JDS Sinhala

ඉන්දික ප්‍රභාත් ඝාතනය: ආත්මාරක්ෂාවට තැබූ වෙඩි පහර මුහුණෙන් ඇතුළු වී උදරයේ නතර වූයේ කෙසේද?

පළමු කොටස - ඉන්දික ප්‍රභාත් ඝාතනය: "අපි සැකකරුට පසුපස ආසනයේ විවේක ගන්න සැළැස්සුවා"

කිත්සිරි විජේසිංහ විසිනි


න්දික ප්‍රභාත් රඳවාගෙන සිටි කාලය පුරාම ඔහු දරුණු වධ හිංසාවන්ට ලක් කර තිබේ. පවුලේ සමීපතමයන්ට අනුව ඔහු බරපතල ලෙස  පහර කෑමට ලක්ව තිබේ. ඔහුගේ අතැ'ඟිලි කඩා දමා කකුල්වල දණ හිස් දෙකද බිඳ දමා ඇතැයිද වාර්තා වේ. ආරක්ෂක අංශයටම සම්බන්ධ යම් අයෙකු  විසින් ප්‍රභාත්ගේ මළ සිරුරු පරික්ෂා කර බලා  ඔහුගේ අතැ'ඟිලි එස්ලෝන් බටයක් වැනි දෙයක් ඇතුළට ඔබා  අනෙක් පසට නවා කඩා දමා ඇති බව පැවසී යැයි පවුලේ සමීප පිරිස් ජේඩීඑස් හා ප්‍රකාශ කළහ.

අපි නැවතත් පොලිස් පරීක්ෂක කොළඹගේ ගේ ප්‍රකාශය දෙසට හැරෙමු.

ඔහුගේ ප්‍රකාශයට අනුව ප්‍රභාත් ට 2022 ඔක්තෝබර් මස 13 දින දිවා ආහරය සපයා පැමිණි වෑන් රථයේම පසුපස ආසනයේ 'විවේක ගන්නට' සලස්වා ඇත. ඒ තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේද‍, නොඑසේ නම් වෙනත් ස්ථානයක ද යන වග නොපැහැදිලි ය. කෙසේ නමුත් 'විවේකයෙන් අනතුරුව' නැවතත් ප්‍රශ්න කිරීමේදි තංගල්ල ප්‍රදේශයේම යම් ස්ථානයක පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සඟවා තිබෙන බව ඔහු හෙළි කළේයැයි කුමාරගේ පවසයි. පසුව සවස 3.30ට ඒවා සොයා ගැනීම සඳහා පිටත්ව ගිය බවද ඔහු කියා සිටියි. සවස 5.35 ට පමණ බලපිටිය - අහුංගල්ල පාරේ මුහුද දෙසට වන්නට කෑළැබද මාර්ගයක් ඔස්සේ ගොස් විශාල ගල් කුලක් අබියසට විත් සැකකරුගේ අත් විලංගු මුදා හැරි බවට ද කොළඹගේ ගේ සාක්ෂියෙන් වැඩිදුරටත් කියැවේ.

"සැකකරුට මීටර් දෙකක් පමණ පසු පසින් මම සිටියා. මට දකුණු පසින් රනුක නිලධාරියාත් වම් පසින් පො.කො. උදිත යන නිලධාරියත් රැඳී සිටියා. එම ගල ආසන්නයේ දකුණු කෙලවරට වෙන්න පො. ප. මධුර සහ පො. කො ආරියරත්න රැඳී සිටියා. එම ස්ථානයේ දි සැකකරු සිටින ගල පාමුල ගුහාවක තැනකින් සුදු පැහැති කවරයක් එළියට ගන්නවා මා බලාගෙන සිටියා. ඉන් පසුව සැකකරු එයින් ගත් ආයුධයක් වැනි අවියකින් අප දෙසට දණ ගසා සිටියදීම වෙඩි තබන්නට පටන් ගත්තා. එම වෙඩි ප්‍රහාරය සමඟම මා අත තිබු පිස්තෝලයෙන් එක උණ්ඩයක් සැකකරු සිටින ප්‍රදේශයට එල්ල කරා. සැකකරු අත තිබු අවිය බිම වැටෙනවා මම දුටුවා. සැකකරු දණ ගසා ගෙන සිටියදීම වම් පැත්තට ඇද වැටුනාට පසුව ඔහු නිසොල්මන්ව සිටියා".

එයින් පසුව තමන් ක්ෂණිකව මැදිහත්ව වෙඩි වැදී බිම වැටී සිටින සැකකරුව පො.ප. නිශ්ශංක නැමති නිලධාරියා සමඟ බලපිටිය මූලික රෝහල වෙත පිටත් කර හැරිය බවද ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කළ බවට ද හෙතෙම වැඩි දුරටත් පවසා ඇත.

එය අත්අඩංගුවේ සිටින සැකකරුවන් 'ආයුධ පෙන්නන්නට' රැගෙන ගිය පසුව ආත්මාරක්ෂාවට යැයි පවසා මරා දැමු විට ආරක්ෂක අංශ විසින් ගොතා පවසන, පොදු මහජනයා අසා පුරුදු කතාන්දරයකි. වෙනස් වෙන්නේ ස්ථානය සහ එය රඟ දක්වන නළුවන්ගේ ස්වභාවය පමණි. එහෙත් අනෙක් පොලිස් ප්‍රබන්ධවල මෙන්ම, මේ කතාවේද සිදුරු, කඩතොළු බොහෝ ය.

ප්‍රශ්න වැළක් ඉතිරි කළ පශ්චාත් මරණ පරීක්ෂණයක්

බලපිටිය මූලික රෝහලේ දී ඉන්දික ප්‍රභාත් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණේ එම රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි (වැඩ බලන) ගංගානි දිල්රුක්ෂි දංගහවත්ත විසිනි. ඇය විසින් සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මිය ගිය ප්‍රභාත්ගේ මරණය සිදුව තිබෙන්නේ මුහුණ ආසන්නයෙන් ඉදිරිපස සිට තබන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි. එහෙත් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ යම් යම් අඩුලුහුඬුතාවයන් ද දක්නට ලැබෙන බව කිව යුතුය. ඉන් ප්‍රධානතම දෙය නම් මරණකරු මිය ගිය වෙලාව ආසන්න වශයෙන් හෝ දක්වා නොමැතිකමයි.

