JDS Sinhala

දෙමළ ජාතික ජනතා පෙරමුණේ අපේක්‍ෂකයන්ට බුද්ධි අංශ තර්ජන

මැතිවරණය සඳහා උතුරු පළාතෙන් නාම යෝජනා භාර දී ඇති දෙමළ ජාතික අපේක්‍ෂකයන් දෙදෙනෙකු බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්නකිරීම්වලට භාජනය කෙරී තිබේ. වන්නි දිස්ත්‍රික්කය සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ වදින ඔවුන්ගේ නිවෙස්වලට ඉකුත් සිකුරාදා (17) පැමිණි ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසන ලදැයි ඔවුහු පවසා සිටියහ.

මේ සම්බන්ධයෙන් JDS හා අදහස් පළ කළ මන්නාරමේ පැට්‍රික් ජෙනන් පවසා සිටියේ සිකුරාදා උදේ වරුවේ පැමිණි අදාළ නිලධාරීන් පළමුව සිය දෙමව්පියන්ගෙන් තමන් පිළිබඳ කරුණු විමසා ඇති බව යි. යාපනය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුව සිටි තමන් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු කළේ කුමක්දැයි ඔවුන් විමසා සිටි බව ද ඔහු කීය.

'ඩයස්පෝරා' සම්බන්ධකම්

"දැන් මම කරමින් ඉන්නේ මොනවාද, මගේ දේශපාලන පසුබිම මොකක්ද, ඩයස්පෝරාවේ සාමාජිකයන් එක්ක මට සම්බන්ධතා තියෙනවාද ආදී වශයෙන් ඒ අය මගෙන් දිගින් දිගට ප්‍රශ්න කළා. ඒ වගේම මැතිවරණය සඳහා තරඟ කරන්න මම තීරණය කළේ කාගේ ඉල්ලීම පිටද කියලාත් මගෙන් ඇහුවා," ඔහු ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ එස් විග්නේස්වරන් ද මන්නාරමේ පදිංචිව සිටින අතර මුලින් සරසවි ශිෂ්‍ය දේශපාලනයේ නිරතවූවෙකි. විශ්ව විද්‍යාලය තුළ තම ක්‍රියාකාරකම් ගැනද බුද්ධි අංශ සාමාජිකයන් තමන්ගෙන් විමසූ බව ඔහු JDS හා කියා සිටියේය.

බිය ගැන්වීමේ දේශපාලනය

"මේ විදියට ප්‍රශ්න කිරීමේ අරමුණ මොකක්ද කියලා මම පෙරළා ඒ අයගෙන් ඇහුවම ඔවුන් ප්‍රකාශ කළේ අපේම ආරක්‍ෂාව වෙනුවෙන් මෙසේ කරන බවයි. නමුත් වෙනත් පළාත්වල මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා ඔවුන් සොයාගෙන බුද්ධි අංශ නිලධාරීන් ආ බවක් මම නම් දන්නේ නැහැ. ප්‍රශ්න කිරීමේ තිබුණු තර්ජනාත්මක ස්වරය ආයෙමත් අපිට මතක් කරන්නේ පසුගිය වකවානුවේ තිබුණු බිය ගැන්වීමේ දේශපාලනයමයි," ඔහු කියා සිටියේය.

තමන් මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නයකත්වය දැනුවත් කරන ලද බව ප්‍රකාශ කරන ඔවුහු මෙකී ප්‍රශ්න කිරීම් දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන් අවධාරණය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින තමන් ඇතුළු සෙසු දෙමළ අපේක්‍ෂකයන් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන බවට සැකයක් නැතැයි ද කියා සිටියහ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.