JDS Sinhala

ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේ බ්‍රිතාන්‍ය හවුල හෙළිවෙයි

යවර්ධන පාලන සමයේ උතුරු-නැගෙනහිර පළාත්වල යුද මෙහෙයුම් හා පුහුණුවීම් සඳහා හවුල් වූ බ්‍රිතාන්‍ය කුලී හේවා සෙබළුන් දකුණේ දෙවැනි සිංහල තරුණ නැගිටීම සිදු වූ වකවානුව වනවිටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමග කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

බ්‍රිතාන්‍යයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීයකු වූ ෆිල් මිලර් විසින් සිදුකළ විමර්ශන මගින් මීට පෙර හෙළිදරව් කර තිබුණේ 80 දශකයේදී බ්‍රිතාන්‍ය රජයේ අනුදැනුම පිට ශ්‍රී ලංකාවේ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පුහුණු කිරීම සඳහා දායක වූ බ්‍රිතාන්‍යයේ හිටපු විශේෂ ගුවන් සේවා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කීනි මීනි ආරක්ෂක සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකළ කටයුතු 1988 අප්‍රේල් මාසයෙන් අවසන් වූ බව ය.

මෙම තොරතුරු අළලා 'කීනි මීනි' සමාගමේ රහස් ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු විසින් ලියන ලද විමර්ශනාත්මක කෘතියක් ජනවාරි මාසයේදී එළිදක්වන ලද අතර ඔහු විසින් ඒ පිළිබඳ වැඩි දුරටත් තොරතුරු හෙළිකරන ගවේෂනාත්මක වාර්තා චිත්‍රපටියක් ඔහුගේ සම අධ්‍යක්‍ෂණයෙන් ඉකුත් ඔක්තෝබර් මාසයේදී නිකුත් කෙරුණි. 

කීනි මීනි සමාගමේ හිටපු කුලී හේවායන් හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා හා විදේශ අමාත්‍යාංශ රහස් ලියැවිලි පදනම් කරගෙන ඔහු විසින් අනාවරණය කරන ලද තොරතුරු මගින් බ්‍රිතාන්‍ය හමුදා උපදේශකයන් විසින් පුහුණුකරුවන් වශයෙන් සිදුකළ කාර්යභාරයට අමතරව උතුරු හා නැගෙනහිර පළාතේ යුද හමුදා ක්‍රියාන්විතයන්ට සක්‍රීයව සහභාගී වූ බව ද සනාථ කරනු ලැබුණි.

ඔහු විසින් සිදුකළ හෙළිදරව් කිරීම් මත කීනි මීනි සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ වනවිට බ්‍රිතාන්‍ය පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ වී ඇති අතර ඒ සඳහා අපරාධ පරීක්ෂකවරුන් හතර දෙනකුගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් යොදවා තිබේ.

මෙහෙයුම් මූලස්ථානයේ බ්‍රිතාන්‍ය උපදේශකයෙක්

කෙසේවුවද, ෆිල් මිලර් විසින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය වෙතින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මෑතකදී ලබාගන්නා ලද මෙතෙක් රහස්‍ය ලේඛන වශයෙන් පැවති ලිපිගොණු මගින් අනාවරණය වන්නේ අවම වශයෙන් බ්‍රිතාන්‍ය කුලී ආරක්ෂක උපදේශකයන් දෙදෙනකු 1989 මැයි මාසය දක්වාම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මෙහෙයුම් මූලස්ථානය හා රත්මලානේ ගුවන් හමුදා පුහුණු ඇකඩමියට අනුයුක්තව කටයුතු කළ බව ය.

පසුගිය සතියේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන මේ දක්වා රහස්‍ය ලේඛන වශයෙන් පැවති මෙම ලිපිගොණු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තුළ "පැරණි ආරක්ෂක කටයුතු පිළිබඳ අංශයේ" ලිපිගොණු අල්මාරියක තිබී හමු වූ බව තමා වෙත දන්වා ඇතැයි මිලර් DeclassifiedUK වෙබ් අඩවියට ලියන ලද ලිපියකින් හෙළිකොට තිබේ. ඒවා 1971 සිට 1995 දක්වා කාලය තුළ මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ක්‍රියාකළ ආරක්ෂක පරිවාරක නිලධාරියා විසින් සම්පාදනය කළ වාර්තාවලින් කොටසකි. "මෙම ලිපිගොණු මෙහි තබාගන්නට ඇත්තේ මන්ද යන්න හෝ ඒ ගැන ලන්ඩනය දැනුවත් කර ඇතිද යන්න අපි නොදනිමු"යි බ්‍රිතාන්‍ය දූත නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