නමුත් විශේෂයෙන්ම මෙවැනි අපරාධයකදී මියගිය වෙලාව නොසලකා හැරිය හැකි දෙයක් නොවේ. මන්ද යත් මරණකරු අත්අඩංගුවට පත් වීම, නොදන්නා හෝ නීතියෙන් පිළිනොගන්නා බාහිර ස්ථානයක රඳවාගෙන ප්‍රශ්න කිරීම, ඉන් පසුව STF කඳවුරක රැයක් පුරා තබා ගෙන සිටියා යැයි පැවසීම මෙන්ම යළි මධ්‍යාහ්නය සහ සවස් වරුව අතර කාලයේදි මරණකරු පිටතට රැගෙන යාම සහ අවසානයේ මරණය සිදුවීම ආදිය පිළිබඳව එකින් එක සැළකිලිමත්ව බැලීමේදි STF, පොලිසිය හෝ ඝාතන චෝදනාව එල්ල වී ඇති පොලිස් පරීක්ෂක කොළඹගේ විසින් පවසන කරුණු නිවැරදි ද, නොඑසේ නම් ඒවා ගොතන ලද ප්‍රබන්ධයන් ද යන වග සනාථ කර ගත හැකි වන එක් ප්‍රබල විද්‍යාත්මක සාක්ෂියක් වන්නේ මරණකරු මිය ගිය වෙලාව නිශ්චිතව හෝ ආසන්න වශයෙන් හෝ තහවුරු කර ගැනීමයි. එහෙත් ප්‍රභාත්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ එවැන්නක් සඳහන්ව නැත. එය බරපතල ඌනතාවයකි. අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ වෛද්‍යවරියගෙන් කරුණු විමසීම සඳහා ජේඩීඑස් කිහිප විටක්ම උත්සාහ දැරුවද එය සාර්ථක නොවුණි.

පො.ප. කොළඹගේ ගේ ප්‍රකාශයට අනුව ප්‍රභාත් මිය ගිය දිනයේ දහවල් 01 ට පමණ ඔහුට දිවා ආහාරය සපයා තිබේ. සඟවා තිබු ආයුධ සොයා ගැනීමට අහුංගල්ල ප්‍රදේශයට යන්නේ සවස 3.30 ට පමණය. සවස 5.35 ට පමණ එම කැලෑබද ස්ථානට ‌ගිය බවද හේ පවසයි. එම ප්‍රකාශයට අනුව මරණකරුගේ අවසන් ආහාර වේල එදින ලබා දුන් දිවා ආහාරය විය යුතුය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දි ආමාශයේ අඩංගු ආහාර සාම්පල සහ රුධිරයේ මධ්‍යසාර සාම්පල පරික්ෂා කරන ක්‍රමවේදයක් පවතින අතර එයින්ද උත්සාහ ගන්නේ ආහාර ජීර්ණයත් සමඟම මරණකරු ජීවත්ව සිටි වේලාව පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමය. මෙවැනි ඝාතන පරීක්ෂණයකදී එයද අතිශයින්ම වැදගත් මෙන්ම තීරණාත්මක සාක්ෂියක් වෙයි.

ඉහත දක්වා ඇති ආකාරයටම මිය ගිය ප්‍රභාත්ගේ බිරිඳ සහ පවුලේ සමීපතමයන්ට අනුව ඔහු ඝාතනය කිරීමට පෙර දරුණු වධහිංසාවට ලක් කර තිබේ. එය ඔවුන්ගේ මතයක් යැයි පවසා එකවැරම බැහැර කළ නොහැකිය. එසේ පවසන්නට ඔවුන්ට සාධාරණ හේතු තිබේ. ඝාතනයට පෙර ඇසූ දුටු දේ ඇසුරින් එසේ කියන්නට අයිතියක්ද ඇත. මේ සියල්ලට ම පිළිතුරු සැපයිය හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අධිකරණ වෛද්‍යවරයාට පමණි. විෂයානුබද්ධ කරුණු පිළිබඳව විශේෂඥ මතයන් නොදන්නා සාමාන්‍ය මිනිසුන් ට තමන්ගේ සමීපතමයන්ට එරෙහිව සිදුවන මෙවන් අපරාධ ගැන විවිධාකාරයේ අදහස්, තර්ක විතර්ක ඇති විය හැකිය. එය අතිශයින්ම ස්වභාවික, සරල සිදුවීමකි. එවැනී දෑ අවඥාවෙන් බැහැර කළ යුතු ඒවා නොවේ. විශේෂඥවරුන්ගේ යුතුකම එවන් දෑ දෙස සානුකම්පිතව බලා සාවධානව ඇහුම්කන් දීමයි.

මිය ගියේ වෙඩි පහරකින් වුවද ශරීරයේ පවතින අනෙකුත් තුවාල, භග්නයන් සහ ඒවා සිදුව ඇති ආකාරය විද්‍යාත්මකව පැවසීම මගින් මෙය ඝාතනයක් ද නොඑසේ නම් STF පවසානාකාරයට ආත්මාරක්ෂාවට තබන ලද වෙඩි පහරක්ද යන වග තේරුම් ගත හැකිය. මළ සිරුරක, මරණයට පෙර ඇති වූ තුවාල (Ante mortem injuries) පිළිබඳව පරික්ෂා කිරීම අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව අතිශයින්ම වැදගත් විමසුමකි. ප්‍රභාත්ගේ පවුලේ සමීපතමයන් පවසනාකාරයට ප්‍රභාත් දරුණු වධහිංසාවට ලක්කර තිබේ නම් ඝාතනයට පුර්ව චේතනාව එය විය හැකිය. එය සරලව පැවසුවහොත් වෙඩි තබා මරා දැමීමට පෙරම දරුණු ශාරිරීක වධහිංසාවන්ට ලක් කර තිබීම මගින් ගම්‍ය වන්නේ සැකකරු මරා දැමීම පිළිබඳ පුර්ව චේතනාවක් අදාළ පිරිසට තිබී ඇති බවයි. එහෙත් කවර හෝ හේතුවක් මත ඒ සියල්ල නොසලකා හැර ඇත.

මිනී මරන්න නීතිපතිගෙන් ලයිසන්

ඊළඟ වැදගත්ම කරුණ වෙඩි තැබීමට අදාලව ඉදිරිපත්ව ඇති සාක්ෂි සමාලෝචනයයි. අධිකරණ වෛද්‍ය වාර්තාව උපුටා දක්වමින් බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩී ජානක, ඔහුගේ ' මරණ පරීක්ෂණ නියෝගයේ ' මෙසේ දක්වයි.

