JDS Sinhala

ආනන්ද ඉඩමේගම: ඝාතක යුගයකට ඇරුණු එක් මිනිස් කවුළුවක්

“..ඉඩමේගම දිනකීපයක් තුළ දිස්ත්‍රික්කය මුහුණ පා සිටි  සංවිධානමය සහ දේශපාලනමය ගැටළු මනාව වටහාගත්තා. ඔහු සාමාන්‍ය ක්‍රියාධරයන් සහ පක්ෂයේ හිතවතුන් අතර කටයුතු කළේ සරල සහ ස්වාභාවික නායකත්වයක් සපයමිනුයි. පක්‍ෂයේ බහුජන මට්ටමට පවා මැදිහත් වෙමින් පැවැති ගැටළු කෙටි කලකින්  නිරාකරණය කිරීමට කටයුතු කළා. ඔහු සියල්ලන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්වුණා. පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් ගැන  විවේචන ඉදිරිපත්කිරීමට ඒ දක්වා පසුබට වුණ පක්ෂයේ බහුජන සංවිධාන නියෝජිතයන් සහ හිතවතුන් ද   මේ හේතුවෙන් පෙරට පැමිණියා. එමෙන්ම පහල ශ්‍රේණීන් විසින් ඉහල ශ්‍රේණීන් වෙත  විවේචන එල්ලකිරීමට අවශ්‍ය දේශපාලනමය සහ සංවිධානමය ප්‍රතිසංස්කරණ ඔහු පක්ෂය තුළ සිදු කළා. ස්වයං විවේචන සහ විවේචන ක්‍රියාවලියේ පැවැති ව්‍යාජ සහ නොගැඹූරු බව  විසින් එම ක්‍රියාවලිය විසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබානොදෙන බවට නිරීක්ෂණය කළ ඉඩමේගම එයට හේතුවක්  ලෙස දුටුවේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉල්ලා සිටින දැනුම සහ අත්දැකීම්  බොහෝ පක්‍ෂ සාමාජිකයන්ට නොමැති වීම බවයි.  පක්ෂ සාමාජිකයාට   ස්වකීය  සමස්ත දේශපාලනික හෝ සදාචාරාත්මක පැවැත්ම මෙන්ම  තමන්ගේ දෛනික සමාජීය හෝ දේ‍ශපාලනික ක්‍රියාකාරිත්වය ද, පක්ෂයේ වැඩපිළිවෙළ ප්‍රතිපත්තීන් සහ උපායමාර්ග ද සමාජවාදී විප්ලවයේ අරමුණුවලට සාපේක්ෂව ඇගයීමට අවශ්‍ය කරන දැනුම සහ දේශපාලන ශික්ෂණය  පක්ෂ අධ්‍යාපන වැඩපිළිවෙළ තුලින් ලබා දී ස්වයං විවේචන සහ විවේචන ක්‍රියාවලිය ගුණාත්මක වශයෙන් සංවර්ධනය කළයුතු බවට ඔහු විශ්වාස කළා. ඒ සඳහා ඔහු ඉතා කෙටිකලක් තුළ පක්ෂයේ සියළු ක්‍රියාධරයන්ට සහභාගිවිය හැකි අධ්‍යාපන වැඩපිළිවෙළවල් සකස් කළා.  වෘත්තීය විප්ලවවාදියෙකු සතු විය යුතු ගුණාංග මොනවාදැයි සාමාජිකත්වය දැනුවත් කිරීමට දියත් වූ අධ්‍යාපන කව සාකච්ඡාව සැලසුම් වූයේ  හුදු වියුක්ත න්‍යායාත්මක සංවාදයක් ලෙස නොවේ. පක්ෂ සාමාජිකයන් තම දේශපාලන ක්‍රියාකාරිත්වයේදී  ජනතාව සහ පක්ෂය සමග ලබන එක් එක් අත්දැකීම් විශ්ලේෂණය කරමින් සංවර්ධනය කළ සංවාදයක්.

“ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය වෙනුවෙන් ඔහු පෙනී සිටියත් ඒ සම්බන්ධව මතු වූ ගැටළු සාකච්ඡා කිරීමට ඔහු බාධා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ සංවාදයන් දිරිගැන්වූවා. ජාතික ප්‍රශ්නය සම්බන්ධව ස්ටාලින්ගේ ප්‍රතිපත්තීන් ලෙනින් විසින් විවේචනය කළ ලියැවිලි උපුටා දක්වමින් ලෙනින්ගේ මරණයෙන් පසුව ස්ටාලින් එම ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන ගියා දැයි එක් අවස්ථාවක ශිෂ්‍ය අංශයෙන් ප්‍රශ්නයක් මතුවුණා. මෙම ප්‍රශ්නය මතු කිරීමට හේතු වුණේ 1989 පළමු කාර්තුව වනවිට සෝවියට් සංගමය තුළ නගර්නෝ කර්බාක් ප්‍රදේශයේ හටගත් ගැටුම්කාරි තත්ත්වයයි. පක්ෂය ලංකාවේ ජාතික ප්‍රශ්නය සාර්ථකව විසඳා ලූ රාජ්‍යයක් ලෙස  සෝවියට් ආදර්ශය පක්ෂය විසින්  ඉදිරිපත් කිරීම නිසා නගර්නෝ කර්බාක් ගැටුම් අපගේ අවධානයට ලක්වුණා. මේ ගැන ඉඩමේගම සමග ඉඩ ලද අවස්ථාවල අප සාකච්ඡා කළා. සෝවියට් සංගමයේ ඒ වනවිට සිදුවෙමින් පැවැති පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ක්‍රියාවලිය ගැන ද  අධ්‍යයනය කිරීමට කව සාකච්ඡාවලදී ඔහු අපව දිරිගැන්වුවා. එමෙන්ම නගර්නෝ කර්බාක් අර්බුදය  සහ පෙරෙස්ත්‍රොයිකාව ගැන තොරතුරු රැස්කිරීම සහ  අධ්‍යයනය කිරීම ඔහු වගකීමක් ලෙස ශිෂ්‍ය අංශය වෙත පැවැරුවා.“

ගජබා රෙජිමේන්තුව මාතලේට

පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරිකයන්ගේ සීමාන්තික ක්‍රියාවන් නැවැත්වීමට ඇතැම් අවස්ථාවල දී ඉඩමේගමට පුද්ගලිකවම මැදිහත් වීමට සිදු විය. ඔහු වරෙක මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ක්‍රියාකාරිකයන් හමුවකට  බසයකින් ගමන් කරමින් සිටින විට ඔහුට බැරලයකට තට්ටුකරමින් අපි ආයේ කසිප්පු පෙරන්නේ නැතැයි පවසමින් හඩ නගා පවසමින් සිටි මවක සහ දියණියක දක්නට ලැබිණි. දියණිය පාසල් ශිෂ්‍යාවකි. ඔවුන් අසළ කසිප්පු පෙරීම ගැන දේශප්‍රෙමී ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින පෝස්ටරයක් විය. මේ දසුන ඉඩමේගම දැඩි කෝපයට පත් කිරීමට හේතු විය. යමින් සිටි ගමන පසෙක ලා බසයෙන් බැසගත් ඔහු මව සහ දියණිය වෙත ගොස් එම  එම ක්‍රියාව නවතා නිවසට යන ලෙසත් එය අනවශ්‍ය දෙයක් බවටත් පවසා සිටියේය. නමුත් තමන්ට එම නියෝගය දුන් පුද්ගලයන් ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයන් බවත්  තමන් එය නොපිළිපැද්දොත් තමන්ව සහ පවුලේ සාමාජිකයන් මරා දැමීමට ඉඩ ඇති බවත් මව පවසා සිටියාය. මේ අවස්ථාවේදී  ඉඩමේගමට තමන් කවුද යන්න  මව සහ දියණිය වෙත පැවසීමට සිදු වූ අතර  පක්ෂය වෙනුවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටි ඔහු, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවන ඇති බවට සහතික වී ආපසු නිවසට යන ලෙස පවසා සිටියේය. පසුව  මෙම ක්‍රියාවට වගකිව යුතු පක්ෂ ක්‍රියාධරයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනුණ අතර  ජනතාවට දඩුවම් පැමිණවීමට විප්ලවීය ව්‍යාපාරයකට අයිතියක් නැති බව ඔහු පෙන්වා දුන් බව අජිත් හේරත් සිහිපත් කළේය.

