සරසවිවල ඔත්තු බැලීමට බුද්ධි අංශ එවීම ගැන ආචාර්යවරුන්ගේ ප්‍රසාදය
- Post 15 October 2020
කිත්සිරි විජේසිංහ විසිනි
න
වක වදය මර්දනය කිරීමට යැයි පවසමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්, රාජ්‍ය විශ්ව විද්‍යාලවලට හමුදා බුද්ධි අංශ සමාජිකයන් යෙදැවීමෙන් සරසවි පද්ධතියට එල්ලවන බලපෑම නොතකාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත්ම සංවිධානය ඊට ප්‍රසාදය පළ කර සිටියි.
හමුදා ඔත්තුකරුවන් විශ්ව විද්‍යාල පරිශ්‍රයට කැදවා ගැනීම “නවක වදය මර්දනය කිරීම සඳහා මේ මොහොත් තමන්ට පෙනෙන හොඳම විසඳුම,” යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) සභාපති, මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ බන්නැහැක පවසයි.
''ඇත්තෙන්ම බුද්ධි අංශ කැම්පස්වලට එවන්නේ නවක වදය නතර කරන්න නම් ඒකට විරුද්ධ වෙන්න අපිට බෑ. එහෙම තැනකයි අපි ඉන්නේ, '' යි FUTA සභාපතිවරයා ජේඩීඑස් වෙත ප්‍රකාශ කර සිටියේ ය.
බහුතරයක් “අකැමැත්තෙන් කැමති වීම”
හමුදා බුද්ධි අංශ විශ්ව විද්‍යාලවලට එවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතැයි ද, ආරක්ෂක ලේකම්වරයා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයිද පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ එකඟතාව නිල වශයෙන් තවමත් ප්‍රසිද්ධියට පත් කර නැතත්, නවක වදය නතර කිරීම සඳහා විශ්ව විද්‍යාල “සිසුන් කටයුතු නොකරන්නේ නම්” බුද්ධි අංශ යොදවා හෝ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ “වරදක් නොදකින බව” සම්මේලනයේ බහුතරයක් සමාජිකයන්ගේ මතය බව ෆුටා සංවිධාන නායකත්වයට ඒත්තු ගොස් ඇතැයි මහාචාර්ය බන්නැහැක කියා සිටියි.
''සම්මේලනය නිල වශයෙන් තාමත් ඒ ගැන විධිමත් සාකච්ඡාවක් පවත්වලා නෑ. නමුත් අවධිමත්ව සිදුවෙන සාකච්ඡාවලින් පේන්න තියෙන එකක් තමයි බහුතරයක් ආචාර්යවරුන් යම් කැමැත්තකින් ඉන්නවා බුද්ධි අංශ විශ්ව විද්‍යාලවලට කැඳවීම ගැන. ඒ්කට හේතුව තමයි නවක වදය නතර කිරීමට අපි හැමෝටම තියෙන අවශ්‍යතාවය,'' යි හේ ප්‍රකාශ කළේය.
කවර තත්වයක් යටතේ හෝ අධ්‍යාපන ආයතන පද්ධතියක් තුළට මිලිටරි බුද්ධි අංශ සාමාජිකයන් කැඳවීම ගැටලුකාී මෙන්ම පිළිගත් සම්ප්‍රදායයයන් පටහැනි නොවන්නේ දැයි දැයි ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයාගෙන් ජේඩීඑස් විමසා සිටි විට ඔහු කියා සිටියේ එයින් සරසවි පද්ධතියට ඇතිවන තර්ජනය සහ බලපෑම් සහගත තත්ත්වය තමන් විසින් සුළුවෙන් නොතකන බව ය.