"අධිකරණ වෛද්‍යවරියගේ සාක්ෂි අනුව පැහැදිලි වන්නේ අදාළ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහළින් ආරම්භ වී හනුක අස්ථිය, ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල, දකුණු පෙනහැල්ල සහ අක්මාව පසාරු කර ගෙන ගොස් උදර කුහරය තුළ තිබී සොයා ගත් බවයි. තවද එහි පිටවීමේ තුවාලයක් නොමැති බවටත් වෛද්‍යවරියගේ වාර්තාවට අනුව පැහැදිලි වේ. ඒ අනුව අදාළ උණ්ඩය මරණකරුගේ නාසය දෙසින් ශරිරය තුළට ඇතුළු වී පහළට ගමන් කර ඇති බව පැහැදිලිව පෙනී යයි . ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබු උණ්ඩයේ ගමන් මාර්ගය කෙරෙහි අවධානය යොමු කිරීමේදි පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදි ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට උණ්ඩය ශරීර අභ්‍යන්තරයට ගමන් කරනා ආකාරයෙන් පා. ස. 02 විසින් මරණකරුට වෙඩි තබා ඇති බවයි ".

එය ප්‍රබල හෙළිදරවු කිරීමකි. අනිවාර්යෙන්ම ඝාතකයා විසින් ප්‍රභාත්ගේ මුහුණ සමීපයේ සිට එයම ඉලක්ක කොට වෙඩි තබා තිබෙන බව පැහැදිලිය. එහෙත් එය නිරවුල්ව පැවසිය හැකි වන්නේ ගිනි අවි විශේෂඥයකුට (Ballistics Expert) පමණි. වෙඩි තබන ලද ගිනි අවිය මුහුණට කෙතරම් දුරකින් පැවතියේ ද, එහි ගමන් වේගය වැනි දෑ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක විද්‍යාත්මක සාක්ෂි වන්නේ ආත්මාරක්ෂාවට දුර සිට ක්ෂණිකව තබන ලද වෙඩි පහරක් ද, නොඑසේ නම් මරණකරුට ඉතා ආසන්නයේ සිට තබන ලද වෙඩි පහරක් ද යන වග එයින් ඔප්පු කර පෙන්විය හැකි බැවිනි.

මෙහිදි අමතක නොකළ යුතු කරුණක් වන්නේ ඝාතන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරික්ෂකවරයාගේ පුහුණු සහ සේවා ඉතිහාසය යි. ඔහුගේ කට උත්තරයේ එය මෙසේ දැක්වෙයි.

" එම පුහුණු කාලය තුළ නීතිය සම්බන්ධව, භූමී උපක්‍රම සම්බන්ධව, පොලිස් ප්‍රථමාධාර සහ සියළුම ගිනි අවි සහ බර අවි සම්බන්ධයෙන් පුහුණුව ලබා තිබෙනවා. පුහුණුව ලැබුවාට පසුව මම ප්‍රායෝගිකව වැඩ කළා".

එම ප්‍රකාශය අවධානයෙන් බලන විට තේරුම්ගත හැකි කරුණක් වන්නේ ඝාතකයා පළපුරුදු වෙඩික්කරුවකු බවය. මරණකරු දණ ගසා ගෙන හිස මදක් ඉහළට වන්නට ඔසවා ඉදිරිපස බලාගෙන සිටින විට ඇතැම් විට රිවෝලවරයා මුහුණ මත තබා හෝ ඒ ආසන්නයේ තබා ගෙන සිට වෙඩි තැබුවා විය හැකිය. උණ්ඩයේ ගමන් මාර්ගයෙන් පෙන්නුම් කරන්නේ එයයි. කවුරු ප්‍රභාත්ට වෙඩි තැබුව ද සත්‍යය එයයි.

එපමණක් ද නොව, ආත්මාරක්ෂාවට වෙඩි තැබුවේ යැයි පැවසීම අභියෝගයට ලක් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ පවසයි.

"දෙවන සාක්ෂිකරු (කොළඹගේ) මරණකරුගේ පසුපසින් ස්ථානගත වී ඇත. මරණකරු අදාළ බෑගයේ තිබු ගිනි අවිය රැගෙන වෙඩි තැබු බවටත් සඳහන් කර ඇත. මේ අවස්ථාවේදි සා.අ. 02 කොළඹගේ ආරක්ෂාව උදෙසා සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට සඳහන් කර ඇත. මෙහිදි මතුවන ගැටලුව වන්නේ සා. 2, එනම් කොළඹගේ සැකකරුගේ පිටුපසින් සිට ඔහු දෙසට වෙඩි තැබුවේ නම් මරණකරුගේ පිටුපස දෙසට තුවාල සිදුවිය යුතුය. නමුත් මරණකරුගේ ශරිරයේ පිටුපස දෙසින් තුවාල සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව පෙනී නොය යි."

මහේස්ත්‍රාත්වරයා තව දුරටත් එය පැහැදිලි කර තිබුණේ පහත ආකාරයෙනි:

"මරණකරුගේ මරණය පැ.සා 02 විසින් ඔහුගේ ආත්මාරක්ෂාව උදෙසා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් සිදුවී නොමැති බව ගම්‍යමාන වේ. ඒ අනුව මරණකරුගේ මරණය ‘චේතනාන්විතව සිදුකරන ලද වෙඩි තැබීමකින්’ සිදුව ඇති මරණයක් බවට තීරණය කළ හැකි ය. මරණකරුට වෙඩි තබා ඇති පැ.සා 02 සම්බන්ධයෙන් වහාම පරීක්ෂණක් පවත්වා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් , ඒ පිළිබඳව නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇල්පිටිය වෙත නියෝග කරමි".

බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඉන්දික ප්‍රභාත් ඝාතනය සම්බන්ධයෙන් උක්ත මරණ පරීක්ෂණ නියෝගය ලබා දී තිබුණේ 2024 ජූලි මස 09 වන දින ය. එහෙත් ඒ සියල්ල කණපිට හැරෙන්නට ගත වන්නේ කෙටි කලකි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් සිවු මසක ඇවැමෙන් එනම් නොවැම්බර් 04 දාතමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල සහ ජේෂ්ඨ අධිනීතීඥ සමදරී පියසේනගේ අත්සන් සහිතව බලපිටිය මහේත්‍රාත්වරයා සහ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ද පිටපත් සහිතව කොළඹ නීතී කොට්ඨාශයේ අධ්‍යක්ෂක වෙත ලිපියක් යොමු කොට අවධාරණය කර තිබුණේ අදාළ නීති කෘත්‍යයට අදාලව කිසිදු පුද්ගලයකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු නොකරන බවකි.

එයට හේතු ලෙස දක්වා තිබුණේ "අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු සහ සාක්ෂි අනාවරණය වී නොමැති" බවකි!