 

අලුත් ලිපිගොණු මගින් කීනී මීනි උපදේශකයන් 1988 අප්‍රේල් මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ තවදුරටත් රැඳී සිටි බව පමණක් නොව, එසේ රැඳී සිටි නිලධාරීන්ගේ නම් ද අනාවරණය කර තිබේ. ඒ අනුව, කීනි මීනි සමාගමට සම්බන්ධව ක්‍රියාකළ බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි බලකායේ හිටපු කපිතාන් රොබට් මැක්ක්‍රින්ඩ්ල් 1988 දෙසැම්බර් 30 වැනිදාට පසුවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වූ මෙහෙයුම් මූලස්ථානය හා සම්බන්ධව කටයුතු කර තිබේ. ඒ, කීනි මීනි සමාගම සමග පැවති නිල ආරක්ෂක කොන්තරාත්තුවේ වලංගු කාල සීමාව අවසන් වූ පසු ය. අදාළ ලිපිගොණු මගින් තවදුරටත් හෙළිවන්නේ බ්‍රිතාන්‍ය හමුදා විශේෂඥයකු වන ජෝන් වින්ටර්බෝන් නමැති නිලධාරියා 1989 මැයි මාසයේ මැද භාගය වනතුරු රත්මලානේ ගුවන් හමුදා පුහුණු ඇකඩමියට අනුයුක්තව ක්‍රියාකළ බව ය. අදාළ ලේඛනවල ඔහු හඳුන්වා ඇත්තේ "හිටපු කීනි මීනි සාමාජිකයකු" වශයෙනි.

ෆිල් මිලර් විසින් මෙයට පෙර සිය ගවේෂණයන් ඔස්සේ අනාවරණය කර තිබූණේ, 1984 ජනවාරි මාසයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් පුහුණු ඇකඩමියේ උපදේශකයන් වශයෙන් ක්‍රියාකළ සියළුම කීනි මීනි නිලධාරීන් 1988 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බව ය.

71ත් 89ත් බ්‍රිතාන්‍ය ආධාර ගැන සාක්ෂි

කෙසේවුවද, අදාළ උපදේශකයන්ගෙන් සමහර දෙනෙක් 1989 මැයි මාසය දක්වාම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමග ක්‍රියාකිරීම මගින් පෙන්නුම් කරන්නේ ජවිපෙ දෙවන සන්නද්ධ නැගිටීම මර්දනය කිරීම සඳහා ඔවුන්ගේ උපදේශන දායකත්වය ලබාදෙන්නට ඇති බව යැයි මිලර් DeclassifiedUK වෙබ් අඩවියට ලියන ලද වාර්තාවේ සඳහන් කරයි.


"මෙම අලුත් අනාවරණයන් බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතාවලට අදාළ විමර්ශන කටයුතුවල වැදගත් සන්ධිස්ථානයක්" බව ෆිල් මිලර් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"මේ තොරතුරුවලින් හෙළිකරන්නේ, ජවිපෙ පළමුවැනි නැගිටීම සිදුවුණු වකවානුවේ වගේම දෙවැනි නැගිටීම සිදු වූ කාලයේ බ්‍රිතාන්‍ය කැරළි මර්දන විශේෂඥයන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා බද්ධව ක්‍රියා කළ බවයි. 1971 පළමු කැරැල්ල සිදුවන විට බ්‍රිතාන්‍ය MI5 ඔත්තු සේවා උපදේශකයකු ලංකාවට යවන ලද බව අපි දැනටමත් දන්නා කරුණක් වන අතර දෙවැනි කැරැල්ල ඇති වූ කාලයේ කීනි මීනි කුලී හේවා උපදේශකයන් ලංකාවේ ආරක්ෂක හමුදා සමග කටයුතු කළ බව මේ කරුණු මගින් සනාථ වෙනවා"යි හේ කියා සිටියේය.