''බුද්ධි අංශ විශ්ව විද්‍යාලවල අභ්‍යන්තරයට කැඳවිමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්. අපි ඒක පිළිගන්නවා. නමුත් නවක වදය නතර කිරීමේ අවශ්‍යතාවය එයට වඩා දැඩිව මතුවෙලා තියෙනවා. සමහර අය මේක බරපතල දෙයක් විදිහට දැක්කත් තවත් පිරිසකගේ මතය තමයි ඒ් සඳහා බුද්ධි අංශ මැදිහත් විය යුතුයි කියන එක. නවක වදය නතර කරන්න නම් ඉතා බලවත් යමක් සිදුවිය යුතුයි. ඒ නිසයි අකමැත්තෙන් හෝ ඒ තත්ත්වය පිළිගන්න අපිට සිදුවෙලා තියෙන්නේ, '' යි ෆුටා සභාපතිවරයා පැවසීය.
සිසුන්ගේ වගකීමක්
ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා ට අනුව විශ්ව විද්‍යාල පරිශ්‍රයට බුද්ධි අංශ පැමිණීම වළක්වා ගැනීමේ වගකීම පැවරෙන්නේ සරසවි සිසුන් වෙත ය.
''විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට, ශිෂ්‍ය සංගම්වලට, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අපි අවධාරණයෙන් කියන්න කැමතියි බුද්ධි අංශ කැඳවන්නේ නවක වදය මර්දනය කරන්න නම්, බුද්ධි අංශ සමාජිකයන් සරසවිවලට නොකැඳවා ගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටම බව,” යි හෙතෙම දැඩිව කියා සිටියේය.
“මේ තත්ත්වය නතර කර ගන්න ලොකු වගකීමක් ශිෂ්‍ය සංගම්වලට පැවරිලා තියෙනවා. අපි නවක වදයට විරුද්ධයි, අපි ඒක නතර කරනවය කියලා ශිෂ්‍යයෝ කියනවනම්, ශිෂ්‍ය සංගම් ඒ විදිහට වැඩ කරනවනම් ආචාර්යවරුන් විදිහට මේ ප්‍රශ්නයට මෙයට වඩා මැදිහත් වීමක් කරලා බුද්ධි අංශ ඇතුළුවන එක නතර කරවන්න අපිට යම් උත්හයක් ගන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා ''.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අවිශිබම) පවසන්නේ මේ ඇති වෙමින් තිබෙන තත්ත්වය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සුළුවෙන් නොතකන බවත්, දැන් සිදුවෙමින් පවතින්නේ නිල නොවන මට්ටමින් සරසවි තුළ මේ දක්වාත් සිදුකෙරුණු ඔත්තු බැලීම නීත්‍යානුකුල කිරීමක් බවයි.
''විශ්ව විද්‍යාලවට රජයේ ඔත්තුකරුවෝ එන එක, ඇවිත් ඔත්තු බලන එක කොහෙත්ම අපිට අලුත් දෙයක් නෙමෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ආරක්ෂක ලේකම්වරයා, උසස් අධ්‍යාපන විෂය භාර ඇමතිවරයා වන ජී එල් පීරිස් ඇතුළු හැමෝම කියන්නේ ශිෂ්‍යයෝ නවක වදය කරනවා, ඒ නිසා ඒක නතර කරන්න බුද්ධි අංශ යොදවන බවයි. අපිට මේ හැම දෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි අර මම කලින් කියපු විදිහට හමුදාවේ, පොලිසියේ සී අයි ඩීයේ, ටී අයි ඩීයේ බුද්ධි අංශ විශ්ව විද්‍යාල ඇතුළට ඇවිත් මේ වන විටත් ඔත්තු බලනවා නම්, ශිෂ්‍ය නායකයන්ගේ ගෙයක්, ගෙයක් ගානේ ගිහින් තොරතුරු එකතු කරනවා නම් ඔය කියන නවක වදය කලින්ම නතර කරන්න පාලකයන්ට පුලුවන් විය යුතුයි නේද? දැනටත් කරමින් ඉන්න ඔත්තු බැලිල්ලයි, මේ අලුතින් ඔත්තුකාරයෝ එවනවාය කියන එකෙයි තියෙන එකම වෙනස මේ අලුත් ඔත්තුකාරයන්ට නීතිමය රැකවරණයක් දීලා, ඒක ප්‍රසිද්ධියේ කරන දෙයක් බවට පත්කරලා තියෙනවා,''යි අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ජේඩීඑස් හා පැවසීය.