නීතිපතිට නැති බලතල

අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එයට සම්බන්ධ සැකකරු හෝ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරයෙකු නියෝග කොට තිබියදී, ඒ නියෝගය ට එරෙහිව යමින් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා ලෙසත්, විමර්ශන අවසන් කරන ලෙසත් පොලිසියට හෝ වෙන යම් පාර්ශවයකට නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැත. එය එක් පසෙකින් අධිකරණ නියෝගයක් හෑල්ලුවට ලක් කිරීමකි. අනෙක් පසින් ස්වකීය අධිකාරයේ සීමාවෙන් ඔබ්බට ගොස් අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටිමකි. විමර්ශනවල ප්‍රගතියක් නොවේ නම් නීතිපතිවරයාගේ භූමිකාව විය යුතු වන්නේ අදාළ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන කණ්ඩායමට ඒ සම්බන්ධව අවශ්‍ය උපදෙස් දෙමින් විමර්ශන ප්‍රගතිය වැඩි කිරීම මිස නඩුවක් අවසන් කිරීමට නියෝග කිරීම නොවේ.

එමෙන්ම, මහේස්‍ත්‍රාත්වරයා විසින් කර ඇති නියෝගය ගැනෙන්නේ ලඝු (Non Summary Inquiry), නොඑසේ නම් මූලික පරීක්ෂණයක් යටතට ය. නීති විශාරදයන්ගේ මතය වන්නේ එවන් නඩු කටයුත්තකට මැදිහත් වන්නට නීතිපතිවරයාට නීතියෙන් ඉඩක් සලසා නොමැති බවකි. එසේ නම් මතුවන ප්‍රශ්නය වන්නේ ඉන්දික ප්‍රභාත් ඝාතනය චේතනාන්විතව සිදුකර ඇති එකක් බවට මහේස්ත්‍රාත්වරයා විසින් පැහැදිලිවම ප්‍රකාශ කොට තිබියදීත් එය අභිබවා කටයුතු කරන්නට නීතිපතිවරයාට ඇති නෛතික බලය කුමක්ද යන්නය.

නීතිපතිවරයාගේ අදාළ නියෝගය පිළිබඳව අගතියට පත් පාර්ශවයේ ප්‍රධාන නීතිඥවරයා ලෙස කටයුතු කරන අනුර මැද්දේගොඩ ගෙන් අපි විමසා බැලීමු. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති උපදේශක වරයකු මෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩ බලන සභාපතිවරයා ද වන ඔහු පවසන්නේ නීතිපතිවරයා ස්වකීය බල සීමාව අතික්‍රමණය කර ඇති බවය.

"යුක්තිය පසිඳලීමට සහාය වීම නීතිපතිවරයාගේ මූලික වගකීමක්. මහේස්ත්‍රාත් තුමා විසින් ප්‍රකාශ කරන්නේ අධිකරණයේ නියෝගය. අධිකරණ නියෝගයක් පිළිපදින්න එපා කියලා කියනවා නම් නීතිපතිවරයා කරන්නේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝණය කිරීමක්. ඇත්තෙන්ම මහේස්ත්‍රාත්තුමා ඉන්නේ එතුමා විසින් දුන්න නියෝගය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මතයේ. ඒ කියන්නේ මේ ඝාතනයට වග කියන්න ඔන කොළඹගේ කියන නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුයි කියන ස්ථාවරයේ. සියළු කරුණු නිසියාකාරව සලකා බලලා තමයි එතුමා ඒ නියෝගය දීලා තියෙන්නේ," යි හේ ජේඩීඑස් හා පැවසීය.

අධිකරණය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබියදීත් පොලීසිය තවමත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් නොකර සිටින්නේ මන්දැයි අපි ඔහුගෙන් විමසීමු.

"ඇත්තෙන්ම ඒක විශාල වරදක්. STF එක සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක කරන්නේ වෙනම නීතියක්. එහෙම වුණාම කොහොමද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ?" යැයි නීතිඥ මැද්දේගොඩ දැඩිව අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ නාමල් රාජපක්ෂ පවසන්නේ අපරාධ නඩුවක සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයකු විසින් නියෝග කොට තිබියදි නීතිපතිවරයා එයට මැදිහත්ව එම අපරාධකරුට එ‌රෙහිව නඩු නොපවරන බව ප්‍රකාශ කිරීම දේශපාලන මැදිහත්වීම් හඟවන අනීතික ක්‍රියාවක් බව ය.

"මේක අහම්බෙන් වුණු දෙයක් නෙමෙයි. විශේෂ කාර්ය බලකායට විරුද්ධව පවරලා තියෙන මූලික අයිතිවාසිකම් සහ අපරාධ නඩු ඉදිරියට පවත්වාගෙන යන්න එපායැයි නීතිපතිවරයාට දැනුම් දීමක් කරන්න කියලා පහුගිය දවසක STF ප්‍රධානී වරුණ ජයසුන්දර, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබුණු බව මාධ්‍ය වාර්තා කළා. ඊට කලින් වරුණ ජයසුන්දරයි, හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලසුයි ගිහින් නීතිපතිවරයාව මුණ ගැහිලා ඒ ඉල්ලීම ම කරලා තිබුණා. මේ කිසිම දෙයක් බොරු බව නීතිපති දෙපාර්තමේන්තුවවත්, පොලිසියවත්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වත් මේ දක්වා කියලා නෑ. විශේෂ කාර්ය බලකාය කියන්නේ ඒ ගොල්ලන්ට මානව හිමිකම් සහ අපරාධ නඩු දාපුවාම පාතාලය මර්දනය කරන්න බෑ, නිලධාරින් මෙහෙයුම් කරන්න කැමති නෑ කියලායි. ඒ දේශපාලන මැදිහත් වීම් නිසා තමයි නීතිපතිවරයා පොලිස් නීති කොට්ඨාශයට දැනුම් දෙන්න ඇත්තේ ප්‍රභාත් ඝාතනය ගැනත් පරීක්ෂණ පවත්වන්න එපා කියලා. නීතිපතිවරයා මිනී මරන්න ආරක්ෂක අංශවලට ලයිසන් දෙනවා වගේ වැඩක් මේක"යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

නමුත් මේ සියල්ල අතරේ පසුගිය දෙසැම්බර් 10වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා නඩුව යළිත් කැඳවනු ලැබුවේ නීතිපතිවරයාගේ එකී තීරණය අභියෝගයට ලක් කරමින් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා විසින් එයට පෙර අධිකරණය හමුවේ කර තිබු කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව නඩුවේ විමර්ශන නතර කිරීමට නීතිපතිවරයා විසින් පොලිස් නීති කොට්ඨාශයට නියෝග කරනු ලැබුවේ කවර හේතුවක් මත දැයි අධිකරණය හමුවේ පැහැදිලි කර ගැනීමට එහිදී අපේක්ෂා කෙරුණි. නමුත් නීතිපතිවරයා නියෝජනය කරමින් , නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ස්වකීය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ 'තමන්ට නීතිපතිවරයා සමඟ ආරවුල් ඇති කරගන්නට නොහැකි බැවින් වින්දිත පාර්ශවයට අවශ්‍ය නම් ඉහළ අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට නඩුව ඉදිරියට ගෙන යාමට හැකි බව'ය. එය පුදුම සහගත ප්‍රකාශයකි. නීතිපති හෝ ඔහුගේ නියෝජිතයන් තමන් සමඟ උරණ වේ යැයි බියෙන් මහේස්ත්‍රාත්වරුන් තීන්දු දෙන්නට පෙළඹෙන්නේ නම් නීතියේ ආධිපත්‍යයට කුමක් සිදුවන ඇත්ද?

ස්වකීය මිතුරන් හෝ බැඳියාවන් සහිත අය හෝ තමන්ට ඉහළ නිලයන් සමඟ හෝ වෘත්තීමය ගැටුමක් ඇති වේ යැයි බියක් මහේස්ත්‍රාත්වරයාට ඇති වේ නම් කළ යුතුව තිබුණේ අදාළ නඩුවෙන් ඔහු ඉවත් වීම මිස තම පුද්ගලික හේතු කාරණා මත නඩුවට අදාළව තීන්දු ලබා දීම නොවේ. මෙයින් මාස කිහිපයකට පෙරාතුව එම මහේස්ත්‍රාත්වරයාම ඉතා පැහැදිලිව පවසා තිබුණේ ඉන්දික ප්‍රභාත් මරණය 'චේතනාන්විත ඝාතනයක්' බව පෙනීයන බවයි.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසීමේදි ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුළදි අනිවාර්යයෙන්ම ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවකි.

බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක විසින් ම පසුගිය ජූලි 09 දින ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබුණේ අදාළ වෙඩි තැබීම ආත්මාරක්ෂාව වෙනුවෙන් තබන ලද වෙඩි ප්‍රහාරයක් නොවන බැවින් සැකකාර පොලිස් පරීක්ෂක පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපක් කිරීමට කටයුතු යොදන ලෙස ය. එය එසේ නොවන විට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට සිදුවුයේ ජූලි 16 වැනි දින මෝසමක් මගින් අධිකරණය හමුවට කරුණු දක්වා එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ වගට කරුණු කියා පෑමට ය. යම් හෙයකින් පසුව සිදුකරන විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද අදාළ අපරාධයට වගකිව යුතු බව හැඟී ගියහොත් ඔහු සම්බන්ධයෙන් කටයුතු කරන්නට ද කිසිදු බාධාවක් නැතැයි මහේස්ත්‍රාත්වරයා ඔහුගේ තීන්දුවේ පැහැදිලිව දක්වා තිබේ. තත්ත්වය එසේ තිබියදීම නඩුව අහවර කිරීමට එම මහේස්ත්‍රාත්වරයාම තීන්දු කිරීම මගින් පෙන්වන්නේ "නීතියට ඉහළින් කිසිවකුත් නැතැයි පැවසුව ද, නීතියට ඉහළින් බොහෝ බලගතු අදිසි හස්තයන් ක්‍රියාත්මක වන වග නොවේද?"

නඩුව අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 12 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරණය කර ඇත්තේ ඉන්දික ප්‍රභාත්ගේ මරණය සිදුවූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ආත්මාරක්ෂාව උදෙසා තබන ලද වෙඩි ප්‍රහාරයකින් බව ය. පුදුමය නම් යම් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර අවසන් වූ වහාම අපරාධ චූදිත නිලධාරින් වෙනුවෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට පොලිසිය කටයුතු කර තිබීමය. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව වසා දැමු පළියට එයින්ම සියල්ල අවසන් වන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් අභියාචනා කිරීමේ අයිතිය ඕනෑම පාර්ශවයකට හිමි ය. ඒ අනුව, ඉහළ අධිකරණයක් හමුවේ නඩුව යළි කැඳවනු ලැබුවහොත් එයට පෙර සැකකාර පොලිස් නිලධාරින් ආරක්ෂා කොට අපරාධය යුක්ති සහගත කරමින් මේ ආකාරයෙන් නිවේදන නිකුත් කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ අතුල් පහරක් නොවන්නේද?

සැලසුම් සහගත ඝාතනයක්

ඉන්දික ප්‍රභාත් ඝාතනය පිළිබඳව අධිකරණය හමුවේ ප්‍රධාන සැකකරු බවට චෝදනා ලැබ සිටියේ පො. ප. කොළඹගේ බව සැබෑවකි. ඒ ඔහු විසින් ලබා දී තිබෙන ප්‍රකාශය අනුවය. නමුත් මෙම ඝාතනය ඔහු විසින්ම සිදු කරන ලද්දක් ද, නොඑසේ නම් ඔහුට ඉහළ නිලයක් දරන පුද්ගලයෙකුගේ සෘජු මැදිහත්වීම හෝ අණ දීම මත හෝ සිදුකරන ලද්දක් ද යන වග පුලුල්ව සොයා බැලිය යුතුව තිබේ. ප්‍රභාත් ඝාතනයට පැය කිහිපයකට පෙර විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි වරුණ ජයසුන්දරට විදෙස් රටක වසන යම් විශේෂිත පුද්ගලයෙකු විසින් ව රහසිගත දුරකථන ඇමතුමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ. එහි සත්‍ය අසත්‍යතාවය දුරකථන කුළුණු වාර්තා සහ ඇමතුම් විස්තර පරික්ෂා කිරීමෙන් සනාථ කර ගත හැකි බව එය හෙළිදරවු කළ පුද්ගලයා ජේඩීඑස් හා කීය (ආරක්ෂක හේතු මත ඔහුගේ නම මේ මොහොතෙදී හෙළි කිරීමෙන් වැළකී සිටීමට අපට සිදු වේ). ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එයාකාරයෙන් ගත් කළ ඉන්දික ප්‍රභාත් ඝාතනය සැලසුම් සහගතව සිදුකර ඇති එකක් ලෙස සිතන්නට හැකි සාක්ෂි ගණනාවක් පවතින බවයි. ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගැනීමට පැමිණි කණ්ඩායමේ සිටි සෙසු අයවළුන් සම්බන්ධයෙන් ද පුළුල්ව විමර්ශනය කළ යතුවු ඇතැයි ද හෙතෙම පවසයි.

