JDS Sinhala

යුද අපරාධ චෝදනා එල්ල වූ ශවේන්ද්‍ර සිල්වා ඉන්දීය ආරක්‍ෂක ඇකඩමියට

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දිල්ලියේ පිහිටි ප්‍රධානතම ආරක්ෂක විද්‍යායතනයකට බදවාගැනීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන වෙතින් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට චෝදනා එල්ලව අැති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව හැදෑරීම මේ වනවිට ආරම්භ කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මෙම ජාතික ආරක්ෂක විද්‍යාලයීය පාඨමාලාව මදුරාසි විශ්ව විද්‍යාලයේ ද පිළිගැනීම් ලබා තිබෙන්නකි.

සිවිල් ජනයාගේ ජීවිත හානි කළ බවට හා සුදුකොඩි රැගෙන හමුදාවට භාරවීමට පැමිණි දෙමළ කොටි නායකයන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදාවේ 58වැනි සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ මෙම පාඨමාලාව හැදෑරීම ආරම්භ කර තිබෙන්නේ ඉකුත් ජනවාරි මාසයේ පළමු සතියේ දී ය. ලබන දෙසැම්බරයේ දී පාඨමාලාව සාර්ථකව නිම කිරීමට සමත් වුවහොත් ඔහු ආචාර්ය උපාධියක් ලැබීමට සුදුසුකම් සපුරනු ඇත.

ක්‍ෂණික විහිදුම් බලකාය

මේජර් ජෙනරාල් සිල්වා, ලොව පුරා අයදුම්කරුවන් අතුරින් ඉන්දියාව විසින් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලැබූ ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් ස්වල්ප පිරිසෙන් එක් අයෙකි. ඔහු සිය යුද හමුදා සේවයේ ආරම්භක අවදියේ දී ඉන්දියාවේ අග්‍රා හි පිහිටි පැරෂුට් රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවක් ද හදාරා ඇත. ලෝකයේ කිසියම් රටක පිළිගත් ජාතික ආරක්ෂක විද්‍යාලයක මෙබඳු පාඨමාලාවක් හදාරා තිබීම ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමට අත්‍යාවශ්‍ය සුදුසුකමක් ලෙස සැළකේ.

1985දී දෙවෙනි ලුතිනන්වරයෙකු වශයෙන් ගජබා රෙජිමේන්තුවට බැඳුණු ශවේන්ද්‍ර සිල්වා, 1987 දී ලුතිනන් නිලයට උසස් කරන ලැබුණු අතර  '80 දශකය අග පැනනැඟුණු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ල සමයේ දකුණු ලංකාව භීතියට පත්කළ අතුරු හමුදා එ්කකයක් වූ ක්‍ෂණික විහිදුම් බලකාය (RDF) පිහිටුවීමේ ලා ද පුරෝගාමී විය. 1989 මැයි මාසයේදී කර්නල් ගෝඨාභය රාජපක්ෂ යටතේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කැරලි මර්දන මෙහෙයුම් සඳහා කැඳවනු ලැබූ 1 වෙනි ගජබා බලඇණියේ සාමාජිකයෙකු වශයෙන් ඔහු විසින් පෙන්නුම් කළ සේවා දක්‍ෂතා හේතුවෙන් එවකට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න විසින් 1989 අගෝස්තු මාසයේදී  හේ කපිතාන් නිලයට උසස් කරනු ලැබුණි.

මාතලේ සමූහ මිනීවල

භීෂණ සමයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ විජය විද්‍යාලය, තානායම් ගොඩනැගිල්ල, කූඹියන්ගොඩ විහාරස්ථානය හා පෝසිලේන් කම්හල යන ස්ථානවල යුද හමුදා වධකාගාර පවත්වාගෙන ගිය බව වාර්තා වන අතර, එම වධකාගාරවල දී තරුණ තරුණියන් 450කට අධික පිරිසක් අමානුෂික වද බන්ධනයන්ට ලක්කොට ඝාතනය කරන ලද බවට තොරතුරු ලැබී තිබේ. මළසිරුරු 150කට අධික ප්‍රමාණයක් වළ දැමූ සමූහ මිනීවලක් 2012 වසරේදී සොයාගන්නා ලද්දේ ද මාතලේ දිසා රෝහල් භූමියෙනි.

ශවේන්ද්‍ර සිල්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයට ඇතුළත් වූයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුරෙහි කටයුතු කිරීමෙන් අනතුරුව ය. වන්නි හමුදා ක්‍රියාන්විතය නිසා අගතියට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී ඔහුට විරුද්ධව පවරන ලද නඩුවක් රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් ලබාදෙන ලද රැකවරණය හේතුවෙන් අධිකරණය විසින් ඉවත දැමී ය. කෙසේවෙතත් 2012 ජනවාරියේ දී පැවැති එක්සත් ජාතීන්ගේ විශේෂ සාම සාධක මෙහෙයුම් උපදේශක කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවසර ලැබුණේ නැත.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.