JDS Sinhala

සටනේ නිරත ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා මහ රෑ අතුරුදහන්

නිවසට එන බව දන්වා ඉරිදා අළුයම් කාලයේදී කොළඹ සිට පිටත් වූ සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපතිවරයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබේ.

තාවකාලික පදනමින් වසර 7ක්

සිය රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරතව සිටින ටෙලිකොම් මිනිස් බල කම්කරුවෝ කොළඹ ටෙලිකොම් මූලස්ථානය අසළ දෙසැම්බර් 26 වැනිදා සිට අඛණ්ඩ ස්‍යග්‍රහය විරෝධතාවක නිරතව සිටිති. SLT හ්‍යුමන් කැපිටල් සොලුයුෂන් පුද්ගලික සමාගම හා ඇක්සස් නෙට්වර්ක් ප්ලෑනින් සමාගමට අනුයුක්ත විරෝධතාවයේ නියුතු සේවකයන් 2100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් වසර 7කට වැඩි කලක් තාවකාලික පදනමින් ටෙලිකොම් ආයතනය විසින් සේවයේ යොදවාගෙන තිබේ.

ජනවාරි 29 වැනිදා අළුයම 1ට පමණ සිය යතුරු පැදියෙන් කොළඹ සිට පිටත් වූ විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපති එම් සුජීව මංගල , පැයකින් පමණ පන්නිපිටිය, පැලැන්වත්තේ නිවසට ළඟා වනු ඇතැයි දුරකථන ඇමතුමක් මගින් දන්වා සිටි බව ඔහුගේ බිරිඳ වන වසන්ති දේවිකා විසින් කරන ලද පැමිණිල්ලේ (CIB (2) 398/542) සඳහන් වේ.

'මෑන් පවර්' අහෝසි කිරීම

ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ටෙලිකොම් සමාගමේ සභාපති කුමාරසිරි සිරිසේන හා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර යන අය මේ වනවිටත් දැනුවත් කර ඇති බව ටෙලිකොම් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ජේඩීඑස් හා කියා සිටියේය.

2014 දෙසැම්බර් 29 වැනිදා මුල්වරට දියත් කළ ටෙලිකොම් මිනිස් බල කම්කරුවන්ගේ විරෝධතා ක්‍රියා මාර්ගවලට සෙසු රාජ්‍ය සේවා වෘත්තීය සමිති සහාය ද හිමි වූ අතර 2015 ජනවාරි 02 වැනිදා විරෝධතාවයේ නිරත මිනිස් බල කම්කරුවන් හමු වූ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තම රජයක් යටතේ  'මෑන් පවර්' ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කරන බව පොරොන්දුවක් ද ලබා දුන්නේය.

'යහපාලන' ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වෘත්තීය සමිති නායකයෙකු අතුරුදහන් වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.