“ප්‍රභාත් ඝාතනයට සම්බන්ධ පිරිස අතරේ ඉන්න පො.ප. මධුර ප්‍රනාන්දු කියන පුද්ගලයා මේ වන විටත් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ඒකට හේතුව තමයි ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙක්ව මරන්න යද්දි CID යට අහුවෙලා. ඒත් පොලීසිය මෙතන හංඟන දෙයක් තියෙනවා. ඒක තමයි පො. ප. මධුර ප්‍රනාන්දු ඒ ඝාතනය කරන්න අරන් ගිහින් තියෙන ගිනි අවිය ක්ලබ් වසන්ත මරන්න භාවිතා කළ එක කියලා දැනට තහවුරු වෙලා තිබීම. මේ ඝාතන පිටුපස ඉන්නේ කවුද කියන ප්‍රශ්නය ඒකෙන් බරපතලව මතුවෙනවා."

ප්‍රභාත් ඝාතනයට පැමිණි පිරිස ඔහුව නිවසේ සිරකර ගෙන සිටියදී යම් අයෙකුට ඔහුගේ ඡායාරූපයක් යැවීමෙන්ම ඒ සැකය තහවුරු වන්නේ යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රභාත් මරා දැමීම , ආයුධ පෙන්වීමට රැගෙන යාමේදි ආත්මාරක්ෂාවට තබන ලද වෙඩි ප්‍රහාරයකින් සිදුවූවක් බවට පවසා යටපත් කරන්නට විශේෂ කාර්ය බලකාය, පොලිසීය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද දිගින් දිගටම දැඩි උත්සාහයක් ගනු ලැබුවද එය ව්‍යවර්ථ වී ගියේ ප්‍රභාත්ගේ බිරිඳ විසින් අධිකරණය හමුවේ දී ඇති බලවත් සාක්ෂි නිසා ය.

නමුත්, මෙය අපරාධ නඩුවක් ලෙස තව දුරටත් ඉදිරියට නොයවන්නට නම් ඇය නිහඬ කළ යුතුව ඇතැයි ඝාතකයන් තේරුම් ගත් බවක් පෙනී යන්නේ ඉන්පසුව වූ සිදුවීම් මාලාවක් හේතුවෙනි. ඒ අනුව පළමුවෙන් ඇයට දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කරනු ලැබුණි . දැනට හෙළිදරවු වී ඇති ආකාරයට ඒ සියළු දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ පිරිස් සහ විශේෂ කාර්ය බලකායේ බුද්ධි එකකයේ පිරිස් විසිනි. ඇය මරා දමන්නට තුවක්කුකරුවකු එවා තිබුණේ තර්ජනාත්මක දුරකථන ඇමතුම් අපේක්ෂිත ප්‍රතිඵල ගෙන නොදුන් නිසා විය යුතු ය. අහුංගල්ල පොලිසියෙන් කරන ලද දැනුම් දීමකට අනුව 2022 නොවැම්බර් 03 දා එහි ගොස් පිටතට පැමිණිමේ දි නාඳුනන තුවක්කුකරුවකුගේ ඉලක්කය බවට පත් වී තිබුණ ද අසළ තිබූ අවමංගල ආයතනයක් තුළට ක්ෂණිකව වැදී ජීවිතය බේරා ගන්නට ඇය සමත් වී ඇත.

"මම අහුංගල්ල පොලිසියේ ඉඳලා එළියට එන කොට මට වෙඩි තියන්න හැදුවත් තුවක්කුව පත්තු වුණේ නෑ. මම දුවලා ගිහින් මල් ශාලාවක මිනි පෙට්ටියක් අස්සේ හැංඟුනා. මම දැක්කා ඒ පුද්ගලයා තුවක්කුව ස්කූල් බෑග් එකක දාගෙන මාව හොයනවා. මම ඇතුලේ ඉඳලම පොලිසියට කතා කරලා සිද්ධිය කිවුවත් පොලිසියෙන් මට කිවුවේ ' අපිට එවන්න කෙනෙක් නෑ, මිස් පරෙස්සමින් යන්න. අපි මෙහේ ඉඳන් බලාගෙන ඉන්නම් ' කියලායි. පස්සේ මල් ශාලාවේ පිටු පස දොරකින් එළියට පැනලා මම වැඩ කරන බැංකුවට දුවලා ගිහින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කතා කරලා සිද්ධිය කිවුවම ඔහු මට කිවුවා ‘ මිස් බය නැතුව ඔතනම ඉන්න මම පොලිසියට කතා කරන්නම්’ කියලා. සෑහෙන වෙලාවකට පස්සේ පොලිසියෙන් ඇවිත් සැක කවුරු හරි ඉන්නවද බැලුවා. ඒ ගොල්ලෝ සීසීටීවී බලලා කිවුවේ එහෙම සැක කිසිම දෙයක් පෙන්න නෑ, කාවවත් හඳුනා ගන්න නෑ කියලායි ".

පොලිස් ස්ථානයක් පේනෙන මානයේ මහ දවල් ජනාකීර්ණ නගරයක ගිනි අවියක් අතින් ගෙන නිදහසේ සැරිසරන්නට යමකුට හැකි නම් ඒ යම් බලසම්පන්න හස්තයක අනුහස සහිත අයෙක් විය යුතුම ය.

ඝාතකයන් රකින්නට රහස් පොලිසියෙන් මෙහෙයුමක්

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මූලික සාක්ෂි විමසීමේ දි ප්‍රභාත්ගේ බිරිඳ, පියුමි වත්සලා විසින් සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ සිය සැමියා බලහත්කාරයෙන් රැගෙන යන්නට පැමිණි පිරිස අතර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජේ.නි. පොලිස්පති වරුණ ජයසුන්දර සිටි බවට හඳුනා ගත් බවයි. ඒ අවස්ථාවේ දි එම පුද්ගලයා වරුණ ජයසුන්දර යැයි නොදැන සිටියද පසුව මාධ්‍යයෙන් සහ විවිධ පාර්ශවයන් වෙතින් ලද තොරතුරු, ඡායාරූප ආදියෙන් තමන් ඔහුව හඳුනා ගත් බවටත් ඈ විසින් සාක්ෂි ලබා දී තිබුණ අතර ඇගේ එම සාක්ෂියෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් මත එහි යන ඇයට ඔවුන් විසින් පවසා ඇත්තේ වරුණ ජයසුන්දර එහි සිටි බවට කරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසට ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ එවකට සිටි ස්ථානාධිපති පො. පරික්ෂක සුගත් කුමාර, එහිදී 'තමන් පවසන ආකාරයට කටයුතු නොකරන්නේ නම් කරදර සිදුවීමට ඉඩ ඇතැ’යි අනතුරු හැඟවීමක්ද සිදුකර තිබේ.


