මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගත් භාණ්ඩ හත්සිය ගණනක පරීක්ෂණ ඇරඹේ

කිත්සිරි විජේසිංහ විසිනි


තවර්ෂ ගණනාවකට ඉහත ලන්දේසි යුගයට අයත් බවට විදේශීය විද්‍යාගාරයකින් නිගමනය කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනිවළෙහි කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹීම සඳහා මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ සිය ගණනක් සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මතභේදාත්මක වාර්තාවකට පසුව තුන් මසකට ඉහතදී කැණීම් කටයුතු නවතා දමන ලද මන්නාරම සතොස සමූහ මිනීවළේ නව පරීක්ෂණ කටයුතු මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් භාරදී ඇත්තේ ගොඩගත් ඇටසැකිලි දශක තුනකට වඩා පැරණි නැතැයි අවධාරණය කරන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේවට ය.

දිවයිනේ ප්‍රමුඛතම පුරා විද්‍යාඥයකු වන මහාචාර්ය සෝමදේව, ජේඩීඑස් සමග දුරකතනයෙන් එක්වෙමින් කියා සිටියේ, කැණීම් සමග ගොඩගත් 700 කට අධික විවිධ භාණ්ඩ ඇසුරින් ජූනි මස අග භාගයේ සිට ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක නව කාල නීර්ණ පරික්ෂණ වාර්තාව එළැඹෙන නොවැම්බරයේදි මන්නාරම අධිකරණයට බාරදීම තම අපේක්ෂාව බව ය.

"සමහර භාණ්ඩ ගොඩගත්තේ ඇටසැකිලි ආසන්නයේම තිබිලා. අපි භාණ්ඩ හත්, අට සීයක් පරීක්ෂාවට ලක් කරනවා. වළං කැබලි, ශරීරවල තිබුණු මුදු වැනි දේවල්, යකඩ වළලු වගේ නොයෙක් දේවල් ඒ අතර තියනවා. නියමිත කාල වකවාණුවක් දැන ගන්න නම් මේ භාණ්ඩ ඉතාම සුපරික්ෂාකාරීව විමර්ශනය කරන්න වෙනවා. ඇතැම් භාණ්ඩ නැවත සකස් කරලා බලන්න ඕනේ. එහෙම කරපුවාම අපිට දැන ගන්න පුලුවන් ඒවා පුරාණ කාලයට අයිති ඒවාද, නැත්නම් මෑත කාලයට අයිති ඒවාද කියලා. පහුගිය 27 වැනිදා භාණ්ඩ යම් ප්‍රමාණයක් මගේ භාරයට අරගත්තා. ඉතිරිය සැප්තැම්බර් දෙවැනිදා ලැබෙනවා."

එක්සත් ජනපද නිගමනය “අදහාගන්න බෑ”

අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස නිගමනය කොට තිබෙන මන්නාරම සතොස සමූහ මිනීවළෙන් ගොඩගත් අස්ථි කොටස්වල කාලය නිගමනය කර ගැනීම සඳහා සාම්පල කිහිපයක් අධිකරණ නියෝග පරිදි පසුගිය ජනවාරි මාසයේදි ෆ්ලොරීඩාවේ, මියාමි හි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය වෙත භාර දෙනු ලැබුණි. ඔවුන් විසින් 2019 පෙබරවාරි 21 දා එවන ලද කාබන් කාල නීර්ණ පරීක්ෂණ වාර්තාවට අනුව අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සියවස් ගණනක කාල පරාසයකට අයත් බවට නිගමනය කර තිබේ.

නමුත්, මහාචාර්ය රාජ් සෝමදේව එකම පස් තට්ටුවකින් ගත් ඇටකටුවලින් පරම්පරා ගණනාවක් පුරා දිවෙන කාල පරාසයක් දක්වන එක්සත් ජනපද විශ්ලේෂක වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

"මගේ දැනීමේ හැටියට මේ අස්ථි කොටස් එතරම් පැරණි ඒවා නෙමෙයි. අපිට පේන හැටියට සමූහ මිනිවළේ තියෙන්නේ එකම පස් ස්ථරයක්. එකම පස් ස්ථරයක් තියෙන තැනක කාලය වෙනස් වෙන්න බෑ. එකම පස් ස්ථරයක්, පසේ එකම වර්ණයක් එකම සංයුතියක් තියන පස් තට්ටුවක් තුළ තිබෙන ඇටසැකිලිවලට අවුරුදු 241 ක පරතරයක් තියෙන දිනයක් ලැබෙනවා කියන එක තර්කානුකූල නැහැ. ඒකෙන් පේන්නේ යවපු සාම්පලවල යම් දෝෂයක් තියෙනවා තියෙන බවකයි. ඒ නිසායි මම කියන්නේ මේ වාර්තාව ගැටළු සහගතයි කියලා."


