JDS Sinhala

වෙළඳ කලාප කම්කරු නිරෝධායනයේ අඩු පාඩු පෙන්වූ ක්‍රියාකාරිනියන්ට තර්ජන

අතුල විතානගේ විසිනි


කෝ

විඩ් 19 ආසාධනය වූ බවට අනුමාන කෙරුණු ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා සේවක ස්විකාවන් නිරෝධායනයට යොමුකිරීමේදී අනුගමනය කළ දරදඬු පිළිවෙත පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවලදී විවේචනාත්මකව අදහස් දැක්වූ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියන්ට එරෙහිව නිර්නාමික තර්ජන එල්ල වෙමින් පවතින බව ජේඩීඑස් වෙත වාර්තා වේ.

නිරෝධායනය සඳහා යොමුකරන ලද වෙළඳ කළාප කම්කරු සේවිකාවන් සිය නවාතැන්වල සිට නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගිය ආකාරය හා ඒවා තුළ ක්‍රියාත්මක අමානුෂික පිළිවෙත් ගැන මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව අනාවරණය කළ වෘත්තීය අයිතීන් පිළිබඳ ක්‍රියාකාරීනියන් මෙම තර්ජනයන්ට ලක්ව තිබේ.

නිර්නාමික ඇමතුම්

කලාපයේ කම්කරු සේවිකාවන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව ඔක්තෝබර් 15වැනිදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඩාබිඳු සාමුහිකයේ චමිලා තුෂාරි, 'ස්ටෑන්ඩ් අප්' ව්‍යාපාරයේ අශිලා දන්දෙනිය හා රෙඩ් මධ්‍යස්ථානයේ චන්ද්‍රා දේවනාරායන යන ක්‍රියාකාරිනියන් ප්‍රමුඛ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයෝ තොරතුරු හෙළිදරව් කර සිටියහ.

 "ආයතනවල ඉහළ නිලධාරීන් තරු පහේ හෝටල්වල නිරෝධායනය වෙද්දි, මේ කම්කරුවන්ව දූවිල්ලෙන් නෑවුණු, සනීපාරක්ෂක පහසුකම් කිසි දෙයක් නැති තැන්වලට ගිහින් ගාල් කරලා තියෙනවා. මෙහෙම වෙනස්කොට සළකන්න එපා"යි චමිලා තුෂාරි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

 මාධ්‍ය හමුව අමතා කතා කළ රෙඩ් මධ්‍යස්ථානයේ චන්ද්‍රා දේවනාරායණ අනාවරණය කර සිටියේ ඔක්තෝබර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ කම්කරු ස්ත්‍රීන් නැවතී සිටින බෝඩිම් නිවාසවලට පැමිණි හමුදාවන්, නිදන ඇඳුමෙන් සිටි අයට 'තත්ත්පරයෙන් ලෑස්තිවන්නැයි' දන්වා සිටි බවත්, ඔවුන් යන තැනක් පිළිබඳ දැනුවත් කිරීමකින් තොරව බස් රථවලට නංවා රැගෙන ගිය බවත් ය.

"දැන් කළුතර මධ්‍යස්ථානයකට ගිහින් දාලා ඉන්නවා කට්ටියක්. ඒ අය 30 දෙනෙකුට ටොයිලට් තුනයි තියෙන්නේ. ඒ තුනෙන් දෙකයි පාවිච්චි කරන්න පුළුවන්. වතුර නැහැ. ටොයිලට් උතුරනවා...අද උදේ දැනගන්න ලැබුණා, ඒ ගොල්ලන්ට උදේ 7 ඉඳන් දවල් 1 වෙනකලුත් වතුර නැහැ කියලා...එතැන ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගර්භනී කාන්තාවන් ඉන්නවා...නමුත් උණු වතුර ටිකක් ඉල්ලාගන්න විදියක් නැහැ"යි ඇය ප්‍රකාශ කළාය.

මෙම අනාවරණයන්ගෙන් අනතුරුව ඔවුන් වෙත තර්ජනාත්මක නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙන බව ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරයේ අශිලා දන්දෙණිය ජේඩීඑස් හා ප්‍රකාශ කළාය.

"එදා කතා කළ අය ගැන දැනටමත් නාඳුනන පිරිස් ඇවිත් වටපිටාවෙන් සෝදිසිකර තොරතුරු විමසලා තියෙනවා"යි ඇය ප්‍රකාශ කළාය.

මේ අතර රජයේ නිරෝධායන ක්‍රියාවලිය විවේචනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා ඇත්තේ මෙම සියළු චෝදනා අසත්‍ය බවත්, කිසියම් න්‍යාය පත්‍රයකට අනුව එවැනි ප්‍රකාශ කළ පාර්ශවයන් පිළිබඳව දැනටමත් සොයා බලා ඇති බවත් ය.