"CID යේදි මට කිවුවේ වරුණ ජයසුන්දර නෙමෙයි, ඒ වගේ කෙනෙක් හිටියා කියලා සාක්ෂිය වෙනස් කරන්න කියලයි. මම අවධාරණය කළා මම කිවුවේ ඇත්ත කියලා. සාක්ෂිය වෙනස් කරන්න බැරි නම් කරදර වෙයි කියලා මට තර්ජනය කෙරුවා. බැරිම තැන මම කිවුවා ඔයගොල්ලන්ට පුලුවන් දෙයක් කරන්න, උසාවියේ මම කිවුවේ මම දැක්ක දේ. ඒක තමයි ඇත්ත. ඒක වෙනස් කරන්න මට බෑ කියලා".

වත්සලා එසේ පවසා තිබුණද CID ය ස්වකීය සගයා බේරා ගන්නට වත්සලා අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය අත්අඩංගුවට ගැනීමේ ලදුපතේ සඳහන් ව ඇති ආකාරයට අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ බොරු සාක්ෂි ලබාදීමය. දණ්ඩ නීති සංඟ්‍රහයේ 188/190 යන වගන්ති ප්‍රකාරව ඇයව අත්අඩංගුවට ගන්නා බවද දක්වා තිබේ. අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව යමෙක් ලබා දුන්නේ ව්‍යාජ සාක්ෂියක් යැයි ඔප්පු වුව හොත් ඒ පිළිබඳව සාක්ෂි පනත ප්‍රකාරව කටයුතු කිරීමේ අයිතිය සහ වගකීම ඇත්තේ අධිකරණය සතුව මිස, පොලිසියට නොවේ.

වඩාත් බිය උපදවන සත්‍ය නම් වසර දෙකක ඇවැමෙන් යළිත් මේ පිළිබඳව විමර්ශන සිදු කරන බව පවසා එකී විමර්ශන කටයුතු රහස් පොලිසිය වෙතටම පැවරීමට කටයුතු කර තිබීමය. එවිට ඒ සඳහා ද උපදෙස් දෙනු ඇත්තේ ද නීතිපතිවරයා විසිනි. මෙයට පෙර අපරාධයක් සිදුව නැතැයි පැවසු නීතිපතිවරයා සහ අපරාධකරුවන් සඟවන්නට වෙර දැරු රහස් පොලිසිය එක පිළකට විත් සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලය කුමක් විය හැකිද?

වින්දිතයන් නොරකින වින්දියන් ආරක්ෂා කිරීමේ අධිකාරිය

අපරාධ වින්දිතයකුට අධිකරණය හැරුණු විට ස්වකීය ආරක්ෂාව සහතික කර ගනු වස් පැමිණිලි කිරීමට ඇති ආයතනය වන්නේ ' අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය (National Authority for the Protection of Victims of Crime and Witnesses - NAPVCW) යි.

අපරාධයක ගොදුරක් බවට පත්වූවකු , සාක්ෂිකරුවකු ආදී කවර හෝ තැනැත්තකු හෝ තැනැත්තියකගේ තරාතිරම නොතකා නීතියේ විධානයන්ට යටත්ව ඔහු හෝ ඇය ආරක්ෂා කිරීමට මෙම ආයතනය බැඳී සිටියි. අපරාධ නඩුවක වින්දිතයකු වේවා, සාක්ෂිකරුවකු වේවා ඉන් පිටස්තරව යම් පාර්ශවයක් සමඟ ඇති වන ගැටුමක් හෝ වාද විවාදයක් නොඑසේ නම් එදිරිවාදිකමක් හේතුවෙන් අදාළ වින්දිතයා හෝ වින්දිත තැනැත්තිය ආරක්ෂා කිරීමේ කාර්යය නොතකා හැරීමට හේතුවක් ලෙස සැළකිය නොහැකිය.

අධිකාරිය පළමු අවස්ථාවේදි වත්සලාගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ ඇය වරුණ ජයසුන්දර ට එරෙහිව ‘ව්‍යාජ සාක්ෂියක්’ සැපයීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි පවසමිනි. වින්දියන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ කාර්ය විය යුත්තේ යමෙක් අධිකරණයක ලබා දුන් සාක්ෂියක සත්‍ය අසත්‍යයතාවය පිළිබඳව විමර්ශනය කිරීම හෝ එහි හොඳ නරක ඇගයීම නොව, අධිකරණ නියෝගයට අවනතව වින්දිතයා ආරක්ෂා කිරීම ය. ජේඩීඑස් වෙත වාර්තාවන ආකාරයට, වත්සලාට පමණක් නොව ඇගේ නීතිඥවරුන්ට ද බොහෝ වාර ගණනක් අධිකාරියේ සභාපති වන හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ සෙසු නිලයන් සමඟ තර්ක විතර්ක කරන්නට, ' වාචිකව පැටලෙන්නට ' සිදුව තිබුණේ අධිකාරියේ මේ නොහික්මුණු අධිකාරිවාදී, අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙත නිසා ය.

වත්සලා විසින් පසුගිය 21 දා අධිකාරියේ සභාපතිවරයා අමතමින් නොවැම්බර් 22 දින අ.ප. දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට කර ඇති දැනුම් දීම මත එහි යෑමට ආරක්ෂාව සලසන ලෙස දිගින් දිගටම ඉල්ලා තිබුණද, ඒ වන විටත් ඇයට හෝ අධිකරණයට නොදන්වා ඈ වෙනුවෙන් සපයන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර දමා තිබීම අධිකාරිය ක්‍රියාකර තිබුණි.

ටිරාන් අලස්ගෙන් මානව හිමිකම් කොමිසමට තහංචි

තම සැමියා නීති විරෝධී ලෙස පැහැර ගෙන ගොස් දරුණු වධහිංසාවට පමුණුවා මරා දැමීම පිළිබඳවත්, එකී කාල සීමාව තුළ සහ ඊට පසුව තමන්ට ද විවිධාකාරයේ තාඩන පීඩන , මරණ තර්ජන එල්ල වීම පිළිබඳවත් පියුමි වත්සලා විසින් නීතිඥ උපදෙස් ප්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත එක් වරක් නොව, තෙවරක්ම HRC/ MT/ 442/ 22 N , HRC/MT/Sumotu/ 04/22/N සහ HRC/MO/5202/22 දරණ අංක යටතේ ලිඛිතව පැමිණිලි කොට තිබුණි. එහෙත් ඒ එකදු පැමිණිල්ලකට අදාළව හෝ නිසි විමර්ශනයක් සිදුව නොමැත.