"ජයවර්ධනගේ ආණ්ඩුවට දෙමළ සටන්කරුවන් මර්දනය කරන්නට කීනි මීනි සමාගමේ කුලී හේවායන් දැක් වූ ක්‍රියාකාරී දායකත්වය පසුකාලීනව සිංහල සටන්කරුවන් විනාශ කරන්නටත් ලබාදුන් බව අනාවරණය වීමෙන් පෙන්නුම් කරන්නේ බ්‍රිතාන්‍ය විසින් දෙමළ හා සිංහල ප්‍රජාවන් දෙකොට්ඨාශයම මර්දනය කරන්නට රජයට ආධාර කළ බව"යැයි මිලර් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

'ජාකර්තා ක්‍රමය'

එම වකවානුවේ ආරක්ෂක හමුදා විසින් ගෙනගිය මර්දන ක්‍රියාමාර්ගවලින් දහස් සංඛ්‍යාත තරුණ ජනයා මියගිය බව මීට පෙර මාධ්‍යවේදී මිලර් හා කළ සාකච්ඡාවකදී තහවුරු කර සිටි එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් එහිදී කැරැල්ල මර්දනය කරනු පිණිස තමන් අනුගමනය කරන්නේ 'ඉන්දුනීසියානු ක්‍රමය' බව එවකට ශ්‍රී ලංකා ආරක්ෂක ඇමතිවරයා තමන් හා කී බව ද ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක අධ්‍යයන කවයන් තුළ 'ඉන්දුනීසියානු ක්‍රමය' හෙවත් 'ජාකර්තා ක්‍රමය' ලෙස හඳුන්වන්නේ 60 දශකයේදී ඉන්දුනීසියාවේ පැන නැගුණු කොමියුනිස්ට් කැරැල්ල මර්දනය කිරීම සඳහා එවකට ජනාධිපති සුහර්තෝ විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ය. එහිදී අත් අඩංගුවට ගන්නා ලද අවුරුදු 16ත් 25ත් අතර සියළුම දෙනා ඝාතනය කිරීමේ සුහර්තෝගේ පිළිවෙත අනුව අවම වශයෙන් මිලියනයක් ජනයා ඉන්දුනීසියාවේදී ඝාතනය කරනු ලැබුණි.

ලංකාවේදී අනුගමනය කළ ජාකර්තා මාදිලියේ කැරළි මර්දන ක්‍රියාමාර්ගය විසින් ද ඊට සමාන ප්‍රතිඵල ඇතිකළ බව හිටපු මහ කොමසාරිස් ග්ලැඩ්ස්ටන් විසින් ප්‍රකාශ කර ඇත.

ආරක්ෂක හමුදා විසින් අවම වශයෙන් 60,000ක් තරුණ ජනයා ඝාතනය කොට කැරැල්ල අවසාන කෙරෙන තෙක් "ඔවුන් වෙඩිතබා ගංගාවලට විසිකරමින්හෝ පාරවල් අද්දර පුළුස්සා දමමින් ඔවුන්ව එක දිගටම මරාගෙන ගියා" යැයි හේ කියා තිබේ.

සපුගස්කන්දේ හමුදා පාසැල

කෙසේවුවද, ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් විසින් සඳහන් කරන ඝාතන සිදුකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කීනි මීනි කුලී හේවායන් විසින් පුහුණු කළ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු ද විශාල වශයෙන් දායක වූහ. පසුකාලීනව ප්‍රේමදාස පාලනය යටතේ සිදුවූ මැතිවරණ දූෂණ පිළිබඳ අදහස් පළකිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරුණද, කීනි මීනි ආරක්ෂක සමාගම 1989දී ශ්‍රී ලංකාවෙන් පිටව යාමෙන් පසුව කුලී ආරක්ෂක උපදේශකයන් වෙනුවට ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය හමුදා පුහුණුකරුවන් සැපයීම වඩා යෝග්‍ය බවට ග්ලැඩ්ස්ටන් කල්පනා කළ බව විදේශ අමාත්‍යාංශ වාර්තා මගින් අනාවරණය කෙරේ.

ඒ අනුව, තුන්වැනි ඊළම් යුද්ධය ආරම්භ වීමෙන් පසු 1997 සැප්තැම්බර් මාසයේදී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියගේ පාලනය විසින් සපුගස්කන්දේ ආරම්භ කරන යුද හමුදා අණ සහ මාණ්ඩලික විදුහල (දැන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විදුහල) පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍යය විසින් කෙටි කාලීන පුහුණු කණ්ඩායමක් (Short Term Training Team - STTT) සපයන ලද අතර බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් කර්නල් ක්‍රිස් රයිඩර් හා ලුතිනන් කර්නල් ජෙෆ් මොයිනන් ඒ සඳහා පුරෝගාමී දායකත්වයක් සැපයූ බව ආරක්ෂක පාසැලේ ශිෂ්‍යයන් විසින් පළකරනු ලබන සඟරාවේ 1998 කලාපය මගින් හෙළිකර තිබුණි.

ඊට අමතරව විදුහලේ ආරම්භක පුහුණු උපදේශකවරයා වශයෙන් ක්‍රියාකර ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවේ ජෝන් එස්. ෆීල්ඩ් නමැති කර්නල්වරයා ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.