JDS Sinhala

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නව චක්‍රලේඛයට ගුරු, සිසු විරෝධය

ශිෂ්‍ය සංවිධාන සහ බාහිර පුද්ගලයන් පාසැල් තුළට පැමිණ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා පමුණුවන බවට චෝදනා කරමින් එයට එරෙහිව කටයුතු කිරිමට හැකිවන පරිදි පොලිසියට සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ට බලය පවරා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති නව චක්‍ර ලේඛය,අධ්‍යාපන පෞද්ගලිකරණයට විරුද්ධ පාර්ශවයන් බිය වැදිදීමේ සහ මර්දනය කිරිමේ අරමුණින් නිකුත් කර ඇති එකක් යැයි ගුරු,විදුහල්පති  සහ ශිෂ්‍ය සංගම් චෝදනා කරති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු 2017.02.27 දිනැති අංක 2017/ 13 දරණ  චක්‍ර ලේඛයට අනුව, රජය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපනයට අදාළ වන ප්‍රතිසංස්කරණයන්වල මුලික කටයුතු ක්‍රියාවට නංවමින් සිටින අතර එ් සම්බන්ධ නියමු ව්‍යාපෘතීන් කිහිපයක් ජාතික හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරමින් සිටි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනුයේ දැනට ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහනට බාධාවන අයුරින් පාසැල් සිසුන් නොමග යැවීමට බාහිර ශිෂ්‍ය කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බවයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ හා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පැසැල් සිසුන් බාහිර උද්ඝෝෂණයන්ට සහභාගි කරවීමෙන් වැළකිය යුතු ය. එසේම පැසැල්වලට පැමිණ සිසුන් ආමන්ත්‍රණය  කිරීම, ගුරුවරුන් හමුවීම තහනම් වන අතර එවැනි තත්ත්වයකදි ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පාසැල් ප්‍රධානීන් පියවරගත යුතු ය. එසේම යම් කිසි බාහිර පුද්ගල හෝ ශිෂ්‍ය කණ්ඩායමක් හෝ පාසැලට පැමිණ සිසුන් හෝ ගුරුවරුන් ඇමතුවහොත් එහි වගකීම පෞද්ගලිකවම පාසැලේ විදුහල්පතිවරයා විසින් භාරගත යුතුව ඇති බවට ද එම චක්‍ර ලේඛයෙහි සඳහන් ය.

'මේක තර්ජනයක්'

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති අදාළ චක්‍ර ලේඛයෙහි සඳහන්වන එක් මුලික කරුණක් වන්නේ 13 වසර තෙක් අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනට අවශ්‍ය නිපුණතා සංවර්ධනයට සහ පුහුණවට පෞද්ගලික අංශයද දායකකර ගැනීමට රජය අදහස් කරන බව ය. නමුත් මෙම චක්‍ර ලේඛය මඟින් සිදුකිරීමට උත්සාහ දරණුයේ රජයේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙල කිසිදු  බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාම සහ එයට එරෙහිව නැඟී සිටීමට ඉඩ ඇති බලවේග මර්දනය කිරීමට අවශ්‍ය නෛතික පසුබිම නිර්මාණය කිරීම බවට ගුරු,විදුහල්පති සහ ශිෂ්‍ය සංගම් චෝදනා කර සිටිති.

අදාළ කරුණු පිළිබඳව විමසීමේදි ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ ජේඩීඑස් හා  කියා සිටියේ ආණ්ඩුවේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ උවමනාව අධ්‍යාපන පෞද්ගලීකරණ සැළසුම්වලට එරෙහි විය හැකි පාර්ශවයන් මෙන්ම, පාසැල් විදුහල්පතිවරුන් ද බිය ගන්වා, තර්ජනය කොට පසෙකට කිරීම බව ය.

"මගේ නම් අදහස මේ තත්ත්වය හරියටම '81 ධවල පත්‍රිකාවට විරුද්ධව විවිධ පාර්ශවයන් නැඟී සිටිය අවස්ථාවේ වගේ බවයි. බලධාරීන් උත්සාහ ගන්නවා මොනවා හරි දෙයක් හැමෝටම හොරෙන් කරන්න. මේ චක්‍රලේඛයට අනුව අපිට හිතන්න වෙන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුවේ සැළසුමක් තියෙනවා කියන එකයි. පැතිරුණු විරෝධයක් තිබෙද්දීත්, සයිටම් වගේ ආයතනයක් ගේන්න දේශපාලන බලධාරීන් උත්සහ කරන්නේ ඒ නිසා"යි ඔහු වැඩි දුරටත් කීය.