1989 අවසන් භාගය වන විට  දැඩි  මර්ධනකාරිත්වයක්   දියත් කරන්නට   ප්‍රේමදාස - රන්ජන් විජේරත්න  ආණ්ඩුව කටයුතු කරමින් සිටියේ ය.  ඒ එවකට හමුදාපති හැමිල්ටන් වනසිංහ ගේ   මෙහෙයවීමෙනි. මහනුවර ප්‍රදේශය බාරව රාජ්‍ය මර්දනය දියත් කරනු ලැබූ  ප්‍රධානියා  නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ  ප්‍රේමදාස උඩුගම්පොල වූ  අතර  මාතලේදී  එම කාර්ය  පැවරුණේ   එවකට   දකුණේ  මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ උනන්දුවක් දැක් වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ  සොහොයුරා වූ එවකට කර්නල් ගෝඨාභය රාජපක්ෂට ය. ඔහු නියෝජනය කරනු ලැබූ  ගජබා රෙජිමේන්තුවේ පළමුවෙනි බැටෑලියනය  මාතලේ  වාඩිලා ගැනීමත් සමගම  මරා දැමීම් , අතුරුදහන් කිරීම් , සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලන් අත්අඩංගුවට ගැනීම් ඉහල යන්නට විය.  

මාතලේ නානායක්කාර උද්‍යාන තානායම, විජය විද්‍යාලය, කච්චේරිය අසල තානායම, නාඋල වී ගබඩාව , පෝසිලෙන් කර්මාන්ත ශාලාව , හමුදාවට  පවරා ගැනුණු  අතර  පසුව ඒවා වධකාගාර බවට පත් විය. ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන්  මෙම ස්ථාන වලට අමතරව කූඹියන්ගොඩ පන්සලේ  ධර්ම ශාලාව ද  අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට  දස වධ බන්ධනයන්ට ලක් කරන වධකාගාරයක් බවට පත්විය.  එවකට  එක්සත්  ජාතික පක්ෂ ආණ්ඩුවේ  ඇමති වරුන් වූ  ඇලික් අලුවිහාරේ, පි.බි. කවිරත්න  මෙන්ම ඔවුන්ගේ  පුත්‍රයන් වූ පළාත් සහා මන්ත්‍රීන් වූ   වසන්ත අලුවිහාරේ , සංජීව කවිරත්න  රාජ්‍ය ත්‍රස්තවාදය  ප්‍රදේශය තුල දියත් කිරීමට ගෝඨාභයට  නිරන්තර සහයෝගය ලබා දුනි.

2009 දෙමල ජන සහාරයට අදාලව යුධ අපරාධ චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ජගත් ඩයස් , ශවේන්ද්‍ර සිල්වා . සුමේධ  පෙරේරා ඇතුළු  හමුදා නිලධාරින්  1989 දී දකුණේ ජන සංහාරයට මාතලේදී  දායක වුවන් ය.  මාතලේ  දිස්ත්‍රිකය තුළ  '' කොළ කොටි '' නම් ඝාතන කල්ලි  ක්‍රියාත්මක වුයේද  ගෝඨාභය  රාජපක්ෂ  සම්බන්ධීකරණය සාමය තුළ ය. ඔවුන්ගේ එක් ගොදුරක් වුයේ   එවකට විපක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ  ඥාති සොහොයුරෙකු වූ  එවකට   ශ්‍රීලංකා   නිදහස්  පක්ෂයේ   රත්තොට   ආසන  සංවිධායක වරයා ලෙස කටයුතු   කල    බර්ට්‍රම්   වෑගොඩපොල  ය .  මොහු ඉඩමේගමගේ හිතවතෙකු වූ  අතර  ජනාධිපතිවරණ  පොදු අපේක්ෂකයා  පිළිබඳ  පක්ෂ අටේ   සාකච්ඡා  පැවති කාලයේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ  ඩෙන්සිල්  කොබ්බෑකඩුව  හරහා  ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරන අයුරු ගැන  අනුරුද්ධ රත්වත්තේ හා  සුනේත්‍රා බණ්ඩාරනායක  ඇතුළු පවුලේ ඥාතීන්  කරන ලද  කතා බහ පිළබඳව  ඔහුට හෙළිදරව් කර තිබිණි.

