JDS Sinhala

'නෙළුම් කුළුන චීන ඉලෙක්ට්‍රොනික ඔත්තු සේවා මුරපොළක්' ඉන්දීය විශ්ලේෂකයෙකු කියයි

සංචාරක ප්‍රවර්ධන සහ සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් චීන ආරක්‍ෂක සමාගම් දෙකක මැදිහත් වීමෙන්  ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක්  ඉදිකරමින් සිටින බව ඉන්දියානු උපාය මාර්ග විශ්ලේෂකයෙක් කියා සිටී. කොළඹ නගරයේ ඉදිකැරෙමින් පවතින නෙළුම් කුළුණ පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉන්දීය විශ්ලේෂකයා කියා සිටින්නේ මෙය ‘ඉලෙක්ට්‍රොනික ඔත්තුසේවා පහසුකම් සපයන ස්ථානයක් බවට’ සැකයක් නොමැති බවයි.

ඉන්දියානු ඔත්තු සේවා, හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික දූත සේවාවන්හි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් වන දකුණු ආසියානු විශ්ලේෂක කණ්ඩායමේ (South Asia Analysis Group - SAAG) නිල වෙබ් අඩවියට අප්‍රේල් 10 වැනිදා ලිපියක් ලියන නවදිල්ලියේ වෙසෙන උපාය මාර්ගික විශ්ලේෂකයකු වන භෂ්කර් රෝයි විසින් මෙම අනාවරණය සිදු කොට තිබේ. ඔහු අවධාරණය කරන්නේ චීන ආරක්‍ෂක සමාගම් දෙකක් විසින් ඉදි කිරීමට නියමිත පැරීසියේ ‘අයිෆල් කුළුණට වඩා මීටර් 26ක් උසින් වැඩි, දකුණු ආසියාවේ උසම කුළුණ, එක් පසෙකින් ඉන්දීය සාගරයද, අනෙක් පසින් ඉන්දියාවද ආවරණය කිරීමට’ සමත් බව ය.

‘කුළුණේ ඉදිකිරීම් අවසන් කිරීමට ඉඩ ලබාදුනහොත් එය ඉන්දියන් සාගරයේ මෙන්ම දකුණු ආසියාවේද ආරක්‍ෂාවට තර්ජනයක් වනු ඇති බවට’ රෝයි අනතුරු හඟවයි‍.

චීන මූල්‍යාධාර

චීන එක්සිම් බැංකුව විසින් සපයන මූල්‍යාධාර යටතේ මෙම කුළුණ ඉදිකරනු ලබන්නේ ‘චීනයේ ජාතික ඉලෙක්ට්‍රොනික ආනයන අපනයන සංස්ථාව’ (China National Electronic Import and Export Corporation - CNEIEC) සහ ‘චීනයේ ඒරෝස්පේස් ලෝන්ග් මාච් ජාත්‍යන්තර වෙළෙඳ සමාගම’ (Chinese Aerospace Long – March International Trade (CALMIT) යන සමාගම් දෙක විසිනි.

චීනයේ ජාතික ඉලෙක්ට්‍රොනික ආනයන - අපනයන සංස්ථාව (CNEIEC), රජයට අයත් චීන ඉලෙක්ට්‍රොනික සමාගමේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය ව්‍යවසායයකි. මෙම සමාගම, චීනයේ විශාලතම ආරක්‍ෂණ ඉලෙක්ට්‍රොනික සැපයුම්කරුවා වන අතර ති‍්‍රමාන ආවේක්‍ෂණ රේඩාර් (Three Dimensional Tactical Surveillance Radar) ඇතුළු ගුවන් සහ සාගර රේඩාර් උපකරණ මෙන්ම උච්ඡ සහ අති උච්ඡ සංඛ්‍යාත රේඩියෝ සහ සන්නිවේදන මෙවලම් නිෂ්පාදනයෙහි ප‍්‍රමුඛයෙක් සේ සැළකෙයි. සිය අනෙකුත් කි‍්‍රයාකාරකම් අතර, ආරක්‍ෂක ඉලෙක්ට්‍රොනික පද්ධති ඉදිකිරීම මෙන්ම ජාත්‍යන්තර ත‍්‍රස්ත මර්දන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි  මහජන ආරක්‍ෂාව ඒකාග්‍ර කිරීමේ කාර්යයන්ට ද සම්බන්ධ වී සිටී.

ඉදිකිරීමේ කටයුතුවලට සම්බන්ධ අනෙක් සමාගම වන්නේ චීන රජයට අයත් අභ්‍යවකාශ විද්‍යා හා තාක්‍ෂණ ආයතනය යටතේ කි‍්‍රයාත්මක වන ඒරෝස්පේස් ලෝන්ග් මාච් ජාත්‍යන්තර වෙළෙඳ සමාගම (CALMIT)යි.  ආරක්‍ෂණ මෙවලම් තාක්‍ෂණ සහ සේවා ආනයනයෙහි හා අපනයනයෙහි යෙදෙන මෙම සමාගම ත‍්‍රස්ත හා කැරලි මර්දන උපකරණ සහ සේවා අපනයනයෙහි ද නිරත වේ. එසේම ජංගම චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති (Mobile Satellite  Communication systems) සහ ඉලෙක්ට්‍රොනික් අවේක්‍ෂණ මෙවලම් (Electronic Surveillance Equipment) සැපයීමෙහිද ප්‍රමුඛයෙකු වශයෙන් මෙම සමාගම කටයුතු කරයි.

