JDS Sinhala

ආරක්‍ෂක අමාත්‍යංශයේ පාවෙන අවි ගබඩා තුනෙන් එකක් පොලිස් අත් අඩංගුවේ

ජයේ අනුමැතිය ඇතිව මහ මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන ආයුධ ගබඩා තුනකින් එකක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම පිලිබඳ සැකපිට ගාලු වරායේ නැංගුරම් ලා තිබු "මහනුවර" නම් නෞකාව පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවයි.

ශ්‍රී ලංකා  ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන රක්නා ආරක්‍ෂක ලංකා සමාගමට සහ ඇවන්ට් ගාර්ඩ් සාගර සේවා (Avant Garde Maritime Service) සමාගමට  අයත් තවත් මෙවැනිම අවි ගබඩා නෞකා දෙකක් ගල්ෆ් මුහුදේ සහ රතු මුහුදේ පවත්වාගෙන යනු ලබන බව එම සමාගම පවසයි. “සින්බෑඩ්“ නමැති නෞකාව ඕමාන් ගල්ෆ් මුහුදු කලාපයේද “ඇවන්ට් ගාර්ඩ්“ නෞකාව රතු මුහුදේද රඳවා ඇත.

මෙම සමාගම් දෙක ඒකාබද්ධව ශ්‍රී ලංකා රජයේ ආයුධ සහ ඒ හා සම්බන්ධිත උපකරණ සාගර සහ වරායන්හිදී ආරක්‍ෂාව ඉල්ලා සිටින නෞකාවන්ට සැපයීමත් යම් නෞකාවන් විදේශ රටවල මුහුදු සීමාවන්ට ඇතුළත්වන විට ඔවුන් සතු ආයුධ භාරගැනීමත් ඒවා ඔවුන්ට අවශ්‍ය ඕනෑම තැනකට ප්‍රවාහනය කර නැවත භාරදීමත් එකී කාල සීමාව තුළ ආරක්‍ෂාව සැපයීමත් යන සේවා සැපයීම තම රාජකාරිය බව එකී සමාගම් සිය වෙබ් අඩවි වල සඳහන් කොට තිබේ. මිට අමතරව නාවුක ආරක්‍ෂක භටයන් සැපයීම, ආරක්‍ෂක පුහුණු කටයුතු ආදිය ද මෙම සමාගම් විසින් සිදු කරනු ලැබේ.

බ්‍රිතාන්‍ය පුහුණුව

සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් සාගර සේවා සමාගම (Avant Garde Maritime Services (Pvt) Ltd),  සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක පුද්ගලික සමාගමේ (Avant Garde Security Services (Pvt) Ltd) අනු සමාගමක් වන අතර එය 2011 ජූනි 24 වැනි දා ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූවකි. සමාගම විසින් කරනු ලබන මුහුදු ආරක්‍ෂක කටයුතු පුහුණු කිරීම්  කටයුතුවලදී වෙඩි තැබීම් පුහුණුකිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය විශේෂ බලකා නිලධාරියෙකුගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ ය.

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ගාලු වරායෙන් එපිට ජාත්‍යන්තර මුහුදු තීරයේ මෙම පාවෙන අවි ගබඩාව පිහිටුවා ඇත්තේ 2012 ඔක්තෝබර් 15 වැනිදාය. ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවෙන් සියලුම සාගරාරක්‍ෂක සමාගම් වෙත ලියන ලිපියකින්  අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී එම් එස් ඩී ජයරත්න පවසා ඇත්තේ  නාවික හමුදාව සතුව ගාල්ලේත් කොළඹත් පිහිටි ගොඩබිම අවි ගබඩා ඉවත් කොට පාවෙන අවි ගබඩාව ඇවන්ට් ගාඩ් සමාගමට පවරන බවයි. ජාතික ආරක්‍ෂාව තකා මෙම පියවර ගන්නා ලද බව 2012 සැප්තැම්බර් 18 වැනිදා ලියන ලද ලිපියේ සඳහන් වෙයි. පාවෙන අවි ගබඩාවේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයනු ලබන අතර සියලු මෙහෙයුම් ඇවන්ට් ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම හා ආරක්‍ෂක ලංකා සමාගම විසින් සිදු කරනු ඇති බවට අතිරේක ලේකම් වරයා සහතික කොට සිටී.