ඉඩමේගම ඝාතනය

පසු ගිය කාලයේදී  ඉදිකිරීම් කටයුත්තක් සඳහා කැනීම් කරද්දී හමුවූ සමුහ මිනී වළ  89 ජන සංහාරයේ  ප්‍රබලතම  සාක්ෂියක් වුව ද, ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙනුයේ ඉතාමත් ඇල්මරුනු  ස්වරූපයෙනි. '' මාතලේ  සමූහ මිනී වළ ගැන මගෙන්  මගෙන් දිවුරුම් පෙත්සමක් ඉල්ලා ගත්ත.  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  පුබුදු ජයගොඩට  සහ  මානව හිමිකම්  සුරකීමේ ශිෂ්‍ය සංවිධානයේ  ලේකම්  නුවන් බෝපගේ ට, ඊට පස්සේ  ජනතා විමුක්ති පෙරමුණටත්  (ජිනදාස කිතුලේගොඩ හරහා)  තවත්  දිවුරුම් පෙත්සමක් දුන්නා.  ඒත්  ඒ  ගැන  මේ පක්ෂ  දෙකම  කිසිම දෙයක් කරලා තියෙනවා   කියල නම්  දැනගන්න  නැහැ"  බන්දුල ඉඩමේගම පවසනුයේ  ඉතාමත්  කලකිරීමෙන් යුතුව ය.

රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායක  ඇතුළු  ඉහළ  පෙලේ  නායකයන්  රැසක්  අත් අඩංගුවට ගෙන මරා දැමීමෙන් අනතුරුව  1989 නොවැම්බර් 28 වැනිදා  සමන් පියසිරි ප්‍රනාන්දු ගේ නායකත්වයෙන්  කුරුවිට පැවති සාකච්ජාවෙදී  ආනන්ද ඉඩමේගම දේශපාලන මණ්ඩලයට පත් කෙරිණි. මාතලේ   දිස්ත්‍රිකය ඇතුළු  කලාපය තුළ තරුණ ශිෂ්‍ය හා කාන්තා සංවිධාන ශක්තිමත් කරමින්  අරගලය පෙරට ගෙන යාමට ඔහුට පැවරිණි.  ඒ  තීරණයන් පිළිබඳව අදහස් දැක්වූ  මිල්රෝයි තිබ්බොට්වාව  කියා සිටින්නේ  සෝමවංශ අමරසිංහ හැර අන් සියලුදෙනාම  සිටියේ  මර්දනයට මුහුණ දෙනු  හැර ඉන් මගහැර යා නොහැකි බව ය.

''අවසන් කාලය වන විට මත දෙකක් තිබුණා. එකක්  සෝමවංශ අමරසිංහ විසින්  දරන ලද  පසුබැසීමේ  හා අත්හැර  දැමීමේ  මතයයි. එහෙත් අන් සියලු දෙනාම දරුයේ  අරගලය එසේ අතහැර  දැමිය නොහැකි බවයි. මර්දනයට මුහුණ දීම සඳහා ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව දෙවෙනි පිරිස කල්පනා කළා. සෝමවංශ තමන්ගේ මතය ක්‍රියාත්මක කළ අතර සෙසු සියලු දෙනාම මුළු වෙර යොදා උත්සාහ  කළේ පැවති තත්ත්වය  ආපසු හරවා ගන්නයි. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊට පස්සේ සෝමවංශට කියන්න පුළුවන් මේ තත්ත්වය කලින්ම  එයා දැක්කා  කියලා.''

