JDS Sinhala

ජිනීවා සමුළුවේදී 'අලුත් මගක්' ගන්නා බව මංගල සමරවීර දිල්ලියේදී කියයි

දිරි මාර්තුවේදී ජිනීවාහි රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී අලුත් මගක් ගන්නා බව ශ්‍රී ලංකා රජය පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුව දිල්ලි නුවරදී ජනමාධ්‍ය වේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, රටේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කිරීමේදී නව රජය රාජපක්‍ෂ පාලනයට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂා කිරීමට මාසයක කාලයක් ඇතුළත දේශීය යාන්ත්‍රණයක් සකසන බව සිය ප්‍රථම නිල සංචාරයේ යෙදෙමින් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේය. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය වරයා හමුවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ 'පියවර කිහිපයක් තබනු දුටු කල යන දිසාව පැහැදිලිව හඳුනා ගත හැකි,' බවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය 'එක්සත් බව හා වෙනසක්' සඳහා දුන් ඡන්දයක් සේ හැඳින්වූ අගමැති මෝදි, එමගින් රටේ 'සාමය, සංහිඳියාව හා සංවර්ධනය,' වැඩි දියුණු වනු ඇති බවට විශ්වාසය පළ කොට තිබේ.

බරපතලම යුද අපරාධ සිදුවූ බවට චෝදනා නැගෙන යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ ආරක්ෂක ඇමැති ධුරයේ වැඩ බැලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුවේ යුද හමුදාව කළ කී දෑ විභාග කරනු ඇතිදැ'යි මාධ්‍යවේදීන් කළ විමසීමකදී විදේශ අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ  "ඒ සම්බන්ධ දේශීය පරීක්ෂණයට මගේ ජනාධිපතිවරයා පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත," යනුවෙනි.

ඉන්දීය අගමැති වරයා හමුවීමට පෙර සිය නිල සංචාරයේ පළමු දිනයේදී ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් හමුවීමෙන් අනතුරුවත් යුද අපරාධ චෝදනා පිලිබඳ පිහිටුවන දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර තිබුණි. ඔහු සිය අදහස් දක්වා තිබුනේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන 'ස්වරාජ්ය' වෙතයි.

එක්සත් ජාතීන් හා සහයෝගයෙන්

“මේ යුද අපරාධ චෝදනා පරික්ෂා කිරීමට විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බව අපි දැනටමත්   අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රකාශයට පත් කළා .මේ සඳහා ඉහල ප්‍රමුඛත්වයක් දී  තිබෙනවා. දැනට විකල්ප කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් අපි  බලාපොරොත්තු වන්නේ  පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන්ගේ සහාය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තාක්‍ෂණික සහාය ලබා ගැනීමටයි. මේ මොහොතේ ජාත්‍යන්තර පරික්‍ෂණයක් පවතින බව අපට අමතක කළ නොහැකියි. රටේ හා ජනතාවගේ ස්වෛරිභාවයට හානි නොවන අයුරින් එම පරීක්‍ෂණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපි උත්සාහ කරනවා.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරනු ලබන විදෙස් නිරීක්‍ෂකයන්ට රට තුළ වැඩ කටයුතු කිරීමට ඉඩ දීම ගැන පවසන විදේශ අමාත්‍ය වරයා මෙසේ පවසා තිබුණි.

“කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සාකච්ජා කොට තීන්දුවක් ගත යුතුයි. මගේ පෞද්ගලිකව හැඟීම නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහයෝගය ලබා දීමෙන් කිසිදු හානියක් නොවන බවයි. මේ චෝදනා අප වෙත එල්ල වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් මග හරිනු ලැබූ කොමිෂන් නිසායි. ඒ නිසාම අපිට මෙහිදී පැත්තකට වී ඉන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අනෙක් අතට නව ආණ්ඩුවක් යටතේ  ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනීවී යැයි අපි අපේක්ෂා කරනවා.”

සරත් ෆොන්සේකා

හමුදාව වෙත එල්ලවන මානව හිමිකම් කඩ කිරීම ගැන චෝදනා වලට  ඔවුන්  සම්බන්ධ නම්, ඊට එරෙහිව පියවර ගැනීම ගැන පසුබට නොවිය යුතු බව පැවසු විදේශ අමාත්‍ය මංගල සමරවීර එම වකවානුවේ හමුදාවේ ප්‍රධානියාවූ ජෙනරාල් සරත් ෆොන්සේකා ද  සිටිනුයේ තම සභාග රජය සමග කියා සිටියේය.

“ඔහු ද, ඔහුගේ මිනිසුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති මුත් ඕනෑම විමර්ශනයක් හෝ පරීක්ෂණයක් වෙනුවෙන් පෙනී සිටිනවා.”☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.