JDS Sinhala

සිරකරුවන් මරා දැමීමට කලින් කොරෝනා බිය ගැන කළ අනතුරු ඇඟවීම් ජනාධිපති නොතකා හරියි

ධි ආරක්ෂිත බන්ධනාගාර තුළ කොරෝනා රෝගය සම්බන්ධයෙන් කැළැඹීලි සහගත තත්ත්වයක් ඇතිවීම වළක්වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත කරන ලද ලිඛිත අනතුරු ඇඟවීමක් ජනාධිපතිවරයා විසින් නොසළකා හැරීම නිසා ඇති වූ සිදුවීමකින් බන්ධනාගාර සිරකරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

බන්ධනාගාරය තුළ කොරොනා රෝගය පැතිර යාමේ අවදානම හේතුවෙන් සුළු වැරදි සඳහා සිරගතව සිටින සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් මාර්තු 21 වැනි දින අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීමෙන් මෙකී මරණ සිදු වී ඇත.

වෙඩිවැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිරකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් හය දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තු මාධ්‍ය අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

පොලිසිය පවසන්නේ පලායාමට තැත්කළ සිරකරුවන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා ඇති බව ය. පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය, කැරළි මර්දන ඒකක සහ යුද හමුදාව මෙම සිදුවී වූ ස්ථානයට ක්ෂණිකව පැමිණ ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළ මතු වූ විරෝධතාවට හේතුවී ඇත්තේ එහි සිටි විදේශික සිරකරුවෙකු කොරෝනා වෛරසයෙන් ආසාදනය වී ඇතැයි සැක පිට ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව අනෙකුත් සිරකරුවන් තුළ තමන්හට ද රෝගය වැළඳෙනු ඇතැයි පැතිර ගිය බිය හේතුවෙනි. මෙම විදේශිකයා ආසාධනය වී ඇතැයි පැතිර ගිය වාර්තා සෞඛ්‍ය නිලධාරින් විසින් පසුව ප්‍රතික්ෂේප කර ඇත.

800 තැනට 5000ක්

ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයක් විසින් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම තුළ සිරකරුවන්ගෙන් පිරී ඉතිරී පවතින බන්ධානාගාර තුළ කැළැඹීලි සහගත තත්ත්වයක් ඇතිවෙතැයි මීට පෙර අනතුරු අඟවා තිබිණි. තම අනතුරු ඇඟවීම නොතකා හැරීම නිසා සිදු වූ මෙම මරණවලට ජනාධිපතිවරයා වගකිව යුතු යැයි එම සංවිධානය පවසයි.

“ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මෙම මරණ සම්බන්ධව පූර්ණ වගකීම භාරගත යුතු යැයි“ සිරකරු අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් කියා සිටියේය.

“බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිර යාමෙන් සිදුවිය හැකි විනාශය ගැන, ජනාධිපතිවරයා වෙත අපි කළ අනතුරු ඇඟවීමට ඔහු සවන් දුන්නා නම් මේ ඛේදවාචකය වළක්වාගන්න තිබුණා. ආණ්ඩුව පුද්ගල සමාජ සබඳතාවලින් වැළකී ඉන්න කියලා උපදෙස් දෙනවා. නමුත් ලංකාවේ හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී තියෙන තත්ත්වයක් තුළ සිරකරුවන් එකිනෙකාගෙන් මීටරයක් දුරින් ඉන්නේ කොහොමද?"

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු ඝාතනය සිදුවීමට දින පහකට පෙර සිරකරු අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සුළු වැරදිවලට බන්ධනාගාරත වූ අය සහ වයස්ගත සිරකරුවන් නිදහස්කර බන්ධනාගාරවල ඇති තදබදය අවම කර කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම අවම කරන ලෙස ඉල්ලා තිබුණි. එම ලිපිය මගින් රටේ ප්‍රධාන සිරගෙය වන වැලිකඩ බන්ධනාගාරයේ පහසුකම් ඇත්තේ සිරකරුවන් 800ක් සඳහා පමණක් වන නමුත් එහි 5000ක් රඳවා ඇති බව පෙන්වා දී තිබිණි.

මෙයට අමතරව බන්ධනාගාර රෝහල් වල අදාළ පහසුකම් නොමැති බවත් කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ පැතිර ගියහොත් එය සිරකරුවන්ගේ පමණක් නොව, බන්ධනාගාර නිලධාරින්ගේ ජීවිත ද අවදානමට ලක්වනු ඇති බවටත් එම ලිපිය මගින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබුණි.

මෙම ලිපිය සම්බන්ධයෙන් සිරකරු අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය වෙත තවමත් කිසිදු නිල ප්‍රතිචාරයක් ලැබී නැත.

බන්ධනාගාර තුළ පවතින තදබදය පිළිඳව ජනාධිපතිවරයා දිගටම නොසළකා හරින්නේ නම්, ඉදිරියේදී සියළු බන්ධනාගාර තුළ කැරළි සහගත තත්ත්වයක් ඇතිවිය හැකි යැයි සිරකරු අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණු එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු 2016දී තරම් ඈත වකවානුවක දී ප්‍රකාශ කර තිබුණේ රට තුළ පවතින සියළු බන්ධනාගාරවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ අඩුපාඩු සහිත යටිතල පහසුකම් හා පැහැදිලිව දැකිය හැකි තදබදකාරී තත්ත්වය බව ය.

 "මාගේ සංචාරයේදී මා විසින් නිරීක්ෂණය කරන ලද්දේ සිරකරුවන්ගේ සංඛ්‍යාවන්, බන්ධනාගාරවල පිරිස් ධාරිතාව මෙන් සියයට 200ක් හෝ 300ක් තරම් ඉහළ එකක් බව"යැයි වධහිංසා සහ අමානුෂික, කෘර හා අවමන්සහගත සැලකීම් හා දඬුවම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් ඊ. මෙන්ඩෙස් ප්‍රකාශ කර සිටියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.