බන්ධුල ඉඩමේගමට ලැබී ඇති තොරතුරු අනුව 1989 දෙසැම්බර් 23 වැනිදා දඹුල්ල කුරුණෑගල හන්දියේදී  ආනන්ද ඉඩමේගම  අත් අඩංගුවට පත් ව ඇති බවට තොරතුරු  තිබේ. ඔහු අත් අඩංගුවට  ඇත්තේ   වයඹ පළාත්  සහකාර පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක විසිනි. ඒ පිළිබඳ සැළවන විට අජිත් සී හේරත් සිටියේ බූස්සේ රැඳවුම් කඳවුරේ ය.

"රාජ්‍ය මර්දන යන්ත්‍රය වියරුවෙන් මෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැඹුරටම කඩාවදිමින්  පක්ෂ නායකත්වය ඝාතනය කරන   අයුරු පිළිබද පුවත් අපට දිනපතා දැනගන්නට ලැබුණා. ලලිත් විජේරත්න (අරවින්ද), උපාලි ජයවීර (මානෙල්) සහ ආනන්ද ඉඩමේගම (බස්නායක)  සහ රංජිදම් (අර්ජුන)  වැනි අය  අත් අඩංගුවට පත්වූ බව දැනගන්නට ලැබුණ විට 89 අරගලය තීරණාත්මක ලෙස පරාජයට පත්වී ඇති බව අප බොහෝ දෙනෙකුට වැටහුණා.  ඉඩමේගම, රන්ජිදම් ගුණරත්නම් හා  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කපිල යන අය  මාතලේ  බොහෝ තැන වලට රැගෙන ගොස්  තිබුණා. එඩිසන් ගුණතිලක විසින්  එඩිසන් එක්ක  මේ තැන් වලට  ඇවිත් තිබුනේ  කලින් මාතලේ වැඩ කරපු රාජා මහත්තයා  ඒ වෙනකොට  ඔහු රජයේ හමුදා අත් අඩංගුවට  පත් වෙලා.

"ඉඩමේගමට , රන්ජිදම්ට  වගේම  කපිලට  හොඳටම  ගහලා ලේ ගලමින්  ඉඳලා තියෙන්නේ. පක්ෂයේ හිතවතෙකු පැහැරගෙන  මෙම වෑන්රියටම ඇතුළ් කර තියෙනවා. ඔහු ඉඩමේගම, අර්ජුන සහ කපිලව හොදින් දන්නා කෙනෙක්. හිස ඔසවා බැලු ඉඩමේගමට මේ පුද්ගලයා දක්නට ලැබී තිබෙනවා. තමාව හඳුනාගත් ඉඩමේගම සිය දෑස් විවර කර නැවත තදින් වසාගෙන හිස පහතට යොමුකරගත් බවත් මෙමගින් ඉඩමේගම විසින් තමන් කිසිවක් නොපැවසූ බවට සංඥාවක් තමන්ට දුන් බවත් මෙම පක්ෂ හිතවතා පසුකලෙක පැවසුවා. පසුව  මාතලේ වධකාගාර වලත්  ඉඩමේගම  රඳවා ගෙන හිටි බවට  ආරංචි වුණා''  අජිත් කියයි.

මෙසේ  පැමිණි බොහෝ තැන් වලින්  රුපියල් ලක්ෂ ගණනක කප්පම් ලබා ගැනීමට සහකාර පොලිස් අධ්කාරී එඩිසන් ගුණතිලක  කටයුතු කර ඇත්තේ  අත්අඩංගුවට ගැනීමේ හෝ මරා දැමීමට තර්ජනය කරමිනි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ  ඉඩමේගම  කුරුණෑගල වැහැර  විජයබා හමුදා කඳවුරට භාර දී  ඇත.  වැහැර  හමුදා කඳවුර පාලනය වුයේ   උතුරේත්  දකුණේත්  මානව හිමිකම් කඩ කිරීම්  සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් ප්‍රකට හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා යටතේය. ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට  සම්බන්ධ වී  දේශපාලනයට අවතීර්ණ විය.  එවකට ලුතිනන්  අසේල දහනායක  භාරයේ  රඳවාගෙන සිටි  ආනන්ද ඉඩමේගම  දස වධ බන්ධනයන්ට ලක්ව 1990 ජනවාරියේදී  ඝාතනය  කර ඇත.