'වෙනත් න්‍යාය පත්‍රයක්'

"අපිට පහසුකම් තිබුණා හෝ නොතිබුණා, මේ රට වෙනුවෙන්, රටේ ජාතිය වෙනුවෙන් කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපි ඕනෑම කැපකිරීමක් කරනවා. ත්‍රිවිධ හමුදා වැඩ කරන්නේ 'නොහැක්කක් නොමැත' කියලායි...නමුත් මේවාත් විවේචනය කරන කට්ටිය ඉන්නවා. වතුරට බහින්නේ නැතුව පීනන කට්ටිය ඉන්නවානේ.....ඒ කට්ටිය කැමති නෑ රටෙන් කෝවිඩ් ඉවත් කරනවාට. ඒ කට්ටිය වෙනත් න්‍යාය පත්‍රයක ඉන්න මිනිස්සු," යැයි යුද හමුදාපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

රජයේ නිරෝධායන ක්‍රියාවලියේදී දුෂ්කරතාවයට පත් නිදහස් වෙළඳ කළාප සේවිකාවන් 98 දෙනකු වෙනුවෙන් ඩාබිඳු සාමුහිකය, ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය හා රෙඩ් මධ්‍යස්ථානය ප්‍රමුඛ සංවිධාන රැසක් එක්ව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුව ඇති අතර, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට ද කටයුතු කර තිබේ. ඒ සෑම පැමිණිල්ලෙකම වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් නම් කර ඇත්තේ කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ය.

'ආසාධිතයන් අපරාධකරුවන් නොවේ'

අදාළ හෙළිදරව් කිරීමෙන් අනතුරුව ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුළ තත්ත්වයන්ගේ යහපත් වර්ධනයක් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට වාර්තාවන බව අශිලා දන්දෙණිය කියා සිටියාය.

"අපි කවුරුවත් කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදුනේ නැහැ. රටේ ආර්ථිකයට ඉතා වැදගත් ශ්‍රම දායකත්වයක් සපයන, දුෂ්කර කොන්දේසි යටතේ රැකියා කරන, ස්ත්‍රීන් බහුතරයක් ඇතුළත් කම්කරු පිරිසකගේ ගරුත්වය ආරක්ෂා වන විදියට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැදගත්කම අදාළ බලධාරීන්ට පෙන්වාදීම පමණයි අපි කළේ. ලෝකය පුරාම පැතිරෙන ගෝලීය වසංගතයකින් ආසාධනය වීම අපරාධයක් නෙවෙයි. එවැනි ආසාධිතයන්ට සැළකිය යුත්තේ රෝගීන් වශයෙනුයි; අපරාධකාරයන් විදියට නොවෙයි," ඇය ජේඩීඑස් හා ප්‍රකාශ කළාය.

මේ අතර දැනට වසා දමා ඇති මිනුවන්ගොඩ, කටුනායක හා සීදුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සේවිකාවන් 1200 ක් මාතර හා ගාල්ල යන ප්‍රදේශයන්හි පිහිටි, මධ්‍යස්‌ථාන හයක නිරෝධායනයට ලක්කරමින් තිබේ.

අනෙකුත් කර්මාන්ත ශාලාවලට අයත් සේවිකාවන් 3000 ක් පමණ පැණිදෙණිය, කොත්මලේ, දඹදෙණිය හා කළුතර ප්‍රදේශවල නිරෝධායනයට ලක් කෙරෙන බවද වාර්තා වේ.

40,000ක් නිරෝධායනයේ

ඔක්තෝබර් 23වැනිදා එක් දිනක තුළ දිස්ත්‍රික්ක 14ආසාධිතයන් 866ක් වාර්තාවීමත් සමග සමස්ත ආසාධිතයන්ගේ සංඛ්‍යාව 7,153 දක්වා ඉහළ නැඟ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකව‍රුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා උපුටා දක්වන මාධ්‍ය වාර්තා විසින් පෙන්වා දෙන්නේ, මේ වනවිට 40,000ක් පුද්ගලයන් නිරෝධායනට සඳහා යොමුකර ඇති බවත්, එයින් 33,000ක් දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 1,650කගේ සෘජු නිරීක්‍ෂණයට යටත්කොට ඇති බවත් ය.

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන 73ක් තුළ තවත් පුද්ගලයන් 8,632 දෙනකු නේවාසික නිරෝධායනයට යොමුකර ඇති බව කොවිඩ් මර්දනය සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේයැයි සෙනසුරාදා දිනයේදී මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කර තිබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.