JDS Sinhala

නිදහස් සැමරුමට සහභාගී වීම ගැන සම්බන්ධන්ට - සුමන්තිරන්ට දෙමළ සන්ධාන විරෝධය

හැට හත්වෙනි නිදහස් සංවත්සරය සමරනු පිණිස ඊයේ (04) කොළඹ දී පවත්වන ලද නිල රාජ්‍ය උත්සවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝධයම් සම්බන්ධන් සහ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගී වීම, දෙමළ දේශපාලනඥයන් විසින් දීර්ඝ කාලීනව ආරක්‍ෂා කළ පිළිවෙතක් උල්ලංඝණය කිරීමකැයි එම සන්ධානය කියා සිටී.

1948 දී බ්‍රිතාන්‍ය කිරුළෙන් නිදහස් වීමේ හැට හත්වෙනි සංවත්සරය සමරනු වස් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවැති රාජ්‍ය උත්සවයට සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී වූ ආකාරය ජාතික රූපවාහිනී නාලිකා විසින් විකාශනය කරනු ලැබුණි. මෙම අවස්ථාවට රජයේ ඇමතිවරු, දේශපාලන පක්‍ෂ නියෝජිතයන් මෙන්ම විදේශ දූත සේවා නියෝජිතයන් ද සහභාගී වී සිටියහ.

'කළු දිනයක්'

1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසු ප්‍රධාන දෙමළ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් නිල නිදහස් උත්සව අවස්ථාවට සහභාගී වූ පළමු අවස්ථාව මෙය සේ සැළකේ. නිදහස් ලංකාව තුළ දෙමළ ජන අයිතීන් කප්පාදු කිරීමට ගෙනයන ලද ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරන  'කළු දිනයක්' වශයෙන් නිදහස් දිනය යොදා ගැනීම මේ දක්වා දෙමළ දේශපාලන පක්‍ෂවලට පිළිවෙත වී තිබුණි.

'නිදහස් සැමරුමට සහභාගී වීමට දෙමළ සන්ධානය වශයෙන් සාමූහික තීරණයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම මෙම උළෙලට සහභාගී වුවහොත්, දෙමළ ජනයාගේ අනාගතයට ඉන් බරපතල අනර්ථයක් වන බව ඊට පෙරදා අපි සම්බන්ධන් හා සුමන්තිරන්ට ඉතා පැහැදිලිව කියා සිටියා'යි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් JDS හා කියා සිටියේය.

'අප විසින් පළකළ විරෝධය නොතකා මේ උළෙලට සහභාගී වීම ඉතාමත්ම කළකිරවන සුළුයි. දෙමළ ජනයාගේ සාමූහික අභිලාශයට විරුද්ධව කටයුතු කිරීම දෙමළ ජාතික සන්ධානයේ නායකයාට කිසිසේත් ගැළපෙන්නේ නැහැ,' යි ඔහු කීය.

විනය ක්‍රියාමාර්ග

මේ සම්බන්ධයෙන්  JDS වෙත කරුණු පැහැදිලි කළ ඉලංකෛ තමිල් අරසු කච්චි හි මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්තිරන් කියා සිටියේ 'දෙමළ ජාතික සන්ධානයේ කිසිදු සමාජිකයෙකු නිල නිදහස් උත්සව සැමරුමට සහභාගී වීම කිසිසේත් අනුමත කළ නොහැකි' බවයි.

'දෙමළ ජනයාට නිදහස ලබාදීම මේ දක්වාම ප්‍රතික්‍ෂේප කර ඇති තත්ත්වයක් තුළ මෙම උත්සවයට සහභාගී වීමට මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් තීරණය කිරීම ගැන අනෙක් සියළුම මන්ත්‍රීවරුන් ඉන්නේ කෝපයෙන්'යැයි හෙතෙම කියා සිටියේය.

මේ අතර ප්‍රධාන දෙමළ දේශපාලන පක්‍ෂ විසින් මේ දක්වා ආරක්‍ෂා කළ පිළිවෙතක් සිය අභිමතය පරිදි උල්ලංඝණය කීරීම සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ නායකයාට හා සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව විනයානුකූල පියවර ගත යුතුද - නැතිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දෙමළ සන්ධානය තුළ සාකච්ඡා කෙරෙමින් ඇති බව වාර්තා වේ. 

'නිදහසින් පසුව විවිධ ආණ්ඩු යටතේ දෙමළ ජනයා මුහුණ දුන් පීඩාකාරී අත්දැකීම් සළකා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිදහස් උළෙල වර්ජනය කිරීමට ඇති කරගත් තීරණය ගැනීමට මුල් වුණු දේශපාලන පරපුරේ කෙනෙක් විදියට සම්බන්ධන්  කළ මේ ක්‍රියාව කිසිසේත් අනුමත කරන්න බැහැ. හතළිස් තුන් අවුරුද්දක් අපි ආරක්‍ෂා කළ මේ සම්ප්‍රදාය නොකඩවා පවත්වාගෙන යන්න ඕනෑවටත් වඩා හේතු ඇති වකවානුවක මොවුන් ගත් මේ තීරණය විසින් මතුකරන ප්‍රධාන ගැටළුව තමයි, දෙමළ ජනයාට තවදුරටත් නායකත්වය සපයන්න ඔවුන්ට හැකියාවක් තිබේද යන්න'යි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමචන්ද්‍රන් පැවසීය.☐

©  JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.