JDS Sinhala

දෙමළ ජනයාට එරෙහි අපරාධ ගැන ඉන්දීය කොමියුනිස්ට් සමුළුවේ අවධානය

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන විධිමත් හා විශ්වාසනීය පරීක්‍ෂණයක් අවශ්‍ය බව ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කරයි. ගෙවුණු සති අන්තයේදී අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් හි පැවති එම පක්ෂයේ 21 වැනි සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙනි.

යුද ගැටුම් අවසන්ව වසර හයක් ඉක්ම ගොස් තිබුණ ද රාජපක්ෂ පාලන සමයේදී දෙමළ ජනයා මුහුණ දුන් ගැටළුවලට මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව යටතේ ද පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මෙතෙක් ක්‍රියා නොකිරීම මෙහිදී අවධානයට පාත්‍ර වී තිබේ. එබැවින්  රැස්ව සිටි පක්ෂ නියෝජිතයන්ගේ අදහස් අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීම වෙනුවෙන් යෝජනා කිහිපයක්ම මෙහිදී සම්මත කර ගැනිණි.

යුද අනාථයන්

මානව හිමිකම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, දෙමළ ජනයා බහුතරය වාසය කරන උතුරු-නැගෙනහිර ප්‍රදේශවලින් රජයේ හමුදා සේනාංක ඉවත් කිරීම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර උතුරු-නැගෙනහිර පළාත්වලට අවශ්‍ය බලතල ලබාදීම සහ යුද ගැටුම් හේතුවෙන් සිය ගම්බිම්වලින් පලවා හරිනු ලැබ යුද අනාථයන් ලෙස තමිල්නාඩුවේ අනාථ කඳවුරුවල දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් ගැන ඉන්දියාවේ සහ ලංකාවේ ආණ්ඩුවල අවධානය යොමු කිරීමට ද ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී සාකච්ජාවට ලක්විය. එම යුද අනාථයන්ට යළි ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යනම් එහි ගොස් ගෞරවාන්විතව ජීවත්වීමට හැකි බව දෙරටම සහතික විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණි.

තමිල්නාඩු ධීවරයන්ගේ ගැටළුව නිරාකරණය කර ගැනීමට ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අදහස් හුවමාරුවක අවශ්‍යතාවය අවධාරණය කළ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් නියෝජිතයන් පැවසුවේ ඒ සඳහා මුලික මැදිහත් වීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කළ යුතු බව ය.

1964දී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය දෙකඩ වීමෙන් පසු ලක්‍ෂයක පමණ සාමාජිකත්වයෙන් ගොඩනැඟුණු ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නිල සාමාජිකත්වය 2013 වන විට මිලියනය ඉක්මවා තිබිණ. 1977 සිට 2011 දක්වා හත් වරක් අඛණ්ඩව මැතිවරණ ජයගනිමින් බටහිර බෙංගාල ප්‍රාන්ත ආණ්ඩු බලය හෙබ වූ පක්ෂය 1993 සිට මේ දක්වා පස් වතාවක් ත්‍රිපුර ප්‍රාන්ත මැතිවරණ ජයගනිමින් ආණ්ඩු බලය හොබවයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.