JDS Sinhala

ඉන්දික ප්‍රභාත් ඝාතනය: "අපි සැකකරුට පසුපස ආසනයේ විවේක ගන්න සැළැස්සුවා"

'ලෝකයේ බිහිසුණුම අපරාධ සිදුකොට ඇත්තේ ස්ථාපිත නීති පද්ධතීන්ට එරෙහි කැරලිකාරීත්වයේ නාමයෙන් නොව, නීත්‍යානුකූලභාවයේ නාමයෙනැ'යි කියමනක් තිබේ. ශ්‍රී ලංකාවේ ඉක්ම ගිය දශක 6-7ක ඉතිහාසය ඊට කදිමට දෙස් දෙන මිනිස් දඩයම් බිමකි. '‍නීතිය රකින්නන්'‍ විසින් සමූහ වශයෙන් මෙන්ම, කේවල වශයෙන්ද සිදුකරන ලද සාහසික අපරාධ ක්‍රියාවන්ගෙන් ඒ ඉතිහාස කතාවේ මකාලිය නොහැකි ලේ බත් පරිච්ඡේදයන් එකින් එක ලියැවී තිබේ. 

මේ සටහන, කලින් පැවති ආණ්ඩුව යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විසින් සිදුකරන ලැබ, අභිනව පරිපාලනය යටතේ 'නීතිපති දෙපාර්තමේන්තුව හා ගැටුම් ඇතිකර ගැනීමෙන් වැළකී සිටීමේ නාමයෙන්' යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අතරමග නවතා දමා ඇති අපරාධයක් පිළිබඳව ය.

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, බෙලිදෙණියේ ඉන්දික ප්‍රභාත්ගේ අනීතික ඝාතනය වනාහී ඒ අනන්ත අපරාධවලින් අංශු මාත්‍රයකි.  

කිත්සිරි විජේසිංහ විසිනි.


ම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ආයුධ පෙන්වීමට රැගෙන ගොස් 'ආත්මාරක්ෂාව උදෙසා' මරා දැමීමේ සුපුරුදු  පොලිස් නාටකයේ එක් ගොදුරක්  වූ  බෙලිදෙණිය, කෝට්ටේගොඩ ඉන්දික ප්‍රභාත්  ඝාතනය පිළිබඳ බොහෝ කතා මේ දක්වාත් ඇසෙමින්, ලියැවෙමින් තිබේ. ඉන් බොහෝමයක් දෑ ලියැවෙන්නේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සෙබළුන් වෙනුවෙනි. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් ලෙස හුවා දැක්වීම වෙනුවෙනි. 

ඉන්දික ප්‍රභාත් අනීතිකව රැගෙන ගොස් පැය කිහිපයක් තුළ මරා දැමීම පිළිබඳව බලපිටිය මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ පැවති අංක AR/2049/22 දරණ මූලික සාක්ෂි විභාගයේදී මහේස්ත්‍රාත් ආර්.ඩී ජානක පවසා තිබුණේ මරණකරුගේ මරණය "ආත්මාරක්ෂාව වෙනුවෙන් තබන ලද වෙඩි ප්‍රහාරයක් නොව, චේතනාන්විතව සිදුකරන ලද්දක්” බවයි. එහෙත් එකී ප්‍රකාශය සිදුකළ මහේස්ත්‍රාත්වරයාම  පසුගිය 10 දා  තමන්ගේම නියෝගය ආපස්සට හරවන ලද්දේ තමන්ට "නීතිපති සමඟ ගැටුම් ඇති කර ගත නොහැකි"  යැයි පවසමිනි. එපමණක් නොව, අගතියට පත් පාර්ශවය  තම නියෝගයෙන් අතෘප්තියට පත් වන්නේ නම්  ඉහළ අධිකරණයක්  හමුවට යා හැකි බවද හෙතම  පවසා තිබුණි. එය කෙතරම් ගැටළු සහගත ප්‍රකාශයක් ද යන ප්‍රශ්නය නීති ක්ෂේත්‍රය තුළ  සංවාදයට බඳුන් විය යුතු ය.