පේරාදෙණිය සරසවියේ ඔත්තුකාරයෝ 35 ක්
ඔත්තුකරුවන් 35 දෙනෙකු පිළිබඳව තමන්ට දැන ගන්නට ලැබි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් පළමු වසර සිසු-සිසුවියන් අමතා මේ වසරේ ජනවාරි මාසයේදි කියු බව සිහිපත් කරන රත්කැරැව්වේ ජිනරතන හිමි, ඒ සමඟම විශ්ව විද්‍යාල පරිපාලනයෙන්, ප්‍රතිපාදන කොමිසමෙන් සහ ආචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කරන්නේ හමුදා ඔත්තුකරුවන් නිල වශයෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රයට එවීමෙන් ඇතිවන අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් වගකීම කවරෙකු විසින් භාරගන්නේද යන වගයි.
''මේ එවන ඔත්තුකාරයෝ කාටද වග කියන්නේ? උපකුලපතිවරුන් ප්‍රමුඛ විශ්ව විද්‍යාල පරිපාලනයටද? ආචාර්යවරුන්ටද? එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ප්‍රතිපාදන කොමිසමටද? අපි දන්නවා බුද්ධි අංශ වැඩකරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කියලා. එතකොට විශ්ව විද්‍යාල පද්ධතියට පිටස්තර, වග නොකියන පිරිසක් ඇවිත් කරන දේවල් ගැන වගකීම භාරගන්නට පරිපාලනය සුදානම්ද? අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථා හතරකදි ආචාර්ය සංගමය දැනුවත් කරලා තියෙනවා. නමුත් තවම අපිට ඔවුන්ගෙන් නිසි පිළිතුරක් නෑ.''
අවිශිබම සභාපතිවරයා විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජේඩීඑස් විසින් ආචාර්ය සමිති සම්මේලනයේ ස්ථාවරය විමසා සිටි විට මහාචාර්ය බන්නැහැක පෙරළා ප්‍රශ්න කර සිටියේ, මේ පියවර නවක වදය නතර කිරීමේ අරමුණින් ගන්නා ලද්දකැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කරන්නේ නම් තමන් ඊට විරුද්ධ විය යුත්තේ කුමන පදනමක් මතදැයි යන්න ය.
“එහෙම විරුද්ධ වෙනවා නම් නවක වදයට විරුද්ධව විකල්ප විසඳුමක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව නවක වදය නතර කරන්න කරන කිසිම දේකට විරුද්ධ වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බැලුවම අපිට කිසිම අයිතියක් නෑ. මේ ගැන අපි ඉදිරියේදි අන්තරය එක්ක කතා කරන්න බලාපොරෙත්තු වෙනවා,''යි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
මුලීක මිනිස් අයිතීන් උල්ලංඝණයක්
කෙසේ වුවද නීති ක්‍ෂේත්‍රයේ ක්‍රියාධරයකු වන සරසවි ආචාර්යවරයකු ජේඩීඑස් සමග කියා සිටියේ බුද්ධි අංශ යනු කවර හෝ ආකාරයකින් අනෙක් පාර්ශවයන්ගේ තොරතුරු රැස් කරමින් ලුහුබඳින පිරිසක් බැවින් නවක වදය මර්දනය කිරීමට යැයි පවසමින් බුද්ධි අංශ විශ්ව විද්‍යාලවලට එවිමෙන් බරපතල අර්බුද ගණනාවක් ඇති විය හැකි බව ය.
''නවක වදය නවත්වන්න යම් කිසි මැදිහත් වීමක් අවශ්‍ය කරන බව ඇත්ත. නමුත් මට නම් බුද්ධි අංශ කැම්පස්වලට දානව කියන කොටම පොඩි චකිතයක් එක්ක ප්‍රශ්න කිහිපයක්ම හිතට ආවා,” යි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කළණ සේනාරත්න JDS හා කියා සිටියේය.
