JDS Sinhala

'එක්සත් ජාතීන්ගේ යුද අපරාධ වාර්තාව පමා කරන්න එපා' - TNA

ක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන වාර්තාව බාධාවකින් හෝ කල් තැබීමකින් තොරව එන මාර්තුවේ දීම ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි. සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනේ නිර්වේලිහි දී ජනවාරි 28 දා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ හුදු ආණ්ඩු පෙරළියක් දෙමළ ජනතාව මුහුණ දෙන පීඩාවන්ට විසඳුම් ලබා දෙන්නේ නැති බවයි.

'රටේ ආණ්ඩු වෙනසක් වුණද ලංකාවේ ජීවත් වන දෙමළ ජනයාගේ ගැටළු වෙනස් වේද යන්න තවමත් ගැටලුවකි. ඒ වෙනස ඇතිවෙන්නට නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන වාර්තාව කිසිම බාධාවකින් හෝ කල් තැබීමකින් තොරව ඉදිරිපත් කළ යුතුයි,' ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලය තුළ දෙමළ ජනයා ලද අත්දැකීම් හේතුවෙන් යුද අපරාධ පිළිබඳ විමර්ශනය සඳහා ගනු ලබන දේශීය යාන්ත්‍රණයක් ගැන දෙමළ ජනයාට විශ්වාසයක් නැති බැවින් නව රජය එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව පිළිගත යුතුයැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් අනතුරුව විවිධ ජාත්‍යන්තර බලවතුන් විසින් යෝජනා කොට තිබුනේ යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දෙන ලෙස නව රජයට දැන්ම බලපෑම් කළ යුතු නැති බවයි.

මානව අයිතීන් නොතකා හැරීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය 2014 මාර්තු මාසයේ පැවැති විසි පස්  වැනි සැසියේදී සම්මත කරගත් යෝජනාවකින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති වකවානුවේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින්ම සිදුකළ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි. මේ අනුව අදාළ විමර්ශනයේ ප්‍රතිපල පිළිබඳ වාචික කරුණු දැක්වීමක් මානව හිමිකම් මණ්ඩලයේ විසි හත් වැනි  සැසියට ඉදිරිපත් කරන මෙන් එකී යෝජනාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට නිර්දේශ කරන ලද අතර ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් විසි අට වැනි  සැසියට ඉදිරිපත් කරන ලෙසද නියම කරන ලදී.

නමුත් කවර ආකාරයක හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ඉඩ දීමට තමන් බැඳී නැති බවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයට 'කැපවී ක්‍රියා කළ' කිසිදු පුද්ගලයෙකුට එරෙහිව ගනු ලබන ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකට සිය රජය සහාය නොදක්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිඥා දුන්නේය.

දෙමළ ජන අපේක්‍ෂා

ජාත්‍යන්තර පරීක්‍ෂණයකට පහසුකම් සැළසීමට තමන් බැඳී නැතැයි ආණ්ඩුව කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා,  "ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයකට සම්බන්ධ විය හැකි රෝම ප්‍රඥප්තියට අත්සන් කළේ නැති නිසා එවැනි පරීක්‍ෂණයකට පහසුකම් සළසන්න බැරි බව ආණ්ඩුව කියනවා. නමුත් අලුත් නීති නිර්මාණය කරලා හරි රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ අක්‍රමිකතා ගැන පරීක්ෂණ පවත්වන්න තියෙන උනන්දුව දෙමළ ජනයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වන්නේ නැති එක කණගාටුදායක,"යැයි ප්‍රකාශ කළේය.

අලුත් ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළත් දෙමළ ජනයා මුහුණ දෙන ජාතික ගැටලුවලට 'කිසිදු විසඳුමක් ගැන සාකච්ජා කර නැති නිසාම,' යුද අපරාධ ගැන එක්සත්  ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව දෙමළ ජනයා සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ධනපාල - සයීද් හමුව

මෙයට පෙර මේ සම්බන්ධයෙන් JDS හා ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩු මාරුවක් වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයට කිසිසේත් අදාළ නොවන බවත්, එම ආණ්ඩු වෙනස කිරීමට තීරණාත්මක දායක වූ දෙමළ ජනයා‍ගේ අපේක්‍ෂා බිඳ දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා නොකළ යුතු බවත් ය.

මේ අතර නව රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කරනු වස් ජනාධිපති සිරිසේනගේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල ඊයේ (29) ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයීද් රාද් අල් හුසේන් (Zeid Ra’ad Al Hussein) සහ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති යොආකිම් රූකර් (Joachim Rücker) මුණ ගැසුණු බව වාර්තා වේ. යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙනයන පරීක්‍ෂණය ගැන ද එම හමුවේදී  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජයේ නිල වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබේ.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.