JDS Sinhala

නවක වධ මර්දන නීති ගැන ආචාර්ය සංගමය සහ අවිශිබම දෙපිල බෙදෙයි

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති වෙමින් තිබෙන නවක වදය සහ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඩලීම සඳහා විශ්ව විද්‍යාල පනත ඇතුළු අණ පනත් මෙන්ම නීති රීති ක්‍රියාත්මක කළ යුතු බව පවසන විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය (FUTA), එවැනි තත්ත්වයකදි බලධාරීන් විසින් ගනු ලබන කවර හෝ ක්‍රියා මාර්ගයකට තම සම්මේලනයේ පූර්ණ සහාය හිමිවන බවටත් අවධාරණය කරනු ලබයි.

'කැළණිය සරසවියේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සහ සරසවි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම' මැයෙන්  නිකුත් කරන ලද නිවේදනයක විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දී ඇත්තේ, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති වෙමින් තිබෙන නවක වදය සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඩලීමට ශිෂ්‍ය සංගම් මෙන්ම බලධාරීන් ද නිසි මැදිහත් වීමක් නොකිරිම කණගාටුවට කරුණක් වන බවයි.

'මෙම තත්ත්වය සමනය කිරීමෙහි ලා තමන් වෙත ඇති සෘජු වගකීම ද තමන් සතු හැකියාව ද ඒ ඒ පීඨ හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහ අනෙකුත් ශිෂ්‍ය සංවිධාන විසින් නොසළකා හැර තිබීම කණගාටුදායක කරුණකි. එසේම ඔවුන් ඒ සඳහා අවංක කැපවීමකින් කටයුතු නොකරන වාතාවරණයක් යටතේ සරසවි ප්‍රචණ්ඩත්වය විශ්ව විද්‍යාල පනත සහ අනෙකුත් නීති රීති මගින් සපයා ඇති විධිවිධාන යටතේ පාලනය කිරිම හැර වෙනත් විකල්පයක් නොමැත', සංගමය කියා සිටියි.

ශාරීරික සහ මානසික හිංසාවන්

පළමු වසර සරසවි සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් විවිධ ශාරීරික සහ මානසික හිංසනයන් සිදුකරන බවට චෝදනා කරන ආචාර්ය සමිති සම්මේලනය, කැළණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම අනෙකුත් සියළු විශ්ව විද්‍යාලවලද එවැනි හිංසනයන් සුලබව සිදුවන බවට තොරතුරු වාර්තා වන බව සඳහන් කරයි.

විශ්ව විද්‍යාල තුළ ඇති ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමිම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය ඇතුළු වගකිව යුතු පාර්ශවයන් ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකට තම සම්මේලනයේ පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, එමගින් එමගින් සිසු අයිතීන් මෙන්ම  අරගලයන්ද කප්පාදු නොකළ යුතු බවටත් සිය නිවේදනයේ සඳහන් කරයි.

පූර්ණ සහාය

මෙවැනි යෝජනාවන් මගින් බලධාරීන්ට ශිෂ්‍ය මර්දනයට අවශ්‍ය ඉඩකඩ ලබා නොදෙන්නේදැයි JDS විසින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් විමසුනු ලදුව එහි උප සභාපති ආචාර්ය බරණ ජයවර්ධන කියා සිටියේ තම සම්මේලනය යෝජනා කරනුයේ සිසුන්ට එරෙහිව මර්දන නීති යොදා ගැනීමට නොව, පවතින නීති රෙගුලාසි යටතේම නවක වදය නතර කිරීමට  සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

"අපි කියන්නේ පවතින නීති රාමුව තුළම මේ තත්ත්වය පාලනය කරන්න කියලායි. විශ්ව විද්‍යාල පනත සහ නවක වධ පනත යොදා ගෙන මේ තත්ත්වය පාලනය කරන්න පුලුවන්. හැබැයි නවක වද පනත යොදාගෙන ශිෂ්‍යයන්ව මර්දනය කරනවට අපි එකඟ නෑ. ඒ නිසා අපි කියන්නේ ශිෂ්‍ය සංගම්වලට වගකීමක් තියෙනවා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න. ඒ වගේම පරිපාලනයටත් පුලුවන් නීති රීති හරියට ක්‍රියාත්මක කරලා මේ ප්‍රචණ්ඩත්වය නතර කරවන්න", ආච්රය ජයවර්ධන ප්‍රකාශ කළේය.

මර්දනය අලුත් වටයකින්

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් නගන චෝදනාවන් පිළිබඳව විමසීමේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති ළහිරු වීරසේකර JDS හා කියා  සිටියේ මේ සැළසුම් කෙරෙන්නේ ආණ්ඩුව සහ විශ්ව විද්‍යාල බලධාරීන් විසින් සිසුන්ට එරෙහිව දැනටමත් මුදා හැර ඇති මර්දනය අලුත් වටයකින් ක්‍රියාවට නැගීමක් බවයි.

මේ වන විටත් බාහිර සමාජය නොදන්නා ශිෂ්‍ය මර්දනයක් විශ්ව විද්‍යාල පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක කැරෙන බව පවසන ඔහු තවදුරටත් නීති රීති පනවා කරන්නට ශිෂ්‍ය මර්දනයක් ඉතිරිව තිබේදැයි ප්‍ර‍ශ්න කර සිටියි.

"අද විශ්ව විද්‍යාල තුළ පෝස්ටරයක් ගහන්න අවසරයක් නෑ. ශිෂ්‍යයෝ පස් දෙනෙකුට වඩා එකට එකතු වෙලා ඉන්න බෑ. ඒවාට උපකුලපතිවරුන්ගෙන් අවසර ගන්න ඕනේ. මේවා සිද්ධ වෙන්නේ නවක වධ පනතින් නෙමෙයි, විශ්ව විද්‍යාල පනතින්. ඒ පනතේ සිසුන්ට එරෙහිව යොදා ගන්න විවිධ උප වගන්ති සහ අතුරු රෙගුලාසි තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ නීති රෙගුලාසි ගෙන්නේ සිසුන්ගේම යහපතටයි කියලා සහතික කරන්න හැකියාවක් තියෙනවාද?" වීරසේකර ප්‍ර‍කාශ කළේය.

කෙසේ නමුත් විශ්ව විද්‍යාලවල නවක වදය පිටු දැකීම සඳහා බලාත්මක කොට ඇති නවක වද පනත සම්බන්ධව මෙයට පෙර අවස්ථා ගණනාවකදීම සමාජයේ විවිධ පාර්ශව වෙතින් බලවත් විරෝධයක් එල්ල කෙරුණේ අදාළ චෝදනාවන්ට ලක්වන සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ සිට විවිධ දඬුවම් පැමිණ වීමේ බලයක් එමගින් බලධාරීන්ට හිමිවන බැවිනි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.