මේ සම්බන්ධව සිදු කළ සොයා බැලීම්වලදි මානව හිමිකම් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අපට දැන ගන්නට ලැබුණේ හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා වු ටිරාන් අලස් මානව හිමිකම් කොමිසමේ ඉහළ නිලධාරින් අමතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරන ලෙසට නියෝග කර තිබූ බව ය. ආරක්ෂක ඇමති ධූරය දරන කාලයේ, 'පොලිසියට තුවක්කු දී තිබෙන්නේ හුරතල් කරන්නට නොවන බව' කියා සිටි අයකු එසේ ක්‍රියාකිරීම පුදුමයක් නොවේ.

පියුමි වත්සලා පවසන්නේ තමන් විසින් කොමිසම හමුවේ ගොනු කරන ලද එකදු පැමිණිල්ලකට අදාළව හෝ අද වනතුරු විමර්ශනයක් තබා කිසිදු කැඳවීමක් හෝ නොවුණු බව ය.

මංකොල්ලකරුවෝ

ප්‍රභාත්ගේ නිවසට කඩා වැදුනු විශේෂ කාර්ය බලකා කණ්ඩායම විටෙක කුලී ඝාතකයන් ලෙසත්, තවත් විටෙක ලිංගික අපරාධකරුවන් ලෙසත් හැසිර තිබෙන අතර මරා දැමුණු ප්‍රභාත්ගේ රන් මාලයක්, වත්සලාගේ රන් ආභරණ, දුරකථන දුරස්ථ සන්නිවේදන උපකරණ (Bluetooth set) හා සපත්තු පමණක් නොව, නිවසේ සුරතල් බල්ලා කර බඳින දම්වැල ඇතුළු වටිනා යැයි සිතෙන අතට අසුවන සියළු දෑ රැගෙන ගොස් තිබේ. නමුත් එසේ රැගෙන ගිය කිසිවක් නඩු භාණ්ඩ ලෙස ලේඛන ගත කර නොමැත. ප්‍රභාත් රැගෙන යන විට STF භාරයට ගෙන ඇති ඔහුගේ ජංගම දුරකථන දෙකද මේ වන විටත් පවතින්නේ අස්ථානගතව ය. ප්‍රභාත්ගේ ජංගම දුරකථනය වනාහී මෙම නඩුවට වැදගත් සාක්ෂි රැසක් සපයන්නකි. එනිසාම එය විනාශ කිරීමට හෝ සඟවා දැමීමට ඝාතකයන් මදක් හෝ පසුබට නොවන බව අවිවාදිත ය.

පාරදෘෂ්‍යභාවය ආරක්ෂා කරමින් සාධාරණ නඩු විභාගයක් ඉදිරියේදී පැවතුණහොත් අධිකරණය හමුවේ බොහෝ දේ හෙළිදරවු වනු ඇත. ඝාතනයේ මහ මොලකරු කවුද? ප්‍රභාත් මරා දමුවේ කුමන අරමුණක් වෙනුවෙන් ද? එයට සම්බන්ධ සෙසු නිලධාරීහු කවරහුද යනාදී සියල්ල එමගින් අනාවරණය වන්නට ඉඩ තිබේ. විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමුණු සැමියා හෝ වෛද්‍ය වාර්තාවන්ට අනුව මානසික කම්පන තත්ත්වය හේතු කොට ගෙන කුසේම මිය ගිය දරුවා හෝ පියුමි වත්සලාට යළි නොලැබෙන බව සත්‍යයකි. නමුත් ඒ සියල්ල වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි රටක 'නීත්‍යානුකූල අපරාධ" වනාහී පොලිසිය, අධිකරණය, දේශපාලන බලාධිකාරීන්, මානව හිමිකම් ආයතන, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සංස්ථාපිත ආයතන පද්ධතිය තුළ විධිමත්ව සිදුකෙරෙන 'කුමන්ත්‍රණකාරී ශ්‍රම විභජනයක ප්‍රතිඵල ය. ඒ අනුව, ගිනි අවිය ක්‍රියාත්මක කරන්නන්ගේ සිට සිදුවීම් වාර්තාකරන මාධ්‍යකරුවන් දක්වා සියල්ලෝ අඩු වැඩි වශයෙන් එකී සාපරාධී ක්‍රියාවලියට වගඋත්තරදායක වන දැනුවත් හවුල්කරුවෝ වෙති. මෙම අපරාධයට සම්බන්ධ විශේෂ කාර්ය බලකායේ පිරිස් ගැන හෙළිදරවු කිරීමෙන් නොනැවතී ඒ වටා සිටින සියළු ආයතන සහ පුද්ගලයන් පිළිබඳවත් කරුණු ගෙන හැර පාන්නට අපට සිදුව ඇත්තේ ඒ නිසා ය.

වංචා, දුෂණ සහ මුල්‍ය අක්‍රමිකතා ආදිය පිළිබඳවත්, නව ආණ්ඩුකරණ සංස්කෘතියක් පිළිබඳව පැතිර පැවති මහජන අපේක්ෂා මත බලයට පැමිණි නව පාලන තන්ත්‍රයද ඔවුන්ගේ දේශපාලන හා රජ්‍ය පාලන න්‍යාය පත්‍ර තුළ මෙවන් රාජ්‍ය අපරාධකරුවන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන සළකුණු කිසිවක් පෙනෙන්නට නැත.

‘රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැතැ,’ යි ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් අමතා කියා තිබුනේ ප්‍රභාත්ට, වත්සලාට හා ඇගේ මවට එරෙහි සිදු වූ අපරාධය සම්බන්ධයෙන් පියවර නොගන්නා බව ප්‍රකාශ වුණු උසාවි තීන්දුවේ තීන්ත වේලෙන්නටත් පෙර ය.

සන්නද්ධ හමුදාවන් ප්‍රමුඛ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද සහාසික අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් රාජ්‍ය අපරාධ ලෙස සළකා ඊට එරෙහිව නීතිය බල ගන්වන අයුරක් පිළිබඳව සේයාවක් හෝ දැනුදු අප ඇස් ඉදිරියේ නැත.

වංචා සහ දූෂණ සේ නොසැළකෙන බිහිසුණු රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය වගඋත්තරදායකත්වය විමර්ශනය කෙරෙන විධිමත් සාධාරණ නෛතික ක්‍රියාමාර්ග අභිනව ආණ්ඩුව විසින් හෝ ගනු ලබනු ඇතැයි විශ්වාස කළ හැකි කිසිදු පෙරනිමිත්තක් නොමැතිවීම විසින් පෙන්නුම් කරන්නේ මතුපිට සිදුවන ආණ්ඩු වෙනසකට එහා යන ශිෂ්ඨාචාරමය වෙනසකට ශ්‍රී ලංකාව තවමත් දුර බවද?☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.