සැකකාර පාර්ශවය වේවා, පැමිණිලිකරුවන් වේවා යම්  නඩුවක තීන්දුවක් සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන්නේ පහළ අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ පසුව මිස මහේස්ත්‍රාත්වරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරවුල්, ගැටුම් සංසිඳවා ලීමේ පාර්ශවකරුවකු වීම සඳහා නොවේ. නීතිපති සමඟ ගැටුමක් ඇති වේ යැයි විනිසුරුට බියක් දැනේ නම් ඔහුගේ කාර්යය විය යුත්තේ එකී නඩුව විමසීමෙන් ඉවත් වීම ය (මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතුවලට අනිසි මැදිහත් වීමක් කරන්නට නීතිපතිට බලයක් නොමැති බව වෙනම කරුණකි). ළැදියාවන් අතර ගැටුමක් මතුවන විට ඉහළ අධිකරණයේ විනිසුරුවරු පවා එම නඩුවලින් ඉවත් වෙති.  

කෙසේවුවද, මරා දැමුණු ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනය පිටුපස ඇති සමස්ත අනීතික ක්‍රියාවලියම බලපිටිය විනිසුරුගේ එකී ප්‍රකාශයෙන් මනා සේ පිළිබිඹු වන්නේ ය. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින සකල විධ ආයතන සහ පුද්ගලයන් මෙන්ම, මෙවන් ඝාතනවලදි සැකකාර ආරක්ෂක අංශ සාමාජිකයන් වීරත්වයට ඔසවා තබනා මාධ්‍ය මෙහෙයුම්කරුවෝ ද එකා වන්ව පෙළ ගැසී සිටිති. 

මරා දැමුණු ඉන්දික ප්‍රභාත්ට සේම ඔහු වෙනුවෙන් ජීවිතය පරදුවට තබා  අරගලයක නිරතව සිටින ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ වින්දිතයන් ලක්ව ඇති අයුක්තිය පිළිබඳව අපි ඔවුන් හා කතා කළෙමු.

"උඹට අද ගහනවා!" 

ඒ මෙයින් දෙවසරකට ඉහතදී එනම්, 2022 ඔක්තෝබර් 13 වැනි දිනට ආසන්න දවසක රාත්‍රියේ STF පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් සමරතුංග කොළඹගේ නිලධාරියාගේ  රිවෝල්වරයේ උණ්ඩයකින්  මරා දැමු,  මහේෂ් ඉන්දික ප්‍රභාත් "අත්අඩංගුවට" ගෙන නිවසින් පිටතට රැගෙන යාමට  පෙර  පොලිස් කොමාන්ඩෝ සෙබළුන්  විසින් කර තිබූ  තර්ජනයකි. 

2022 ඔක්තෝබර්  මාසයේ 12 දින මධ්‍යාහ්නයේ  අහුංගල්ල රියූ (Hotel Riu Sri Lanka)  සංචාරක හෝටලය ඉදිරිපස මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදුවී ඇති අතර එයින් පැය කිහිපයක් ගෙවී යාමට මත්තෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් බෙලිදෙණිය, කෝට්ටේගොඩ ප්‍රදේශයට පැමිණ තිබුණේ  ඉන්දික ප්‍රභාත්ගේ නිවස සොයා ගෙන ය. රාත්‍රි  9 ට පමණ ප්‍රභාත්ගේ නිවසට ආයුධ සන්නද්ධව කඩා පැන ඇති  සිවිල් ඇඳුමින් සැරසුනු STF සෙබළුන්  විශාල පිරිසක් අසල්වාසීන් කිසිවකුටත් ප්‍රභාත්ගේ නිවස ආසන්නයට හෝ පැමිණීමට ඉඩ නොදී රැකවල්ලා ඔහු  සහ ඔහුගේ බිරිඳ වන පියුමි වත්සලාත්  සහ ඇගේ වයෝවෘද්ධ මවත්  නිවස ඇතුලේ සිරකර ගