JDS Sinhala

රැකියා විරහිතයන්ට සහ සරසවි සිසුන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර

කිත්සිරි විජේසිංහ විසිනි


පාධියට සරිලන රැකියාවක් ඉල්ලා උද්ඝෝෂණය කළ රැකියා විරහිත උපාධිධාරීන්ටත්, විශ්ව විද්‍යාලවල පවතින අධ්‍යයන සහ පරිපාලන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් විරෝධතා දැක්වූ සරසවි සිසුන්ටත් ආසන්න දින දෙකකදී කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කොට විසිරුවා හැරීමට කැරලි මර්දන පොලිස් බලඇණි විසින් ක්‍රියාකර තිබේ.

මෙසේ පොලිස් ප්‍රහාර මගින් මැඩ පවත්වනු ලැබුණේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සඳුදා (3) දිනයේදීත්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අඟහරුවාදා (4) දිනයේදීත් අගනුවරට කැඳවා තිබූ විරෝධතා උද්ඝෝෂණයන් ය.

ප්‍රහාරයට ගොදුරු වු රැකියා විරහිත උපාධිධාරීන් මෙන්ම සරසවි සිසුන්ද චෝදනා කරන්නේ තම ගැටළුවලට විසඳුම් ඉල්ලමින් ජනාධිපතිවරයා හමුවට ගිය තමන්ට කැරලි මර්දන භටයන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ජනාධිපතිවරයා දැනුවත්ව බව ය.

'ජනපති සාකච්ඡා බොදුබලයට විතරයි'

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, තැන්නේ ඥානානන්ද හිමි ජේඩීඑස් හා කියා සිටියේ තම සංගමය  ජනාධිපතිවරයා හමුවී රැකියා විරහිතයන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ දැරූ නමුත් ඒ සඳහා කිසිදු අවස්ථාවක් නෙැලැබුණු බැවින් ජනාධිපතිවරයා හා සාකච්ඡාවක් ලබා ගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය කරා යාමට තමන් තීරණය කළ බව ය.

"අපි අවුරුදු ගාණක් ඉඳලා මේ ප්‍රශ්නේ බලධාරින්ට කියනවා. පහුගිය අවුරුදු හයේදිම අපිට පොරෙන්දු දුන්නේ ඇමතිලායි ,ලේකම්ලායි. බොදුබල සේනා වගේ ජාතිවාදී සංවිධාන එක්ක පැය ගණන් සාකච්ඡා කරන්න ජනාධිපතිට පුලුවන් නම් ඇයි ජනාධිපතිට බැරි රැකියා විරහිතයන් එක්ක පැයක් කතා කරන්න? ඒ වෙනුවට අවුරුදු ගාණත් තිස්සේ රස්සාවක් ඉල්ලලා බලධාරින් ළඟට ගිය අපිට ගැහුවේ ලොරි පුරවලා කැරලි මර්දන භටයන්ව අරන් ඇවිත්" හෙතෙම කියා සිටියේය.

ඥානානන්ද හිමියන් කියා සිටියේ උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණි ජනාධිපති කාර්යාලයේ  නිලධාරියෙක් විසින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත්තේ   ජනාධිපතිවරයා හා සාකච්ඡාවක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා මද වේලාවක් රැඳි සිටින ලෙසත් ය. ජනාධිපති හා සාකච්ඡාවක් ලැබෙතැයි අපේක්ෂාවෙන් සිටින රැකියා විරහිත උපාධිධාරීන් වටකොට පොලිසිය සහ කැරලි මර්ධන හමුදාවන් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත්තේ ඒ අතරදී ය. අනපේක්ෂිත ප්‍රහාරයෙන් බේරීමට පලායන උද්ඝෝෂකයන්ව ඉලක්ක කරමින් කොළඹ - කොටුව දෙසින් ස්ථානගතව සිට ඇති තවත් කැරලි මර්දන  කණ්ඩායමක් නැවතත් කඳුළු ගෑස් හා අධි ජල පීඩන ප්‍රහාර ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන්ට බේරී යාමට ඇති සියළු ඉඩ අවුරන ලද බව ඥානානන්ද හිමියෝ කිටියහ.


ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය නිකුත් කර ඇති නිවේදනයකට අනුව දැනට දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරින් 57,000 පමණ සිටින අතර පසුගිය ආණ්ඩු සමයේදි ඉන් 20,000 ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වුවද එසේ ලබා දී ඇත්තේ රැකියා 4000 ටත් අඩුවෙනි. එම සංගමය අවධාරණය කරන්නේ පොරොන්දු ප්‍රකාරව අවම වශයෙන් ඉතිරි 16,000 ට හෝ කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ය.

ජනාධිපතිගේ විසඳුම

මේ අතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය මැඩලූ ආකාරයෙන්ම සරසවි සිසු විරෝධතා මැඩලීමට අඟහරුවාදා (4) දිනයේ දී රජය ක්‍රියා කළේය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සහ රජරට විශ්ව විද්‍යාලයේ වසර ගණනාවක් පුරා දික්ගැසෙමින් තිබෙන අර්බුදවලට විසඳුම් ඉල්ලා සිටිමින් අවිවිශිබම විසින් කැඳවා තිබූ විරෝධතාවට සහභාගී වූ සිසු උද්ඝෝෂකයන්ට පොලිස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනක නිරතව සිටියදී ය.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය කියා සිටියේ  තමන් හා සාකච්ඡා කිරීමට ජනාධිපති අතිරේක ලේකම්වරයෙක් ලබාදිය හැකි යැයි ජනාධිපති කාර්යාලයෙන් පවසන ලද නමුත් සිසුන් එය ප්‍රතික්‍ෂේප කරමින්  ජනාධිපතිවරයා හා  සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පොලිසිය  සහ කැරලි මර්දන කණ්ඩායම් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව ය.

"අපි ජනාධිපති කාර්යාලයට ගියේ, මාස ගාණනාවක් ඉඳලා පන්ති තහනම් කරලා ඉන්න, අසාධාරණ චෝදනා ගොනු කරලා විශ්ව විද්‍යාවලින් නෙරපලා ඉන්න අපේ ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට සාධාරණය ඉටු කරන්න කියලා ඉල්ලන්නයි" ඔහු ජේඩීඑස් හා කියා සිටියේය.

"රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සත්‍යග්‍රහයට ඊයෙට දින 110 යි. අග්නිදිග විශ්ව විද්‍යාලයේ පන්ති වර්ජනයට ඊයේට දින 365 යි. ශිෂ්‍යයෝ පන්ති වර්ජනය කරන්නේ, සත්‍යග්‍රහ කරන්නේ පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් නෙමෙයි. එවට විසඳුම් නොදී පාලකයෝ කරන්නේ පොලිස් ප්‍රහාර එල්ල කරලා ශිෂ්‍යයන්ගේ අතපය කඩලා දාන එකයි" හේ චෝදනා කළේය.

සිසුන්ට ශල්‍යකර්ම

සරසවි අධ්‍යාපනය අහිමි කළ සිය සහෝදර සිසුන් වෙනුවෙන් රටේ දැන් සිටින 'එකම පාලකයා' හා සාකච්ඡා කිරීමට යන සිසු සිසුවියන්ට කැරලි මර්දන හමුදාව යොදවා එල්ල කරන ලද පහර දීම හේතුවෙන් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේත්, රජරට, පේරාදෙණිය හා ජයවර්ධනපුර සරසවිවලත් සිසුන් 7 දෙනෙක් තුවාල ලබා කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, එයින් තිදෙනකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අවිශිබම කැඳවුම්කරු කියා සිටියේය. කඳුළු ගෑස් උණ්ඩයක් දණහිසට වැදීමෙන් බරපතල තුවාල ලත් සිසුවකු හදිසි ශල්‍යකර්මයකට භාජනය කළ බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


"සිසුන්ට මොන තරම් දරුණු විදිහට ගැහුවද කියන එකට හොඳම උදාහරණය තමයි, කිහිලිකරු වාරුවෙන් ඇවිත් හිටිය ශිෂ්‍යයන්ටත් පොලිසිය බිම දාගෙන පොලුවලින් ගැහුවා. එක ශිෂ්‍යයෙක්ට ගහන්න විස්සක් විතර වටවුණා," යි හේ කීය.

අග්නිදිග විශව විද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය පිළිබඳව මෙයට පෙර අවස්ථා කිහිපයකදී ජේඩීඑස් විසින්ද හෙළිදරව් කොට ඇති අතර, මේ වන විටත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් විවිධ චෝදනා යටතේ පන්ති තහනමටත්, ශිෂ්‍යභාවය අහෝසිකිරීමටත් ගොදුරුව සිටිති.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.