JDS Sinhala

යුද අපරාධ චෝදනා හමුවේ හිටපු හමුදාපති ලතින් ඇමරිකාවෙන් පලා යයි

ස දහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අධියර අධීක්‍ෂණය කළ හිටපු හමුදාපතිවරයකුට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණුකිරීම හමුවේ ඔහු ලතින් ඇමරිකාවෙන් පලා ගොස් තිබේ.

බ්‍රසීලය, කොලොම්බියාව, චිලිය, පෙරූ, ආර්ජන්ටිනාව හා සුරිනාම් යන ලතින් ඇමරිකානු රාජ්‍යයන් හි ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව මෙම චෝදනා ගොණු කොට ඇත්තේ සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා එහි ලතින් ඇමරිකානු හවුල්කාර සංවිධාන පහක් විසිනි. බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ ද, කොලොම්බියාවේ බොගෝටා නගරයේ හා පෙරූ හි ලීමා නුවර දී සඳුදා (28) ගොණු කරන ලද පැමිණිලි මගින් චෝදනා කර සිටින්නේ යුද කලාපයේ රෝහල් ඉලක්ක කොට නැවත නැවතත් එල්ල කළ ප්‍රහාරයන්, වධ හිංසා හා ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා, බලහත්කාරී අතුරුදහන්කිරීම් හා බහීර්නීතික ඝාතන සිදුකළ හමුදා ඒකකවල ආඥාපතිවරයා වශයෙන්, එකී සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ජෙනරාල් ජගත් ජයසූරිය වෙත තනි පුද්ගල අපරාධ වගකීම පැවරෙන බවයි.

සංවිධාන හයක්

ජෙනරාල් ජයසූරිය වෙත හිමිව ඇති රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත් කරගැනීමේ තර්ජනය හමුවේ ඔහු ඉරිදා (27) දිනයේදී ඩුබායි ගුවන්තොට හරහා ශ්‍රී ලංකාවට පලාගොස් ඇති බවට විශ්වාසදායක තොරතුරු ජේඩීඑස් වෙත ලැබී තිබේ.

"ඔහු විසින් සිදුකර ඇති දෑ සළකා බැලීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා මගින් නම් කරන ලද මෙවැනි පුද්ගලයෙක් රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය සහිතව බලලත් තානාපති නිලධාරියකු ලෙස විදේශ රටකට පත්කොට යැවීම වනාහී සාහසික ක්‍රියාවකි. ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිනු දැකීමට සත්‍යය සහ යුක්තිිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියසහ එහි ලතින් ඇමරිකානු හවුල්කාර සංවිධාන කැමැත්තෙන් සිටිය ද, ඒ වෙනුවට ඔහු හදිසියේම ලතින් ඇමරිකානු කලාපයෙන් පෙරළා ශ්‍රී ලංකාවට පලාගොස් ඇති බව අපට වැටහී ඇතැ’යි ITJP සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හා දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිඥවරියක වන යස්මින් සූකා ප්‍රකාශ කළාය.

"තමන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳව ඔහු අවංකව විශ්වාස කළේ නම් ස්වකීය තනතුරේ රැඳී සිටිමින් අධිකරණ ක්‍රියාමාර්ගයට මුහුණදීමට ජෙනරාල් ජයසූරිය කටයුතු කළ යුතුව තිබුණා. නීතියේ ආධිපත්‍යය සහ වගඋත්තරදායකත්වය පිළිබඳ ශ්‍රී ලංකාව සැබැවින්ම කැප වී ක්‍රියා කරන්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොණුකිරීමට අවස්ථාව මෙය"යැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ITJP සංවිධානය සමග මෙම පැමිණිල්ල ගොණුකිරීමට දායක වී ඇත්තේ ලතින් ඇමරිකාවේ කීර්තිමත් මානව හිමිකම් කණ්ඩායම් අතරේ ලා ගැණෙන නෛතික හා සමාජ අධ්‍යයන කේන්ද්‍රය (ආර්ජන්ටිනාව), කොනෙක්ටාස් (බ්‍රසීලය), නෙල්සන් කවුකෝටෝ මානව හිමිකම් නීති ආයතනය (චිලිය), කොලොම්බියානු නීතිවේදී කොමිසම (කොලොම්බියාව) හා නීති ආරක්‍ෂණ ආයතනය (පෙරූ) යන සංවිධානයන් ය.

රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහිමියි

මෙම නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධීකරණය කිරීම දායක වී ඇත්තේ ආර්ජන්ටිනියානු ජෙනරාල් හොර්හේ විදේලා සහ චිලියානු ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේට එරෙහි නඩු විභාගවලට මුල පිරුවා වූද, පසුකාලීනව ගුවාතමාලාවේ දණ්ඩ මුක්තියට එරෙහි ජාත්‍යන්තර කොමිසමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්තීයෝ ඇතුළු ගුවාතමාලානු යුද අපරාධකරුවන්ට හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව අධිචෝදනා ගොණු කළාවූ ද, ස්පාඤ්ඤ අභිචෝදක කාර්ලෝස් කස්ත්‍රෙසානා ෆෙර්නැන්දෙස් විසිනි.

"ජෙනරාල් පිනෝචේ හා ජෙනරාල් විදේලාට එරෙහිව අපි විසින් ආරම්භ කළා වූ නඩු විභාගයන්ටත් වඩා දරුණු අපරාධ පිළිබඳ සාක්‍ෂි මීට ඇතුළත්ව තිබීම ගැන මම විස්මයට පත්වෙමි'යි කස්ත්‍රෙසානා ප්‍රකාශ කළේය.

“ජෙනරාල් ජයසූරිය බ්‍රසීලයෙන් පලායාම ගැන මම එතරම් වද නොවෙමි; නඩුව ආරම්භවන්නේ දැන් ය. ඔහු අපගේ කාර්යය වඩා පහසු කර තිබේ. මන්ද යත් පලා යාම හේතුවෙන් ඔහු තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික මුක්තියට හිමිකම් නොකියන නිසා ” යැයි හේ වැඩි දුරටත් කියා සිටියේය.

2007 - 2009 කාල වකවානුව තුළ වන්නි හමුදා ආඥාපතිවරයා වශයෙන් ක්‍රියාකළ ජෙනරාල් ජගත් ජයසූරිය, දෙමළ සිවිල් වැසියන් වගවිභාගයකින් තොරව බෝම්බ හා ෂෙල් ප්‍රහාරයන්ට බඳුන් කරමින් රෝහල් පවා ඉලක්ක කළා වූ යුද්ධයේ අවසාන අධියරේ දී සමස්ත යුද චර්යාවන් අධීක්‍ෂණය කළ බවට ඔහු විසින්ම පිළිගෙන තිබේ. ජෙනරාල් ජයසූරිය මෙකී මෙහෙයුම් අධීක්‍ෂණය කරන ලද්දේ  ශ්‍රී ලංකාවේ කුප්‍රකට වධක බිමක් වූ 'ජෝසප් කඳවුරේ' ස්ථානගතව සිටිමිනි. ශ්‍රී ලංකාවේ ගැටුම් අවසානයේ යටත් වූ සිය ගණනක් නීතියට බැහැරව ඝාතනය කිරීම සහ බලහත්කාරී ලෙස අතුරුදහන්කිරීම සම්බන්ධයෙන් විධාන වගකීම, යුද හමුදාපති ධූරයේ කටයුතු කළ ජෙනරාල් ජයසූරියට පැවරෙන බවට ද පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර තිබේ.

"අගෝස්තු 30 වැනිදා අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන අපි, අතුරුදහන්වීම් අත්විඳි රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙත සහයෝගීතාව පළකරන්නෙමු"යි යි කොලොම්බියානු නීතිවේදී කොමිසමේ හුආන් කාර්ලොස් ඔස්පීනා ප්‍රකාශ කළේය.

"යුක්තියෙන් තොරව ජීවත්වීම කෙසේ දැයි අප හොඳින් දන්නා අතර අන්‍යයන් වෙනුවෙන් දණ්ඩ මුක්තිය හා පොරබැදීමට  කළ හැකි යමක් වේ නම් ඊට සහාය දීම අපගේ රාජකාරියක් සේ අපි සළකන්නෙමු" යි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.