JDS Sinhala

රනිල් වික්‍රමසිංහ නොදන්නා රහසිගත සිර කඳවුරු මෙන්න

ජයේ යුද හමුදාව විසින් දෙමළ දේශපාලන සිරකරුවන් නීති විරෝධී ලෙස සිර කොට ගෙන සිටින කඳවුරු කිහිපයක් පිළිබඳ තොරතුරු JDS වෙත හෙළිදරව් වෙමින් පවතී. යුද්ධයේ අවසාන සමයේ රජයේ යුද හමුදාව වෙත භාර වූද ඊට පෙර අත් අඩංගුවට ගන්නා ලද්දාවූද එල්ටීටීඊ සාමාජිකයන් රඳවා සිටින සිර කඳවුරු ගැන තොරතුරු හෙළි වන්නේ රට තුල කිසිදු රහස් කඳවුරක් නැති බවට අගමැති රනිල් වික්‍රමසිංහ උතුරේ නිල සංචාරයකදී ප්‍රකාශ කළ අතරවාරයේය.

රජයේ යුද හමුදාව  විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු වසර ගණනාවක් තිස්සේ සොයා ගැනීමට නොහැකි වූ තරුණයන් සිව් දෙනකු මුලතිව් දිස්ත්‍රික්කයේ රහසිගතව සිර ගත කොට තිබෙන බවට මාර්තු මස අගදී ලැබුණු තොරතුරු ඥාතීන් විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට ලබා දී තිබේ.

කේපාපුලවූ හමුදා කඳවුර

යුද්ධයේ අවසාන සමයේ දී රජයේ ඉල්ලීම පරිදි භාර වී අද වන තුරුත් ආගිය අතක් නොමැති සිය සැමියා සොයා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ඔහුගේ භාර්යාව පවසා ඇත්තේ තමන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිර කඳවුරක සිටින වග ඔහු ඉකුත්දා දුරකතනයෙන් දැනුම් දුන් බවයි. 2009 දී යුද හමුදාවට භාරවූ  සිය සැමියා සෙල්ලයියා විශ්වනාදන් සොයා දෙන මෙන් බලධාරීන් ට නියෝග කරන ලෙස ඉල්ලා අධිකරණය වෙත ගොස් සිටින විශ්වනාදන් බාලනන්දිනී ප්‍රකාශ කරන පරිදි ඔහු රඳවා සිටින්නේ කේපාපුලවු ප්‍රදේශයේ කඳවුරකය. ඇගේ ඉල්ලීම මුලතිව් අධිකරණය හමුවේ අප්‍රේල් පළමුවැනිදා විභාගයට ගැනීමට නියමිතය.

කේපාපුලවු කඳවුරේම තමන් ඉන්නා බව කියන තවත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු තම පවුලේ සමීප ඥාතීන් හා දුරකතනයෙන් පසුගියදා පවසා තිබෙන්නේ තවත් දෙමළ සිරකරුවන් 50 කට එහි ආසන්න සංඛ්‍යාවක් සිර ගත කොට සිටින බවයි. මුලතිව් දිස්ත්‍රික්කයේ  පදිංචි කරුවකු වන ඔහු රජයේ යුද හමුදාවට භාර වී ඇත්තේ 2009 දී යි. JDS සතුව ඇති ඥාතීන්ගේ වැඩි විස්තර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෙළි නොකරන්නට අපි එකඟ වී ඇත්තෙමු.

දෙවරක් අතුරුදහන්

මේ අතර, වසර තුනකට වැඩි කලක් ආගිය අතක් නොමැති තම පුත්‍රයා යුද හමුදා භට පිරිසක් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ රෝහලකට ගෙන එනු ලැබූ බව ආරංචි වී ඔහු බැලීමට ගිය මාතාවක් පවසන්නේ ඔහු නැවත අතුරුදහන් කොට ඇති බවයි.  2011 අතුරුදහන් වූ සිය පුත් රවීන්ද්‍රන් මයුරන් මෙම මාර්තුවේ  මාන්චෝලෙයි රජයේ රෝහලට ගෙනැවිත් තිබෙන බව ඔහු සමග කතා කිරීමට ඉඩ ලැබුණු ඥාතීන් රෝස් මලර් මෑණියන්ට දන්වා තිබේ. පසුදා ඔහු බැලීමට යද්දී රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ඇයට පවසා ඇත්තේ ඒ නමින් කිසිවකු රෝහලට නොගෙනා බවයි. ‘මුත්‍රා පරීක්ෂණයක්’ සඳහා යයි පවසමින්පෙබරවාරි 27 වැනිදා මයුරන් ගෙනා හමුදා නිලධාරීන් ඔහු ලියාපදිංචි නොකරන ලෙස රෝහල් නිලධාරීන්ට නියෝග කොට තිබේ.

තමන් රෝහල ආසන්නයේම හමුදා කඳවුරක සිර කොටගෙන වද හිංසා පැමිණවූ බව මයුරන් විසින් පවසන ලදැයි ඔහු හමුවූ ඥාතීන් මෑණියන් හා ප්‍රකාශ කොට තිබේ. ඔහුට පමුණුවන ලද වද හිංසා හේතුවෙන් ඔහුගේ ලිංගේන්ද්‍රියට ද හානි වී ඇතැයි  රෝස් මලර් මාතාව පවසන්නීය.

