JDS Sinhala

වාරණ නියෝග කඩකිරීමේ චෝදනා මත සිසු නායකයන් තිදෙනෙක් දඟගෙට

කිත්සිරි විජේසිංහ විසිනි.


මැතිවරණ සමයේ ශිෂ්‍ය උද්ඝෝෂණ පෙළපාලි නොපවත්වන ලෙසට අධිකරණය විසින් පනවා තිබු වාරණ නියෝග කඩ කරමින්  උද්ඝෝෂණයක් පවත්වා අධිකරණ අණ නොතකා හරින ලද බවට සහ එමඟින් මහජන  සාමය කඩ කිරීමේ  චෝදනා  මත ශිෂ්‍ය නායකයන් දෙදෙනෙක් බ්‍රහස්පතින්දා (15) රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

කොළඹ කෙටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝග මත ලබන 28 වන දින දක්වා  මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිවිශිබම) කැඳවුම්කරු වන ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ (අවිවිභිබම) කැඳවුම්කාර ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා ය. ඒ, මිරිහාන සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලකට අනුව ය.

පැමිණිල්ල එකක්, දඬුවම තව එකක්

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් යෝජිත විසඳුම් මාලාවට විරෝධය පෑම සඳහා ජනවාරි 25 වැනි දින අවිවිශිබම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් අනෙකුත් පාර්ශව හා ඒකාබද්ධව විරෝධතා උද්ඝෝෂණ පෙළපාලියක් කැඳවන ලද අතර මිරිහාන සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය විසින් ශිෂ්‍ය නායකයන් ද ඇතුළු පාර්ශවකරුවන් කිහිප දෙනෙක් නම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලදී. මැතිවරණ සමයේ මහජන සාමය කඩ කරමින් ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොපවත්වන ලෙසට එමගින් සංවිධායකයන්ට දන්වා තිබුණි.

මේ සම්බන්ධව විමසීමේදි අවිවිශිබම මාධ්‍ය ප්‍රකාශක අසංක සඳරුවන් ජේඩීඑස් හා කියා සිටියේ පසු ගිය 25 වැනි දින පැවති උද්ඝෝෂණය නොපවත්වන ලෙසට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කොට තිබුණු බව පැවසුන ද,  ශිෂ්‍ය නායකයන් අද දින රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලද අවස්ථාවේදී බව ය.

“පහුගිය කාලය පුරාම මේ විදිහට තමයි ශිෂ්‍ය නායකයන් රක්ෂිත බන්ධනාගාර ගත කළේ. පොලිසිය ශිෂ්‍ය උද්ඝෝෂණවලට විරුද්ධව වාරණ නියෝග ගන්නවා, ඉන් පස්සේ ඊට කලින් තිබුණ චෝදනාවකට උසාවියේ පෙනී හිටියාම වාරණ නියෝග කඩ කළා කියලා බන්ධනාගාර ගත කරනවා. ඊට පස්සේ නිදහස් වුණාම, කලින් විභාග කරන්න නියමිතව තිබුණ චෝදනාව යොදාගෙන වෙනත් දවසක ආයේම වතාවක් බන්ධනාගාර ගත කරනවා".

නොදුටු වාරණ නියෝග

කෙසේ වෙතත් ජනවාරි 25 වැනිදා පැවති උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස්, බැටන් සහ අධි පීඩන ජල ප්‍රහාරයක්ද එල්ල කරන ලද අතර සිදුවීමෙන් තුවාල ලද සිසුන් කිහිප දෙනෙක් පසුව රෝහල් ගත කෙරුණි. ප්‍රහාරයට ලක්වීමෙන් පසුව ජේඩීඑස් වෙත ප්‍රකාශයක් කළ අවිවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර අවධාරණය කර සිටියේ ශිෂ්‍ය උද්ඝෝෂණය වාරණය කරමින් අධිකරණය විසින් නිකුත් කළා යැයි පැවසෙන කිසිදු වාරණ නියෝගයක් තමන් හෝ වෙනත් කිසිදු ශිෂ්‍ය නායකයකු අතට නෙැලැබුණු බවයි. එසේම තමන්ට නෙැලැබුණු වාරණ නියෝගයක් කඩ කළ බව පවසමින් ඉදිරි දින කිහිපය තුළ දි තමන් ඇතුළු ශිෂ්‍ය නායකයන්ව අත් අඩංගුවට ගැනීමේ පෙර සුදානමක් පවතින බවට ද ඔහු ප්‍රකාශ කළේය.

“මේ කියන කිසිම උසාවි නියෝගයක් අපිට මේ තාක් ලැබී නෑ. නමුත් අපිට පස්සේ ආරංචි වුණා පොලිසිය මගෙයි, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් සහෝදරයගෙයි, භික්‍ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ හාමුදුරුවන්ගෙයි නම් දාලා වාරණ නියෝග අරගෙන ගිහින් ජයවර්ධනපුර සරසවියේ ආරක්‍ෂක නිලධාරීන්ට බාර දීලා තියෙනවා කියලා," ඔහු කීය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ද මේ අයුරින්ම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝග නොතකා හැරි බවට චෝදනා කරමින් ලහිරු වීරසේකර, රයන් ජයලත් සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුණි.

මේ අතර අවිවිශිබම වැඩබලන කැඳවුම්කරු ලෙස කටයුතු කළ ජයවර්ධනපුර සරසවියේ සනත් බණ්ඩාර සිසුවා ද ඉකුත් 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී වාරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරන ලදී.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.