මූලෝපායික ව්‍යාපෘතියක්

'මෙම චීන සමාගම් දෙකේ පසුබිම් තොරතුරු දෙස බැලූ විට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පැවැති  ලංකා ආණ්ඩුව (මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්) වඩා පරීක්‍ෂාකාරී විය යුතුව තිබුණු බව අනාවරණය වන්නේය’ යි භෂ්කර් රෝයි සිය ලිපියේ කියා සිටී. කොළඹ නගරයේ ඉදිකැරෙන නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වනාහී ශ‍්‍රී ලංකාව තුළ මූලෝපායිකව වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති අත්පත් කරගැනීමේ චීන සැළැස්ම පිළිබඳ වාර්තාවලින් අඩුම අවධානයක් ලද ව්‍යාපෘතියක් බව පවසන භෂ්කර් රෝයි සිය වාර්තාව මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ 'කුළුණ මත එවැනි දෙයක් ඇති බවට බැලූ බැල්මට නොපෙනෙන්නේය’යි තර්කයක් මතුවිය හැකි නමුත් සවි කැරෙමින් ඇති සූක්‍ෂම හා දියුණු තාක්‍ෂණික උපකරණ හඳුනාගැනීමට ශ‍්‍රී ලංකාවට තාක්‍ෂණික හැකියාවක් නොතිබීමත් අභියෝගාත්මක වනු ඇති බව ය.

‘‘කොළඹ වරාය නගරය, කොළඹ වරාය හා හම්බන්තොට කන්ටේනර් වරාය ශ‍්‍රී ලංකාව තුළ චීන උපායමාර්ගික අත්පත්කරගැනීම් තුනක් වන අතර, ඒවායින් වඩා පුළුල් චිත‍්‍රයක් මතුකර දක්වයි. චීනයේ 21වැනි සියවසේ නාවික සේද මාවතේ කේන්ද්‍රය මෙම නෙළුම් කුළුණ ව්‍යාපෘතිය නොවන්නේ නම්, අඩුම වශයෙන් මෙය එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ ඉතාම වැදගත් සාධකයක් ලෙස ගණන් බලා ඇත. සේද මාවත ව්‍යාපෘතිය සියලූ දෙනාට සමාන ජයග‍්‍රහණ අත්කර දෙන වානිජ හා සංවර්ධන ව්‍යසායයක් ලෙස පුරෝකථනය කර ඇති නමුත් චීනය ශ‍්‍රී ලංකාව තුළ නියැලී සිටින කි‍්‍රයාකාරකම් සේද මාවතේ අවසන් අභිප‍්‍රාය ප‍්‍රශ්නකාරී එකක් බවට පත්කරතැ'යි රෝයි කියා සිටියි.

නෙලුම් කුළුණෙහි ව්‍යාපෘති ගිවිසුමට 2012 ජනවාරි මස මුල් සතියේ දී අත්සන් තැබුණු අතර ජනවාරි 20 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරුණු කුළුණෙහි ඉදි කිරීම් සඳහා වැයවන ඩොලර් මිලියන 104.3ක මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් සැපයීමට නියමිත ය. කොළඹ ‍බේරේ වැව හා ඩී ආර් විජේවර්ධන මාවත ප්‍රත්‍යන්ත භූමි භාගයක ඉදි කෙරෙන මීටර් 350ක් උසින් යුතු මෙම දැවැන්ත ස්ථම්භය වර්ග මීටර් 30,600ක බිම් ප්‍රමාණයක් පුරා පැතිර පවතී.

චීන ණය උගුලක

පසුගිය මාර්තු මාසයේ දී චීනයේ නිල චාරිකාවක  යෙදුණු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා‍ව තුළ සිදුකරන චීන සෘජු විදේශ ආයෝජන තම ආණ්ඩුව අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ චීන විද්‍යා ඇකඩමියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ජල මාර්ග පිළිබඳ හවුල් පර්යේෂණ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාව පළ වී තිබුණි. ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ  ආරම්භක හවුල්කරුවෙකු වීම සඳහා චීනය විසින් කරන ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මෙහිදී ජනාධිපති සිරිසේනට ප්‍රසාදය පළ කළ බවද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් සිය ලිපියේ කරුණු දක්වන භෂ්කර් රෝයි පවසන්නේ 'ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අසීරුතා නිසා සිරිසේනට උපාමාරු දැමීමට තිබුණේ සීමිත ඉඩකඩක්' බව ය. 

"චීන ණය ගෙවීම ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉල්ලා තිබූ ඩොලර් බිලියන හතරක ණයමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. ප‍්‍රත්‍යක්ෂ ලෙසම ශ‍්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී සිටී. ඉන්දියන් සාගරය වෙතට බෙයිජිනයේ ප‍්‍රවේශය සඳහා සහාය වෙමින් ශ්‍රී ලංකාව රටේ ඇතැම් ප‍්‍රදේශ චීනයට උකස් කර ඇති බවක් පෙනෙන්නට තිබේ’’ රෝයි වැඩිදුරටත් පවසයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.