JDS Sinhala

නාවික හමුදා කප්පම්කරුවන් ගැන අද්මිරාල් කරන්නාගොඩ දැන සිටි බව හෙළිවේ

කිත්සිරි විජේසිංහ විසිනි


ප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැහැරගෙන පැමිණ, වධහිංසා පමුණුවමින් ත්‍රිකුණාමලය 'ගන්සයිට්' භූගත සිර කඳවුරේ සිරකර සිටීම ගැනත්, පසුව එම පුද්ගලයන් ඝාතනය කිරීම ගැනත් එවකට සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නිශ්චිතවම දැන සිටි බව හෙළි වී ඇත.

කල්තියා දැන සිටි තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමෙන් හිටපු නාවික හමුදාපති ජීවිත අනතුරේ හෙලා ඇති බවට රහස් පොලිසිය චෝදනා කරයි.

අද්මිරාල් කරන්නාගොඩ පිළිබඳ අලුතින් එසේ අනාවරණය වී තිබෙන්නේ ඔහු සහ නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂක කපිතාන් ආනන්ද ගුරුගේ ප්‍රමුඛ නාවික නිලධාරීන් කිහිප දෙනකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශ පදනම් කරගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට බදාදා (ජූලි 3) දා ඉදිරිපත් කෙරුනු විමර්ශන වාර්තාවකිනි.

එහි සඳහන් පරිදි, පැහැර ගන්නා ලද පිරිසක් යුද්ධයේ අවසාන භාගයේ ත්‍රිකුණාමලයේ රහසිගත නාවික හමුදා සිර මැදිරියක රඳවාගෙන සිටි බව හිටපු නාවික හමුදාපතිවරයා දැනුවත්ව සිට ඇත.

එවක කපිතාන්වරයකු වූ, වර්තමානයේ රියර් අද්මිරාල් ජේ ජේ රණසිංහ විසින් 2009 මැයි මාසයේ දිනෙක තමන් හමුවට පැමිණ ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ ප්‍රමුඛ පිරිසක් විසින් ළමයින් පස් දෙනකු පැහැරගෙන පැමිණ ගන්සයිට් කඳවුරේ සිරකර ගෙන සිටින බව පැවසු බවත්, පසුව තමන් ඒ පිළිබඳව සොයා බැලීමට නාවික හමුදා බුද්ධි අංශයේ එවකට සිටි අධ්‍යක්ෂක කපිතාන් ආනන්ද ගුරුගේ, නාවික හමුදාවේ විනයාරක්ෂක හිටපු ප්‍රධානි කපිතාන් සේනක හංවැල්ල සහ නැගෙනහිර පළාත් නාවික ආඥාපතිව සිටි රියාර් අද්මිරාල් තුසිත් වීරසේකර යන අයට දැනුම් දුන් බවත් අද්මිරාල් කරන්නාගොඩ පවසා ඇත.

හිටපු නාවික හමුදාපතිවරයාගේ ප්‍රකාශය පදනම් කොටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහත තිදෙනාගෙන් ප්‍රශ්න කර තිබේ.

රියර් අද්මිරාල් වීරසේකර සඳහන් කොට තිබෙන්නේ තමන් ඒ පිළිබඳව සොයා බැලුව ද සිරකර ඇති කිසිදු අයකු පිළිබඳ තොරතුරු දැන ගන්නට නොලැබුණු බව ය. නමුත් ගන්සයිට් සිරකඳවුරේ පාලනය එවකට භාරව සිටියේ ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ විසින් බවත්, එම කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට තමන්ට අවසරයක් හෝ බලයක් නොතිබුණු බවත් රියර් අද්මිරාල්වරයා කියා ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව සුමිත් රණසිංහ සෘජුවම එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට පමණක් වගකීමට බැඳි සිටි නිසා බව ද නැගෙනහිර හිටපු නාවික ආඥාපතිවරයා සඳහන් කොට තිබේ.

රැඳවියන් මරා දමලා

කපිතාන් ආනන්ද ගුරුගේ විසින් ලබාදී තිබෙන ප්‍රකාශයට අනුව, සම්පත් මුණසිංහ යටතේ ක්‍රියාත්මක කෙරුනු ඒකකයේ සියළු නිලධාරීන් සහ සෙබළුන්ගෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කොට ගෙන තිබේ. එහිදි අනාවරණය වී තිබෙන්නේ ඒ වන විටත් එම රැඳවියන් ඝාතනය කර ඇති බව ය. ගන්සයිට් සිරකඳවුරේ රඳවා සිටි පුද්ගලයන් පැහැරගෙන පැමිණියේ කවරෙක් ද, ඔවුන් ඝාතනය කළේ කවරෙක් ද යන වග තමන් විසින් අනාවරණය කොට ගෙන අද්මිරාල් කරන්නාගොඩට දැනුම් දුන්න ද, ඔහු ඒ සම්බන්ධව කිසිදු තැකීමක් කොකළ බව ද නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ ප්‍රකාශ කොට ඇත.

හෙළිදරව්‍ වන මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කොට තිබෙන්නේ පුද්ගලයන් පිරිසක් පැහැරගෙන පැමිණ සිරකරගෙන සිටින බවට තොරතුරු ලැබුනු පසු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඒ පිළිබඳව සැළකිලිමත් වෙමින් කටයුතු කළේ නම් එම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමට හැකිව තිබුණු බව ය. ඒ වෙනුවට, තමන්ගේ නියෝග යටතේ ක්‍රියාත්මක කෙරුනු නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ පිරිස් විසින් කරන ලද අපරාධ ඔහු විසින් සිතාමතාම සඟවා ඇතැයි ද, එම අපරාධ සිදුකළ පුද්ගලයන් නීතිය හමුවට නොපමුණුවා ආරක්ෂා කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය

කෙසේ වෙතත්, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ රණවිරුවකු සේ සලකා අත්අඩංගුවට නොගත යුතු බව බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ විජිත් කේ මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පසුගිය මාර්තු මාසයේ ඒකමතිකව තීන්දු කරනු ලැබුණි.

එම තීන්දුව දෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට බිය පල කරමින්, එසේ අත්අඩංගුවට ගැනීම වළකාලන ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපති ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ය.

පිය පුතු සිවු දෙනකු ද ඇතුලු පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගෙන ගොස් රඳවා තබා ගෙන සිට පසුව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරින් සහ සෙබළුන් පිරිසක් මෙසේ චෝදනා ලැබ සිටිති.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.