JDS Sinhala

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ගොදුරුවූවන්ට තවමත් වන්දි නැහැ

සුගිය වසරේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් අලුත්ගම හා බේරුවල ප්‍රදේශ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියාවන්ට වගකිව යුත්තන් පිළිබඳව සොයා බැලීමට ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාවය මුස්ලිම් සාම කවුන්සලය අවධාරණය කර සිටියි. ඉකුත් වසරේ ජුනි 15 වැනිදා සිදුවූ මෙම ප්‍රචණ්ඩක්‍රියාවන්ට වසරක් පිරිම නිමිත්තෙන් සඳුදා (15) කොළඹ කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්විය.

කොළඹ සරසවියේ සමාජ විද්‍යා පීඨයේ  ප්‍රධානි  ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය ෆර්සානා හනිෆා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සිද්ධිය ඇසින් දුටුවන් සිය අත්දැකීම් සභාව හමුවේ තැබූ බව මුස්ලිම් මාධ්‍ය සංසදයේ ප්‍රකාශක තාහා මුස්සාමිල් JDS වෙත පැවසීය. ඇසින් දුටුවන් පවසා ඇත්තේ ගැටුම්කාරීත්වයක් මතු වීමෙන් පසුව ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පැනවූ අතර බොහෝ මුස්ලිම් ජනයා ඒ වනවිටත් ආරක්ෂාව සඳහා ප්‍රදේශයේ දේවස්ථාන වෙත පැමිණ සිටි බවත් පොලිසිය බලා සිටිය දී  තම නිවාස හා වෙළඳ සැල් ඇතුළු දේපළ පල ගිනි තබා විනාශ කළ බවත් ය. මේ වන විට හානි වූ නිවාස අලුත්වැඩියා කර ඇතත් විනාශ වූ  බඩු මුට්ටු ලබා දීමට කටයුතු කර නොමැති බැවින් පීඩාවට පත් වුවන්ගේ වියදමින් ඒවා යළි ලබා ගැනීමට සිදු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

'විධිමත් පරීක්‍ෂණ නැහැ'

'මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව තිබුණත්, ඒ වෙනුවෙන් විධිමත් වන්දි ක්‍රමයක් සැකසීමට මෙතෙක් කටයුතු කර නැහැ. සිදුවීමෙන් පසුව එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ  විධිමත් පරීක්‍ෂණයක් මගින් වැරදි කරුවන්ට දඩුවම් ලබා දෙන බව යි. නමුත් මේ දක්වා එවැනි කිසිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැහැ'.

අලුත්ගම සිදුවීමට බොදු බල සේනා සංවිධානයේ මැදිහත් වීම වසන් කිරීමටත්, සිදුවීමේ බරපතලකම අවතක්සේරු කිරීමටත් හිටපු ජනාධිපති රාජපක්ෂ පසුව කටයුතු කළේය. 2014 ජුනි 22 වැනිදා හම්බන්තොට වරායේ පැවති රැස්වීමකදී ‘කාත්තන්කුඩි පල්ලියට ගහලා මුස්ලිම් වැසියන් ඝාතනය කරන විට  කෝ හර්තාල්?' යැයි ප්‍රශ්න කර සිටි මහින්ද රාජපක්ෂ, "අද මේ පොඩි සිද්ධියකටත් හර්තාල් කරනවා, ජාතිවාදය අවුස්සනවා’ ඔහු චෝදනා කළේය.

ජුනි 21 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වූ ජාතික හෙළ උරුමයේ නායක, කැබිනට් අමාත්‍ය චම්පික රණවක ද අලුත්ගම ප්‍රහාරයේ වගකීම “ජිහාඩ් කල්ලි” වෙත පවරන ලදී. ‘ජිහාඩ් කල්ලි, ඇමෙරිකානු තානාපති, හා මුස්ලිම් දේශපාලඥයන් විසින් කරුණු විකෘති කරමින් සිංහල බෞද්ධයන්ට ප්‍රහාරයේ වගකීම පවරලා. ඒත් රටපුරා හර්තාල් කරන්න ජිහාඩ් කල්ලි වලට ඉඩ දීලා තියෙනවා. කාත්තන්කුඩි පල්ලියට ගහන කොට, යාපනෙන් මුස්ලිම් මිනිස්සු එළවනකොට මේ විරෝධතා එකක් වත් තිබුනේ නැහැ” යනුවෙන් චම්පික රණවක ඇමති වරයා කියා සිටියේය.

අගමැති ගැන කළකිරීමෙන්

මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනයකින් පසු වැරදිකරුවන්ට දඬුවම් ලබා දී  විපතට පත් වුවන්ට යුක්තිය ඉටුකරන බවට ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලඥයා වූ ඇමති රාජිත සේනාරත්න 2014 ජූනි මාසයේ දී කියා සිටියේය. ප්‍රහාරයට වසරක් ගෙවුණද තවමත් යුක්තිය ඉටු කිරීමට යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්න සමත් වී නැති බව සිදුවීමට මුහුණ දී දිවි ගළවා ගත්තවුන් පවසයි. එවකට විපක්ෂ නායකවරයා වූ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ද අද වන විට අලුත්ගම මුස්ලිම් ජනයා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම පිළිබඳව මුස්ලිම් ජනතාව තුළ කළකිරීමක් ඇති බව මුස්ලිම් සාම කවුන්සලයේ සංවිධානය කළ හමුවේදී  ප්‍රකාශ කෙරුණි.

ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් නොමැති බැවින් වැරදිකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව තහා මුසාම්මිල් JDS වෙත පැවසීය. ඔහු වැඩි දුරටත් අවධාරණය කරනු ලැබුවේ ප්‍රදේශයේ මුස්ලිම් ජනයා විසින් දේවස්ථාන හරහා සාම කමිටු ගොඩ නගමින් යළි එවැනි දේ සිදු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර බිම් මට්ටමින් අරඹා ඇති බව ය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.