JDS Sinhala

සිසුන්ට එරෙහි ප්‍රහාර නව ත්‍රස්ත මර්දන නීතිවල අරමුණ හෙළිකරන බවට චෝදනා

 

කිත්සිරි විජේසිංහ විසිනි


යෝජිත ත්‍රස්ත මර්දන පනතට විරෝධය දක්වමින් පවත්වන ලද සරසවි සිසු උද්ඝෝෂණයේ දී ම්ලේච්ඡ ලෙස පහර දී පොලිස් අත් අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් සිරගත කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩු විරෝධීන් මර්දනය කිරීමට අවශ්‍ය ලෙස නීතිය යොදාගැනීමට ඇති සූදානම බව වෘත්තීය සමිති ක්‍රියාධරයෝ චෝදනා කරති.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය, බදාදා (13) දින පාර්ලීමේන්තු පිවිසුම් මාර්ගය අසලදි  වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් පහර දී අත් අඩංගුවට ගනු ලැබීම පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ යෝජිත ත්‍රස්ත මර්දන පිළිවෙත්වල සැබෑ අරමුණ ආණ්ඩුව විසින් මනාව පැහැදිලි කර දී ඇති බව ය.

"සරසවි සිසුන් විරෝධය පෑවේ සිසුන්ට පමණක් බලපාන ආයතනික ප්‍රශ්නයක් මුල් කරගෙන නෙවෙයි. ඔවුන්ගේ විරෝධයේ ඉලක්කය වුණේ මුළු මහත් මහජනතාවටම බලපාන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්"යි ස්ටාලින් ජේඩීඑස් හා කියා සිටියේය.

"පාර්ලිමේන්තු නියෝජිතයෙක්ගේ පුත්‍රයෙක් ඇතුළු ප්‍රභූ පවුල්වල තරුණයන් නොසැලකිලිමත්ව රිය පදවලා අගනුවර මහපාරක දි පොලිස් නිලධාරියෙක්ට මරණීය තුවාල සිදුකරලා පලා ගියාම ඒ අය ඉතාම ඉක්මණින්ම ඇප ලබාගෙන එළියට එනවා. නමුත් මුළු රටටම බලපාන ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති රෙගුලාසි හඳුන්වා දීමට විරුද්ධව පෙළපාලි ගියාම සරසවි ශිෂ්‍යයන්ව පහර දීලා, අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරන්න පොලිසිය කටයුතු කරනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ තියෙන දැනටත් තියෙන මර්දනකාරී නීති රාමුවේ පක්ෂග්‍රාහී කමයි. අලුතෙන් ත්‍රස්ත විරෝධී අණ පනත් වැඩි දුරටත් අවශ්‍ය වෙලා තියෙන්නේ, 13 වැනිදා සිදුවුණු විදියේ ප්‍රජාතන්ත්‍රවාදීව මතුවන විරෝධය තව තවත් මර්දනය කරන්නයි" ඔහු කීය. 

'සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට එරෙහි වෙමු' නැමති සටන් පාඨය යටතේ අවිශිබම විසින් බදාදා දිනයේ කැඳවා තිබූ විරෝධතා ව්‍යාපාරයේ දී අත්අඩංගුවට දෙහිදෙණිය සිසුවා, අධි ආරක්ෂිත කලාපයක 'කළහකාරිව හැසිරීමේ' චෝදනා මත ඊයේ (14) කොළඹ අලුත්කඩේ අධිකරණය හමුවට පමුණවීමෙන් පසු,  18 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා විසින් නියෝග කළාය.

'අගමැති එක්ක කතා බෑ'

අන්තරයේ මාධ්‍ය ප්‍රකාශක දුමින්ද තාරක ජේඩීඑස් වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කැඳවුම්කාර මහිල් බණ්ඩාරට එරෙහිව වැලිකඩ පොලිසිය විසින් කිසිදු චෝදනාවක් එල්ල නොකරම රැයක් පුරා පොලිසියේ රඳවා ගත් බව ය.

"අපි මේ උද්ඝෝෂන පා ගමන පැවැත්වුයේ හුදෙක් මේ රටේ විශ්ව විද්‍යාල වල ඉන්න ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගේ නිදහස වෙනුවෙන් විතරක් නෙමෙයි. රජය ගේන්න හදන ප්‍රති-ත්‍රස්ත පනතෙන් මේ මුලු සමාජයම මර්දනය කරන්න හැදීමට විරුද්ධවයි. පනතට විරුද්ධව පෙළපාලියකින් ගිය උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉලක්ක කරලා කැරලි මර්දන හමුදාව,පොලිසිය යොදලා කරපු පහර දීමෙන්ම ඒකේ තරම පේනවා නේද? පොලිස් නිලධාරීන් දෙසට ඇවිදගෙන ගිය මහිල් අත්අඩංගුවට ගන්න කලින් පොලිසිය බැටන් පොලුවලින් ඔහුගේ හිසට නින්දිත විදිහට පහර දුන්නා" යි අන්තරයේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියි.

සරසවි සිසු - සිසුවියන් මෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහි විවිධ සමාජ බලවේග රැසක් ඒකරාශී කරගනිමින් පවත්වන ලද එම උද්ඝෝෂණ පෙළපාලියෙන් අනතුරුව තමන් ඉල්ලා සිටියේ අගමැතිවරයා හා සාකච්ඡාවක් පමණක් බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

"මහිල්ව අත්අඩංගුවට ගන්න අවශ්‍යව හිටි කෙනෙක් කියලා පොලිසිය අධිකරණයට කියා සිටියා. එහෙම අත් අඩංගුවට ගන්නේ අවිශිබම කැඳවුම්කරු කිසියම් අපරාධයක් කරපු නිසාද? නැතිනම් ශිෂ්‍ය අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාමකාමී විරෝධතා සංවිධානය කිරීම නිසා ද?"

තුවාලකරුවන්

මේ අතර පොලිස් සහ කැරළි මර්දන බලඇණිවල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබු ජයවර්ධනපුර සහ කැළණිය විශ්ව විද්‍යාල දෙකෙහි සිසුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා එදිනම පිටව ගොස් ඇත.

උද්ඝෝෂණය පැවති  මාර්ගය අසළ  ගමන් කරමින් සිටි කුඩා දරුවන් ඇතුළු සාමාන්‍ය ජනයා විශාල පිරිසක් ද පොලිසිය සහ කැරලි මර්දන හමුදාවන් විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන්ට ගොදුරු වූහ.☐

© JDS

(සිසු උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක්)


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.