“එකක් තමයි බුද්ධි අංශයක් කියන්නේම මොන විදිහකින් හරි තොරුතුරු හොයන කට්ටියකට. ඔවුන්ට, ඔවුන්ගේ ඉලක්ක වෙන්නේ කවුද කියන එක කිසිම විදිහක ප්‍රශ්නයක් නෙමෙයි. එතැනදි මතුවෙන ගැටළුවක් තමයි ඔත්තුකරුවෝ කියන්නේ හැමෝටම හඳුනාගන්න ප්‍රසිද්ධියේ ඉන්න, නිල ඇඳුම් අඳින අය නෙමෙයි. ඔවුන් වගේම ඔවුන් විසින් කරන කටයුතුත් රහසිගතයි. එහෙම වෙනකොට ළමයින්ට සැකයක්, බියක් ඇති වෙන්න පුලුවන් කවුද විශ්ව විද්‍යාලවල ඉන්න ඔත්තුකාරයෝ, කවුද ඔත්තුකාරයෝ නොවන අය කියලා. මම හිතන්නේ ඒක ඉතාම බරපතල කාරණයක්. මොකද, එයින් සිසුන් අතර පවා විවිධ ප්‍රශ්න හා ආරවුල් ඇති වෙන්නත්, එකිනෙකා දිහා සැකෙන් බලන්නත් පුලුවන්. සමහර වෙලාවට වෙනත් බාහිර කිසිම කෙනෙකුට විශ්ව විද්‍යාලය ඇතුළට එන්නත් බැරිවෙයි ශිෂ්‍යයන්ගේ සැකයට භාජනය වෙන නිසා. මේක උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයකට කිසිසේත්ම සුදුසු ක්‍රියාමාර්ගයක් නෙමෙයි.''
මීට අමතරව හමුදා බුද්ධි අංශ විශ්ව විද්‍යාලවල ඔත්තු බැලීමට එවීමෙන් පවතින නීති රීති පමණක් නොව, මූලික මිනිස් අයිතීන්ද බරපතල ලෙස උල්ලංඝණය වීම නොවැලැක්විය බවද ආචාර්ය සේනාරත්න පෙන්වා දෙයි.
''මේ වගේ පියවරකින් විය හැකි දේ තමයි මේකේ සීමාවන් මොනවද කියලා අපිට දැන ගන්න ක්‍රමයක් නැති වුණාම ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ දේශපාලන නිදහස හා සීතිමේ නිදහස වගේ බොහෝ දේ බරපතල විදිහට උල්ලංඝණය වෙන්න පුලුවන්. නීතිමය වශයෙන් ඒක ඉතාම බරපතල කාරණයක්. මූලික අයිතිවාසිකම් විතරක් නෙමෙයි, රටේ සාමාන්‍ය නීති රාමුව තුළ ගත්තත් අපිට ඒ තත්වය නොසලකා හරින්න බෑ කියන එකයි මගේ අදහස. අනෙක විශ්ව විද්‍යාලවලට එවන බුද්ධි අංශ සාමාජිකයන් තොරතුරු වාර්තා කරන්නේ ඔවුන්ගේ ප්‍රධානීන්ට. ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට හෝ ඔවුන්ට අණ දෙන ඉහළ නිලධාරින්ට. නවක වදය මර්දනයට තියෙන හොඳම විසඳුම මේක කියලා උපකුලපතිවරුන් කිවුවට බුද්ධි අංශ නවක වද පිළිබඳ තොරතුරු උපකුලපතිවරුන්ට දෙයිද? අපිට එහෙම හිතන්න බෑ කොහෙත්ම,'' යි ආචාර්ය සේනාරත්න බිය පල කළේය.
සරසවි දේශපාලනය මැඩලීමේ අවියක්
ඇතැම් විට පාලකයන් නවක වදයට වඩා විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමේ අවියක් ලෙස මෙය යොදා ගැනීමට සූදානමක් තිබේද යන සැකය ද ආචාර්ය කළණ සේනාරත්න මතු කර සිටියේය.