කොන්ත්‍රාත් සහ අනූ කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා රජය වෙතින් රක්නා ආරක්‍ෂක ලංකා සමාගම Rakna Arakshaka Lanka Ltd (RALL) විසින් භාරගනු ලබන සේවා ගිවිසුම් සඳහා යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර මුහුදු ආරක්‍ෂක සේවා සැපයීම  සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් සාගර සේවා පුද්ගලික සමාගම සිදු කරයි. මේ අනුව රක්නා ලංකා සමාගම විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලබා ගන්නා කොන්ත්‍රාත් නැවත අනු කොන්ත්‍රාත් ලෙස ඇවන්ට්ගාර්ඩ් සාගර සේවා සමාගමට පවරා ඇති බව පෙනී යයි. ඇවන්ට්ගාර්ඩ් පුද්ගලික ආරක්‍ෂක සේවා සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ආරක්‍ෂක සමාගම වන අතර බොහෝ රජයේ බැංකු සහ මුල්‍ය ආයතනවලට ආරක්‍ෂාව සපයයි.

මෙහි පරිපාලන කටයුතු සිදු කෙරෙන්නේ  පහත නම් සඳහන් පුද්ගලයන් විසිනි.

1. සභාපති: මේජර් නිශ්ශංක සේනාධිපති - ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. පකිස්ථානයේ දී ආරක්‍ෂක පාඨමාලාවන් හදාරා ඇත.හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර තිබේ.

2. අධ්‍යක්‍ෂ: මංජුල යාපා -  විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන මොහු සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් සාගර සේවා සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස  ද කටයුතු කරයි. 1989 වසරේදී පොලිස් සේවයට බැඳී ඇති මොහු උතුරු- නැගෙනහිර ද සේවය කළ අයෙකි. පොලිස්පතිවරයා යටතේ සෘජුව මෙහෙයවන පොලිස් අනුඛණ්ඩයක ප්‍රධානියා ලෙසද  කටයුතු කර ඇත.

3. ජාත්‍යන්තර අලෙවි අංශ ප්‍රධානී: වින්ග් කොමාන්ඩර් සෙනරත්  දිසානායක - ගුවන් හමුදාවේ සිට විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

4. ආයුධ ගබඩා පරිපාලක: මේජර් ජෙනරාල් ලෝරන්ස් ප්‍රනාන්දු - ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි, 56 සහ 51 අනූ ඛණ්ඩ වල හිටපු අණදෙන නිලධාරි ,  ගජබා රෙජිමේන්තුවේ හිටපු කර්නල්වරයෙකි.

5. උපදේශක: කපිතාන් ප්‍රසන්න ජයරත්න - ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඉන්දියාවේදී නාවික  සන්නිවේදන කටයුතු පිළිබඳ පුහුණුවක් සහ  බ්‍රිතාන්‍ය රාජකීය නාවික විදුහලේ පුහුණුවක් ලබා ඇත.

6. ධීවර යාත්‍රා ආරක්ෂණ මෙහෙයුම් අංශ ප්‍රධානී:  රියර් අද්මිරාල් එල්.ඩී ධර්මප්‍රිය - විශ්‍රාමලත් නාවික හමුදා නිලධාරියෙකි.

7. ගිවිසුම් සහ ආයුධ ප්‍රවාහන අංශ ප්‍රධානී: මේජර් ජෙනරාල් වී. ආර්. සිල්වා - 1978 සිට උතුරු නැගෙනහිර මෙහෙයුම්වලට  සම්බන්ධවූවෙකි. ඇමෙරිකාවේ, ඉන්දියාවේ සහ චීනයේ  පුහුණුව ලබා ඇත.

8. වාණිජ යාත්‍රා සහ පාවෙන අවි ගබඩා මෙහෙයුම් අංශ ප්‍රධානී: අණ දෙන නිලධාරී නන්දන දියබලනගේ - විශ්‍රාම ලද්දෙකි. ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරයෙකුව සිටියේය. ඉන්දියාවේ පුහුණුව ලබා ඇත.

9. මුහුදු මෙහෙයුම් අංශ ප්‍රධානී - කොමදෝරු සුදර්මන් සිල්වා

සීමා සහිත ඇවන්ට් ගාර්ඩ් සාගර සේවා සමාගම ඉන්දීය සාගරයේ ප්‍රවාහනය කටයුතු සිදු කරන නෞකාවන්ට ආරක්‍ෂාව සහ අවශ්‍ය සියලුම සැපයුම් සිදු කිරීම සිදු කරන බවද එහි වෙබ් අඩවියේ සඳහන් වේ. මෙහි උපදේශක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරි අද්මිරාල් ඩී. ඩබ්. ඒ. එස් දිසානායක, ඕමාන්හි හිටුපු නාවික හමුදා ප්‍රධානි සහ ඕමාන්හි මුහුදු ආරක්‍ෂක කටයුතු පිළිබඳ කමිටු ගණනාවක ප්‍රධානියා වන  සලීම් අල් අලාවි,  ඇට්ලාන්ටික් රිසෝර්සස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් චෙන්, ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටුපු අණ දෙන නිලධාර් මේජර් ජනරාල් පී චන්ද්‍රවංශ යන අය කටයුතු කරයි.☐

 © JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.