මෙම චක්‍ර ලේඛයට අනුව පාසැලට බාහිර පුද්ගලයන් පැමිණීමත්, ගුරුවරුන් සහ සිසුන් සම්බන්ධ කොටගෙන විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමත් නීති විරෝධී වන බැවින් එහි වගකීම පෞද්ගලිකවම අදාළ විදුහලේ විදුහල්පතිවරයා දැරිය යුතු බවට සඳහන්ව තිබීමේ අරමුණ පාසැල් ක්‍රියාකාරකම් හුදකලා කොට වැට කඩොළු බැඳ එහි වගකීම විදුහල්පතිවරයා පිට පැටවීම බව ද ඔහු ප්‍රකාශ කළේය.

"අධ්‍යාපන බලධාරීන්ට උවමනා වෙලා තියෙනවා විදුහල්පතිවරුන්ව බය කරලා පැත්තකට කරන්න. ඒකට හේතුව මේ කරන්න හදන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට යම් බාධාවක් වෙයි කියලායි. ඒක කරන්න යන්නේ ඔය කියන ප්‍රතිසංස්කරණවලට මුවා වෙලායි. ආණ්ඩුව කියන්නේ 'උඹලා පැත්තකට වෙලා හිටපල්ලා, මෙහෙම කෙරුවොත් අපිත් මෙහෙම කරනවා' කියලා නෙමෙයිද? "

පාසැල්වලට බාහිර පුද්ගලයන් සම්බන්ධකර ගැනීම තහනම් කරමින් අණ පනත් ගෙනෙන අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් පාසැල් නඩත්තු කරනුයේ කෙසේ දැයි  සොයා බැලීමට කිසිදු උනන්දුවක් දක්වන්නේදැයි  පරාක්‍රම වීරසිංහ ප්‍රශ්න කර සිටි.

"පාසැල කියන්නේ රජයේ ආයතනයක්. නමුත් දෙමව්පියන් මුදල් එකතු කරලා විදුලි බිල ගෙවන, තීන්ත ටිකක් ගාන එකම රජයේ ආයතනයක්වත් වෙන තියෙනවාද? විදුහල්පතිවරුන්ට විරුද්ධව එවන චක්‍රලේඛ බලලා ආණ්ඩුවේ අණ ක්‍රියාත්මක කරන්න යන පොලිසියේ ඕඅයිසී එහෙම කරනවද? ආණ්ඩුවේ වෙනත් කන්තෝරුවල එහෙම කරනවද? කිසිම බාහිර පුද්ගලයෙක් පාසැලට ගන්නේ නැතුව ඉන්න නම් ආධ්‍යාපන බලධාරීන් මේ කියන ප්‍රශ්නත් විසඳලා ඉන්න අවශ්‍යයි".

'අරමුණ පෞද්ගලිකරණයයි'

අදාළ චක්‍ර ලේඛය සම්බන්ධයෙන් ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කර සිටියේ දේශපාලන හා අධ්‍යාපන බලධාරීන්ගේ උත්සාහය වන්නේ අධ්‍යාපනය විකිණීමට එරෙහිව නැගී සිටින බලවේග මර්දනය කිරීම සඳහා අවැසි සැළසුම් කල් තබා කරළියට ගෙන ඒම බව ය. එසේම අධ්‍යාපනය විකිණීම සඳහා සැළස්මක් ඇති බවට බලධාරීන් මෙමගින් පිළිගෙන ඇති බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා තර්ක කරමින් සිටියි.

අදාළ චක්‍ර ලේඛය සම්බන්ධයෙන් අදහම් දක්වමින් ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජේඩීඑස් හා ප්‍රකාශ කර සිටියේ දේශපාලන හා අධ්‍යාපන බලධාරීන්ගේ උත්සාහය වන්නේ අධ්‍යාපනය විකිණීමට එරෙහිව නැගී සිටින බලවේග මර්දනය කිරීම සඳහා අවැසි සැළසුම් කල් තබා කරළියට ගෙනෙන්නට බව ය. එසේම අධ්‍යාපනය විකිණීම සඳහා සැළස්මක් ඇති බවට බලධාරීන් මෙමගින් පිළිගෙන ඇති බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියි.

"පෞද්ගලික අංශයත් දායක කරගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණයන් සිදුකරනවා කියන අදහස අහිංසක, පෞද්ගලීකරණය පිළිබඳ සැළැස්මකින් තොරව කියන දෙයක් නෙවෙයි. අනෙක දැනට වුණත් විදුහල්පතිවරයාගේ අවසරයක් නැතුව කිසිම පාසැලකට බාහිර පුද්ගලයන්ව ඇතුළත්කර ගන්නේ නෑ. ඒකට අලුත් චක්‍ර ලේඛයක් අවශ්‍ය ඇයි? මේ චක්‍ර ලේඛයේ අරමුණ ඔය කියන විනය පවත්වාගෙන යන එකවත්, බාහිර පුද්ගලයන්ගෙන් පාසැල් සිසුන්ව ආරක්ෂා කර ගැනීමවත් නෙමෙයි. එහෙම විනයක් පවත්වාගෙන යන්න නම් මොකටද පෞද්ගලික අංශයත් එක්ක එකතුවෙලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවා කියන්නේ?"

අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු ප්‍රතිසංස්කරණයක් හෝ නව සැලැසුමක් පිළිබඳව තම වෘත්තීය සංගමය මේ තාක් දැනුවත් කොට නැතැයි කියා සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙරළා ප්‍රශ්නකර සිටිනුයේ කිසිවකුටත් නොදන්වා නීති පනවමින් ගෙනෙන්නට හදන ප්‍රතිසංස්කරණවල යටි සැඟවුණු අරමුණ කුමක්ද යන්නයි.

"පාසැල් හෝ උසස් අධ්‍යාපනයට අදාළව හෝ ඔය කියන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන බලධාරීන් අපි කිසිම කෙනෙක් එක්ක සාකච්ඡා කරලා නැහැ. අනිවාර්ය පාසැල් අධ්‍යාපනය පෞද්ගලික අංශය සමඟ එකතුවෙලා සකස් කරන බව මේ චක්‍ර ලේඛයේ තියෙනවා. එතකොට අපි අහන්නේ මේ කියන පිරිස් බාහිර පාර්ශවයක් නෙමෙයිද? පෞද්ගලික අංශයත් එක්ක කරන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මොනවාද? මේකේ අවසාන අරමුණ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ පිළිවෙතට එරෙහිව නැගී සිටිය හැකි බලවේග මර්දනය කරන්නට හැකි මර්දන අණ පනත් කල්වෙලා ඇතිව ගෙනඒමත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව කියන එක ඉස්සරහට දමාගෙන සමාජය ඉදිරියේ ඒවට සුජාතභාවයක් ලබා දීමත් විතරයි".

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පොලිස්පති මොකටද?

පාසැල්වල මුදල් අය කිරීම මෙන්ම බාහිර ආධාර උපකාර මත පාසැල් පවත්වාගෙන යාම ගැන බලධාරීන් නොයෙක් අණ පණත් පැනවුව ද, ලංකාවේ පාසැල් අධ්‍යාපනය තුළ පවතින යථාර්ථය නම් බලධාරීන් විසින් පිළියම් නොයොදන එකී වගකීම දෙමාපියන් සහ වෙනත් පාර්ශවයන් විසින් පිරවීම බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියි. යම් විටෙක පාසැල්වල මුදල් අය කිරීමට විරුද්ධව හෝ හිඟ ගුරුවරුන් ඉල්ලා සිටීමක් ගැන හෝ දෙමාපියන් උද්ඝෝෂණය කළහොත් එය ද මේ යටතේ වරදක් විය හැකි බවට  ඔහු අනතුරු හඟවා සිටියේය.

"පාසැලේ ප්‍රශ්නයක් හෝ දරුවන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න දෙමාපියන් පාසැලට ගියොත් ඒ ගිය කෙනාත්, ඔහු එක්ක කතා කෙරුව විදුහල්පතිවත් අවශ්‍ය නම් පොලිසියට කුදලාගෙන යන්න වුණත් මේ විධි විධාන අනුව පුළුවන්. මේ හදන්නේ වෙනත් කිසිම දෙයක් කරන්න නෙමෙයි අධ්‍යාපනය විකුණන එකට තියෙන හැම බාධාවක්ම වහලා දාන්න. සයිටම් එකට විරුද්ධව මතු වෙන සමාජ බලවේග දැක්කාම ආණ්ඩුව හිතනවා ඇති පාසැල් අධ්‍යාපනය විකුණන එකේ සැළසුම් කල් තියාම එයට වඩා වෙනස්ව ක්‍රියාවට නංවන්න. එහෙම නැතිනම්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන චක්‍ර ලේඛයක පිටපතක් පොලිස්පතිට යොමු කරන්නේ මොකටද?".

කෙසේ නමුත්  අදාල චක්‍ර ලේඛය සම්බන්ධයෙන් විධිමත් සංවාදයක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හෝ සමාජය හමුවේ හෝ මතුවි තිබෙන බවක් පෙනෙන්නට නොමැත. එසේම එහි සඳහන් කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කුමක්ද, ඒ සඳහා දායක කර ගන්නා බව පැවසෙන පෞද්ගලික අංශය යනුවෙන් හැඳින්වෙන්නේ යම් දේශීය හෝ විදේශිය නියෝජිතායතනයක් ද, එහි දැක්වෙන නියමු ව්‍යාපෘතිය කුමක් ද යනාදී කරුණු ගැන කිසිදු පැහැදිලි කිරීමක් හෝ නිර්වචනයක් උක්ත චක්‍ර ලේඛයෙහි හෝ අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි හෝ දක්නට නොමැත.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.