''අපි කැමති වුණත් - අකැමැති වුණත් විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය කණ්ඩායම්වලට ආවේනික දේශපාලනයක් තියෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත්තත් ඔවුන්ටත් යම් දේශපාලනයක් තියෙනවා. මම කියන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව නවක වදය මර්දනය කරනවා කියන එක ඉස්සරහට දාගෙන බුද්ධි අංශ එවලා මේ වාම දේශපාලනය මර්දනය කිරීම හෝ ඒ ගැන තොරතුරු රැස් කිරීම වෙන්න පුළුවන්.'
කෙසේ නමුත් විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් නවක වදය තුරන් විය යුතුය යන මතය තමන් බැහැර නොකරනවා සේම එයින් සිදුවන ඇතැම් ම්ලේච්ඡ ක්‍රියා නතර කර දැමීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සලකන බවද ආචාර්ය කළණ සේනාරත්න පැවසීය. නවක වදය ලබා දෙන ශිෂ්‍ය කණ්ඩායම්වල දේශපාලනය හැරුණු කොට වෙනත් දේශපාලන මතවාදයකට ඉඩ අහුරා තැබිමද වරදක් ලෙස තමන් සලකන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
UGC නොදන්නා බුද්ධි මෙහෙයුම්
විශ්ව විද්‍යාලවලට යුද හමුදා බුද්ධි අංශ එවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ කුමන පදනමින් දැයි ජේඩීඑස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසා සිටි විට එහි සමාජිකයකු කියා සිටියේ කොමිසම එවැනි සාමූහික තීරණයකට එළැඹ නැති බව ය.
නමුත් කොමිසම එවැනි ඉල්ලීමක් කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවා පිළිගන්නා අතර, පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් උසස් අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් කියා තිබුණේ විශ්ව විද්‍යාල සඳහා වෙනම බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බව ය. ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න උපුටා දක්වමින් දිවයිනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යාංශය විශ්ව විද්‍යාලවල නවක වදය මැඩලීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ය.
කෙසේ නමුත් විශ්ව විද්‍යාලවලට හමුදා ඔත්තුකරුවන් මැදිහත් කිරීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, ශිෂ්‍ය සංගම්වල, ආචාර්යවරුන්ගේ මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද තොරතුරු එක්රැස් කොට ඒවා බුද්ධි තොරතුරු ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට හෝ වෙන යම් ඒකකයකට ලබා දීමෙන් පසුව ඇති විය හැකි තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විපක්ෂයද මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. විශේෂයෙන්ම යමෙක් නවක වදයට හෝ වෙන යම් කරුණකට සම්බන්ධ යැයි සිතා එම පුද්ගලයා පිළිබඳව බුද්ධි අංශ ඔවුන්ට අණ දෙන ඉහළ නිලධාරීන්ට හෝ ඒකකයට වාර්තා කිරීමෙන් පසුව අදාළ සිසුවා, ආචාර්යවරයා හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයා සම්බන්ධයෙන් කෙසේ කටයුතු කරන්නේද යන වග ඉතාම තීරණාත්මක කරුණක් බව සිසු ක්‍රියාකාරීහු හා සරසවි ආචාර්යවරු කිහිප දෙනකුම ජේඩීඑස් සමග පළකළ අදහස්වලින් පැහැදිලි වේ.
රාජ්‍ය ආරක්ෂක බුද්ධි මෙහෙයුම්වලට එල්ල වී ඇති පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම්, ලිංගික අපරාධ, අතුරුදහන් කිරීම් සහ බහිර්නීතික ඝාතන (extra-judicial executions) පිළිබඳ චෝදනා විභාග කොට යුක්තිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් අපකීර්තිමත් මානව හිමිකම් වාර්තාවකට ශ්‍රී ලංකාව දැනටත් හිමිකම් කියයි. එවැනි ඉතිහාසයක් සහිත බුද්ධි අංශවල සැකයට ලක්වන අයකුගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හෝ ප්‍රතිපාදන කොමිසම හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා කිසිදු සහතිකයක් ලබා දී නොමැත.☐
© JDS