JDS Sinhala

'දෙමළ ජන ගැටළුවල බරපතලකම වැටහුණේ උතුරේ ජීවත් වීමෙනුයි' - සී.වී. විග්නේස්වරන්

තුරේ ජීවත් වුණු පසුගිය වසර එක හමාරක කාලය තුළ දෙමළ ජනයා මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්නයේ යථාර්ථය වඩාත් හොඳින් අවබෝධ කරගත් බැවින් දෙමළ ජන සංහාරය ගැන විවෘතවම කටයුතු කිරීමට තමන් පෙළඹුණු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේශ්වරන් පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය සමග සිකුරාදා (17) ලන්ඩන් නුවර හැරෝ ප්‍රදේශයේ පැවති හමුවකදී ය.

කොළඹ හැදී වැඩුණු අයෙක් වශයෙන් සිංහල මිතුරන් මෙන්ම ඥාතීන් ද සිටින තමන් දෙමළ ජනයාගේ ප්‍රශ්නය සිංහල පාලකයන් සමග එකට වාඩි වී කතාබහ කර විසඳාගත හැකි යැයි කලක් අවංකවම කල්පනා කළ නමුත් ප්‍රශ්නය බැරෑරුම්කම අවබෝධ වුයේ උතුරේ පදිංචියට පැමිණීමෙන් පසුව බව ද මහ ඇමති විග්නේස්වරන් ප්‍රකාශ කළේය. කොළඹ ජීවත්වන දෙමළ නායකයන් බොහෝ දුරට කල්පනා කරනුයේ ජාත්‍යන්තරයේ ද හොඳ හිත පලුදු වීම වළක්වනු වස් 'රාජ්‍ය තාන්ත්‍රිකව' කටයුතු කරමින්, දෙමළ ජනයාගේ ඇත්ත ගැටළු හා ඉල්ලීම් යටපත් කරගනිමින් , විසඳුමක් සොයා ගැනීමට බවද ඔහු පෙන්වා දුන්නේ ය.

වර්ග සංහාරක පිළිවෙත

“යුද ගැටුම් නිමා වුණත්, දෙමළ ජන සංහාරක පිළිවෙත තව දුරටත් ක්‍රියාත්මකයි. නමුත් අපේ ජාතියට එරෙහිව ක්‍රියාත්මක ජන සංහාරය පිළිබඳව හෙළිදරව් කරන්න අවශ්‍ය යෝජනාව සම්මත කරගත් නිසා මම දැඩි මතධාරියෙක් ලෙස සමහරු චෝදනා කර තිබෙනවා,' ඔහු කීය.

'ජන වර්ග සංහාරය' (Genocide) යන යෙදුම මුලින් යොදාගනු ලැබු‍වේ තමන් නොවන බව  කියා සිටි මහ ඇමතිවරයා පෙන්වා දුන්නේ එම යෙදුම පළමු වරට භාවිතා කළේ 1974 සැප්තැම්බර් මස ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වූ විදේශ දුත පිරිසක් හමුවේ සන්දේශයක් බාර දුන් එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් බවයි. ඒ සංදේශයේ දෙමළ ජනයාට එරෙහිව සිංහල රාජ්‍යයෙන් කෙරෙන වර්ග සංහාරක පිළිවෙත ගැන ඉතා පැහැදිලිව කරුණු පහදා තිබූ බවත්,  ප්‍රධාන ජාතීන් දෙකක්, භාෂා දෙකක් සහ ආගම් රැසක් තිබෙන ශ්‍රී ලංකාවේ එකම ජාතිය හා භාෂාව සිංහල ලෙසත්, එකම ආගම බෞද්ධ ලෙසත් තහවුරු කිරීම සඳහා ඔවුන් එවැනි සංහාරක පිළිවෙතක් අනුගමනය කළ ආකාරය ඉතාමත් පැහැදිලිව චෙල්වනායගම් විසින් පෙන්වා දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලාංකික දෙමළ ජනයා තමන්ගේ සම්ප්‍රදායන් යටතේ ජීවත්වන ජන කොටසක්. අප කොහෙන් හෝ පැමිණි සුළුතර ජන කොටසක් නොවේ. අප කොහෙන් හෝ පලවා හරිනු ලැබූ නිසා මෙහි පදිංචි වූ ජන කොටසක් ද නොවේ. අප ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස නිර්මාණය කරන්නට දායක වූ පාරම්පරික ප්‍රජාවක්," ඔහු කීය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.