යුද්ධයේ අවසාන අදියරේදී රජයේ භාරයට පත්වූ සාමාන්‍ය දෙමළ වැසියන් සමග මැණික් ෆාම් යුද අනාථ කඳවුරේ තම බිරිය සහ දරුවා සමග සිටි මයුරන් 2009 මැයි මාසයේදී යුද හමුදාව විසින් රැගෙන ගොස්  සින්න මාන්කුලම්, නෙළුක්කුලම් හා වැලිකන්ද යන කඳවුරු වල සිරකොට තබා තිබේ. ඉන් පසු 2010 නොවැම්බර් 16 වැනිදා  වවුනියාව දෙමළ මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී ඔහු නිදහස් කොට යවා ඇත. සිය පාරම්පරික ගම වූ පුදුකුඩියිරිප්පුවේ මන්දුවිල් රජයේ සන්නද්ධ සේනා අත තිබූ හෙයින් ඔහුට සිදුවී ඇත්තේ බිරිය සහ දරුවා සමගින් නැවත මැණික් ෆාම් කඳවුරේම පදිංචියට යාමටයි. එහි සිට කුලී වැඩට ගිය අවස්ථාවක මයුරන් මුල්වරට අතුරුදහන් වූ බව ඔහුගේ මව පවසයි.

රතු කුරුස සංවිධානය

යුද්ධාවසාන සමයේ අත් අඩංගුවට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ තවත් තරුණයකු මාර්තු මස අගදී රජයේ හමුදා සෙබළුන් භාරයේ සිටිනු දුටු බව ඔහුගේ ඥාති සහෝදරියක් තම පියාට පවසා තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේදී ඇය දැක ඇත්තේ 2009 අප්‍රේල් මාසයේ සිට මේ වන තුරු ආගිය අතක් නැති  විසිපස් හැවිරිදි දේවරාසා ජෙගදීපන් ඔඩ්ඩුසුඩාන් හි සම්මන්කුලමේ ට්‍රක් රථයක සිටි යුද භටයන් පිරිසක් සමග හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සිටින ආකාරයයි. "දකින්න ලැබුනත් කතා කරන්න විදියක් තිබිලා නෑ," යි ඔඩ්ඩුසුඩාන් හි  මුත්තයාන්කට්ටුවේ පදිංචි ඔහුගේ මව කලා දේවරාසා පවසන්නීය.

අතුරුදහන් වූ තම පුත්‍රයා පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට දැනුම් දී ඔහුගේ ඡායාරුපයක්ද රැගෙන ප්‍රදේශයේ යුද කඳවුරු කරා ගියත් ඔහු නැතැයි ප්‍රකාශ කෙරුණු බව දේවරාසා මාතාව කියයි. ඔහු සිරගත කොටගෙන ඉන්නා බව දැක ගැනීමෙන් පසු නැවතත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට කීමෙන් අනතුරුව උපදෙස් ලැබී ඇත්තේ  ජෙගදීපන් රඳවාගෙන ඉන්නා කඳවුර අයිති හමුදා සේනාංකය කුමක්දැයි සොයා ගැනීමටයි.

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වූ දෙමළ ජනතාව ජාත්‍යන්තර බලපෑම නිසා මැණික් ෆාම් අනාථ කඳවුරින් ඉවත් කිරීමේදී  එහි ඉතිරිව සිටි අවසාන කණ්ඩායම 2012 සැප්තැම්බරයේදී පදිංචි කරවන ලද්දේ නැගෙනහිර කේපාපුලවු ප්‍රදේශයේ අලුතින් එලි කරන ලද කැලෑවකයි.  පාසලක්ද පිහිටි කේපාපුලවු ගම්මානය රජයේ සන්නද්ධ හමුදා විසින් අත්පත් කොට ගන්නා ලදී. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුනේ 59 වැනි හමුදා සේනාංකය කේපාපුලවු හි දැවැන්ත යුද කඳවුරක් ඉදි කොට ඇති බවයි.

විධිමත් පරීක්ෂණයක්

යාපනයේ නිල සංචාරයක යෙදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පසුගියදා කියා සිටියේ රට තුළ කිසිදු රහසිගත කදවුරක් නොමැති බවයි. 'තියනවා කියනවා නම්, ඕනේ තැනක ඇවිත් බලන්න,' යැයි මාර්තු 27 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ ඔහු කියා සිටියේය.

අගමැති වරයාගේ ප්‍රකාශයට අභියෝග කරමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ රහසිගත කඳවුරු පිළිබද විධිමත් පරික්‍ෂණයක් සිදු කරන්නේ නම් තමන් සතුව ඇති සාක්‍ෂි ඉදිරිපත් කිරීමට සුදානම් බව ය. ඔහු එසේ කියා සිටියේ දෙමළ සිරකරුවන් සිය ගණනක්  රජය විසින් හෙළි නොකළ ත්‍රිකුණාමලයේ ‘ගෝඨාභය’ නම් කඳවුරක සිරකොටගෙන සිටින බව සහතික කොට ප්‍රකාශ කරමිනි.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.