''බදුල්ලේ දීත් , මාතලේදීත්  අපි පොඩි කාලේ ඉඳල හැදුනේ වැදුනේ වතු කම්කරු දෙමල මිනිස්සු එක්ක. ඒ වගේම මුස්ලිම් මිනිස්සු එක්ක.  අපේ පවුල් වල අයට දෙමළ කතා කරන්නත් පුළුවන් කම තිබුණා, මාතලේ සර්නියා වතුයාය අපේ ගෙවල් අද්දර තිබුනේ. පොඩි කාලේ අපි වත්තේ ළමයි එක්ක ''රදම් ''  නටනවා. මම කොහොමවත් හිතන්නේ නැහැ  අපේ මල්ලි ජාතිවාදයෙක්  කියලා. ජේ.ආර්. ගේ පාලනය කැම්පස් එක තුළ ගෙන ගිය දරදඬු  පාලනය වගේම පන්ති තහනම, පක්ෂ තහනම, පොලිසියෙන් සෙවීම  වගේ  දේවල් හින්දා එයා ජනතා විමුක්ති පෙරමුණේ   දේශපාලනයට  තල්ලු වෙන්න ඇති, ඒ හින්දම එයාට ඒ මතවාදය තුල රැඳී සිටීමට  සිද්ධ වුණා කියන එකයි මගේ හැඟීම. ආපසු හැරෙන්න අවස්ථාවක් එයාට තිබුණේ නැහැ, මර්දනයට මුහුණ දීලා තියෙන ඒ වකවානුව තුළ එහෙම වුණානම් එයාත් ද්‍රෝහියෙක් වෙනවා. පස්සේ කාලෙක  මට හම්බ වුණා  කුමාර් පොන්නම්බලම් මහත්තයාව  එයා අපේ  මල්ලි ගැන  හොඳ පැහැදීමෙන් කතා කලේ . එයා  මට කීව  අපේ මල්ලිට වගේම  චම්පික රණවකටත්  එයාගේ ගෙදර රැකවරණය දුන්නා කියලා.'' 

සිය සොහොයුරා ගේ   දේශපාලනය   කෙරෙහි  සානුකම්පිතව ආවර්ජනය කර බන්දුල ඉඩමේගම  විසි හත් වසරක්  ඉක්ම ගියද  සිය සොහොයුරාට සිදු වුයේ කුමක් ද  යන්න   අදටත්  සොයමින් සිටිනුයේ  ආනන්ද නියෝජනය කළ  දේශපාලන පක්ෂය ද , ඔහුගේ අනුප්‍රාප්තික දේශපාලන සගයන් මෙන්ම අද  ඉහල තැන්වල සිටින  ආනන්දගේ  සරසවි මිතුරන් ද  ඔහු පිළිබඳ මතකය අත් හැර දැමූ වටපිටාවක සිට ය.

"අපේ  පවුල් වල  හැම කෙනාම  කියන්නේ මල්ලි හින්දා  ඒගොල්ලන්ගේ  ජීවිත රැකුණා,  එත්   මල්ලි අපිට  නැති වුණා  කියලා.  අපේ  අම්මා  එච්. එම්. පුංචි කුමාරිහාමි,  එයා තවමත් බලාගෙන ඉන්නවා මල්ලිට මොකද වුණේ කියල හරියටම දැන ගන්න.  අපිට  කාගෙන් වත් පලිගන්න  ඕනේ නැහැ.නමුත්, අපේ මල්ලිට මොකද කලේ,  මැරුවා නම් එයාව  වළ දැම්මේ  කොහේද  කියලා   අපිට කියන්න. අපිට  ඕනේ  අපේ පවුලේ චාරිත්‍ර අනුව   ඉතාමත්  ඉහලින් අවසන්   ගෞරවයක්  දක්වන්න''  බන්දුල  ඉඩමේගම ඉල්ලා සිටිනුයේ  විසි හත් වසක් ඇවෑමෙන් පවා යටපත් නොවූ සහෝදර ප්‍රේමයෙනි.☐ 

අානන්ද ඉඩමේගමගේ සිතුවම: අජිත් සී හේරත්

අතුල විතානගේ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.