැත. කච්චේරිවලට අනුව 2008 ඔක්තෝබරය මුල වන්නියේ ජනගහනය 429,059කි. මානව හිමිකම් සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (OCHA) 2009 ජූලි 10 යාවත්කාලීන කිරීම අනුව, ඉන් පසුව ආණ්ඩුවේ පාලන ප්‍රදේශයට පැමිණි සංඛ්‍යාව 282,380 ක් වෙතැයි ගණන් බලා තිබේ.”

රදගුරු රාජයප්පු ජෝසප්ගේ උරුමය

දේශීය වශයෙන් කරන හෙළිදරව් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බවට විශ්වාසයක් නැති නිසාදෝ, 2010 ජනවාරි මාසයේදී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර මුළුදුන් ශ්‍රී ලංකාව පිළිබඳ මහජන විනිශ්චය සභා සැසියට සාක්ෂි ලබා දීමට උත්සුක වූ බව එහි කැඳවුම්කරුවකු වන ඩබ්ලින් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු සිහිපත් කරයි.

නොබියව අදහස් පලකිරීම නිසා ආණ්ඩුව මෙන්ම සිංහල ජාතිවාදීන් විසින් ගර්හා නාමයක් ලෙස පටබඳින ලද ‘කොටි බිෂොප්’ හංවඩුව උන්වහන්සේ කිසිසේත් මායිම් නොකළහ. දෙමළ ජනතාවට ඔහු ‘ජනතාවගේ රදගුරු’ විය.

“සිංහල කතෝලික සභාව ඇතුළු සිංහල ජාතිවාදීන් විසින් අලවන ලද දෙමළ කොටි ලේබලය ගැන උන්වහන්සේ ගණන් ගත්තේ නැත,” යි සහකාර මහාචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු JDS හා පැවසීය.

“එතුමා ලියෝ නානායක්කාර සහ ලක්ෂ්මන් වික්‍රමසිංහ වැනි ජනතාවගේ පැත්තේ සිටි රාජගුරු ප්‍රසාදීන් වහන්සේ නමක්. ඔහු නිර්භීත අයෙක්. සමුලඝාතනයක් වේවා, පැහැරගැනීමක් වේවා යුද්ධ කාලයේ ජනතාවට කිසියම්ම හෝ ප්‍රහාරයක් එල්ල වුනොත් උන්වහන්සේ අනික් සියලුම වැඩ අතහැර දාලා එතනට දුවනවා. මුල්ලිවයික්කාල්වලින් පසු නිහඬ කළ නොහැකිවූ එකම ප්‍රසිද්ධ හඬ ඔහුගේයි. අත්අඩංගුවට ගැනීමක් හරි, ඉඩම් කොල්ල කෑමක් හරි උනොත් පීඩාවට පත් පවුල්වල උදවිය බලන්න ගිය මුල්ම පිරිස අතරේ ඔහුත් සිටියා. කොළඹ සිංහල කතෝලික ධුරාවලියෙන් මුළුමනින්ම කොන් කරනු ලැබුවත් නොසැලුණු එතුමා දශක ගණනාවක් පීඩාවට පත් කරන ලද ජනතාව සමග එකට කටයුතු කළා. අනූ ගණන්වල සහ 2000 මුල මට මුණ ගැහුණු සැම අවස්ථාවකම පාහේ උන්වහන්සේ කතා කළේ සභාවේ කටයුතු ගැන නෙවෙයි, ජනතාව ගැනයි. දකුණේ සිට ඔහු බැහැ දැකීමට ගිය මා දන්නා අයත් කියන්නේ ඒකම තමයි.”

රායප්පු ජෝසප් රදගුරුතුමන්ගේ ගේ මරණයත් සමග යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධ ජීවමාන සාක්ෂිකරුවකු ලොවට අහිමි වී යයි. චූදිතයන්ට දිව්‍ය සත්ප්‍රසාද පිරිනමමින් සිටින කතෝලික සභාවේ සිංහල නායකත්වය මේ වනතුරුත් එතුමන් වෙනුවෙන් නිල ශෝකප්‍රකාශයක් නිකුත් කළ බවක් දැනගන්නට නැත.

“ආගමික නායකත්වය යන්න ආගමික අගතිය සමග සමපාත වී තිබෙන දේශයක රායප්පු ජෝසප් අපට බාර දී යන්නේ මහත් අපරාධ රැලි මාලාවක් අත්විඳි දේශයක ආගමික නායකයන්ගේ භූමිකාවටත්, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ බිහිසුණු අපරාධවලටත් අභියෝග කිරීමේ උරුමයයි,” යනුවෙන් ජූඩ් ලාල් ප්‍රනාන්දු පවසයි.

රායප්පු ජෝසප් රදගුරු තුමා වෙන්වී ගියේ ලක්ෂ එකහමාරකට අත් වූ ඉරණම දොළොස් අවුරුද්දකට පසුවත් හෙළිකරගත නොහැකිව ය. උන්වහන්සේ ඇතුළු දෙමළ යුද පීඩිතයන් ලබා දුන් විශ්වසනීය තොරතුරු තිබියදීත් ඒ ගැන විමර්ශනය නොකළ පන්නයේ දේශීය යාන්ත්‍රණයකින් යුක්තිය ඉටුකළ හැකි බවට ආණ්ඩුව දස අවුරුද්දකට පසුත් පොරොන්දු දෙයි. ඒ සඳහා ගත් නවතම ක්‍රියාමාර්ගය වී ඇත්තේ කලින් කොමිසම් ලියූ වාර්තා කියවා බලා යුද අපරාධ සිදුවී දැයි ජනාධිපතිට දැනුම් දීමට තවත් කොමිසමක් පත් කිරීමයි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.