පුරාවිද්‍යාත්මක පරික්ෂණ නියමයන්ට අනුව ගත් විට මන්නාරම සමුහ මිනීවළේ පරම්පරා හතහමාරකට ආසන්න මළ සිරුරුවල ඇට කැබලි ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද දශක තුනකට වැඩි පර්යේෂණ ප්‍රවීණතාවක් සහිත මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

"අවුරුදු 241 ක් කියන්නේ ශතවර්ෂ දෙකහාමාරක්. ශත වර්ෂයකට පරම්පරා තුනක් කියලයි අපි ගණන් ගන්නේ. එහෙම බලද්දි මන්නාරම සමූහ මිනීවළේ පරම්පරා හතහමාරක විතර ඇට සැකිලි වල කාල නිර්ණයක් තමයි මෙතන තියෙන්නේ. පරම්පරා හතහමාරක ඇට සැකිලි මේ වළේ තියනවා කියන එක අදහන්න බැරි කතාවක්. බීටා ඇනලටික්ස් වාර්තාව මම පිළිගන්න සුදානම් නෑ කියන්නල ඒකත් එක හේතුවක්."

'අවුරුදු තිහකට වැඩි නෑ'

කාල නිර්ණය තහවුරු කරවා ගැනීම සඳහා මිනිස් අස්ථි සාම්පල කොටස් බීටා ඇනලටික්ස් පරීක්ෂණාගාරය වෙත යැවිමට පෙරම මහාචාර්ය රාජ් සෝමදේව ඒ සම්බන්ධව ඔහුගේ විරෝධතාවය ප්‍රකාශ කර තිබුණි.

ඒ අවස්ථාවේදි ජේඩීඑස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මන්නාරම සමූහ මිනිවළ උපරිම වශයෙන් දශක තුනකට වඩා පැරණි නොවන බව ය. බීටා ඇනලටික්ස් කාල නිර්ණ වාර්තාවෙන් පසුවත් ඔහු දරන්නේ එම අදහසමදැයි විමසීමේදී එහි කිසිදු වෙනසක් නැති බව මහාචාර්ය සෝමදේව ස්ථිර වහයෙන්ම කියා සිටියේය.

"මට ඒ මතය ප්‍රකාශ කරන්න හේතු වුණේ මිනීවළ ආශ්‍රිතව ඇට සැකිලි සමීපයේ තිබුණු අපද්‍රව්‍ය වළක් පරික්ෂා කරලායි. අපද්‍රව්‍ය වළේ පස්වල තත්ත්වය, එහි කැපුම් ස්වභාවය, අපද්‍රව්‍යවල තත්ත්වය පරික්ෂා කරලායි මම ඒ නිගමනයට එළඹුනේ."

මන්නාරම සමූහ මිනිවළේ මානව අස්ථි කොටස්වල කාලය නිගමනය කරමින් මේ වන විට එක් වාර්තාවක් නිකුත්ව තිබියදී, පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය ඇසුරින් නව වාර්තාවක් සකස් කරන්නේ නම්, එම වාර්තා දෙකෙන් 'නිවැරදිම' සහ 'නිල වාර්තාව' ලෙස පිළිගැනීමට සිදුවන්නේ කුමන එකදැයි තීරණය කිරීම උසාවියට පැවරෙන කාර්යයකැයි හෙතෙම වැඩි දුරටත් කීවේය.

කාබන් තාක්ෂණය "යල්පිනූ ක්‍රමයක්"

"මම හිතන්නේ ඒ කාර්යය අධිකරණය සතු දෙයක්. බීටා ඇනලිටික්ස් වාර්තාවේ තියෙන්නේ යවපු අස්ථි සාම්පල කොච්චර පරණද කියලා විතරයි. පුරාවිද්‍යා නියමයන් ඇසුරින් අපි සකස් කරන වාර්තාව එහෙම එකක් නෙමෙයි. මේ වළ මොන විදිහේ එකක්ද? ඒ කියන්නේ සමූහ මිනීවළක් කියලා විතරක් ප්‍රකාශ කළාට බැහැ, ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න අවශ්‍යයි. එතකොටයි මේක අපරාධමය ස්ථානයක්ද කියලා නිගමනය කරන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන්ද කියන එකත් අපේ පරීක්ෂණයෙන් අපි කියනවා. එය ඉතාම වැදගත් එකක්. හේතුව ඒ ප්‍රතිනිර්මාණයෙන් තමයි අර මම මුලින් කියපු වළේ ස්වභාවය නිශ්චිතවම දැන ගන්න හැකි වෙන්නේ. ඒ සියල්ලත් එක්ක වළට සාපේක්ෂ කාලයක් නියම කරන්න හැකිද කියන එකත් අපි අපේ පරීක්ෂණයෙන් විමසා බලනවා."

කෙසේ නමුත් කාබන් තාක්ෂණය මගින් කාල නිර්ණය කිරීමේ ක්‍රමවේදය බැහැර නොකරන මහාචාර්ය රාජ් සෝමදේව අවධාරණය කරනු ලබන්නේ එම පරීක්ෂණය සිදුකිරීමට පෙර කළ යුතුව තිබුණේ පුරාවිද්‍යා ක්‍රමවේදයන් ඇසුරින් කාල නිර්ණය සනාථ කරගැනීම බව ය. එම ක්‍රියාවලියෙන් පසු අවශ්‍ය නම් එහි නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට හෝ සැක දුරු කරගැනීමට කාබන් පරීක්ෂාවක් සිදුකර ගැනීමට හැකියාව තිබුණු බවද හෙතම කියා සිටියි. මෙවැනි අර්බුදයක් ඉදිරියේදි ඇති විය හැකි බවටත්, කාබන් තාක්ෂණය මඟින් කාල නිර්ණය කිරීම වර්තමානයේ යල්පැන ගිය ක්‍රමයක් වන නිසාම තමන් එවැනි වාර්තාවක් පිළිගැනීමට සුදානම් නොමැති බවටත් මන්නාරම එවකට සිටි මහේස්ත්‍රාත් ටී ඇලෙක්ස් රාජා හමුවේ තමන් පවසා සිටි බවද මහාචාර්යවරයා කීය.


මන්නාරම, සමුපකාර තොග වෙළද සංස්ථා (සතොස) පරිශ්‍රයේ ඉදිකිරීමක් වෙනුවෙන් කැණීම් කටයුතු සිදුකර එයින් ඉවතට ගෙනගිය පස් අතර තිබී පළමුවෙන් මිනිස් ඇට සැකිල්ලක අස්ථි කොටස් කිහිපයක් සොයාගනු ලැබුනේ 2018 වසරේ මැයි මස 16 වැනිදා ය. මන්නාරම එවක මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන්ගේ නියෝගයක් මත එම මාසයේම 28 වැනි දින මිනීවළෙහි මූලික විමර්ශන කටයුතු ඇරඹුනි.

බීටා ඇනලිටික්ස් කාල නිර්ණ වාර්තාව ලැබීමෙන් පසුව සමූහ මිනීවළ තාවකාලිකව වසා දමන විට එයින් ඇට සැකිලි 300කට වැඩි ප්‍රමාණයක් ගොඩගෙන තිබුණි. එයින් ඇට සැකිලි 294ක් අංග සම්පූර්ණ බවත්, එයට කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28 ක්ද ඇතුළත් බවත් සමූහ මිනීවළේ වෝහාරික පරික්ෂණ භාරව සිටි මන්නාරම දිසා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේ ය.

මෙයට පෙර 2012 නොවැම්බරයේදී කැණීම් කටයුතු ආරම්භ කළ මාතලේ සමුහ මිනීවළේ කාලය නිර්ණය කරමින් බීටා ඇනලිටික්ස් ආයතනය විසින් දෙන ලද කාල නීර්ණ වාර්තාව, එහි වෝහාරික පරීක්ෂණ මෙහෙයවන ලද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

එයින් වසරකට පසු මන්නාරම තිරුකේතීස්වරම් සමූහ මිනීවළෙන් ගොඩගත් අස්ථි කොටස්වල කාලය නිර්ණය කිරීමට එම ආයතනය වෙතම යැවිමට කෙරුණු යෝජනාව වැළකී ගියේ මන්නාරමේ පුරවැසි කමිටුව සහ නීතිඥ සංගමය විසින් නගන ලද විරෝධය හේතුවෙනි.☐

© JDS


සබැඳි පුවත්

14.06.2018 මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි
27.06.2018 ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
20.07.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
27.07.2018 මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
31.07.2018 වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ
09.08.2018 මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
28.08.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි
08.09.2018 මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ තොරතුරු ලබාදීම නිසි බලධාරියෙක් යටතට
12.10.2018 උතුරෙන් තවත් ඇට කටු හමුවේ; මන්නාරමින් සිරුරු 175ක්
18.10.2018 ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළේ ඇටකටු ෆ්ලෝරිඩාවට
30.10.2018 මන්නාරම සමූහ මිනීවළේ ඇට සැකිලි සංඛ්‍යාව 212 දක්වා ඉහළට
12.12.2018 මන්නාරම සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි සාම්පල ජනවාරියේ ඇමරිකාවට
23.01.2019 සමූහ මිනීවළවල් කැණීමේ උපදෙස් මාලාව අධිකරණ අමාත්‍යංශයේ හමස් පෙට්ටියට
30.01.2019 මන්නාරමින් හමු වූ මිනිස් ඇටකටුවල කාල නිර්ණ ප්‍රතිඵල සති දෙකකින්
15.02.2019 මන්නාරම සමූහ මිනීවළෙන් හමු වූ ළමුන්ගේ සිරුරු 28 දක්වා ඉහළට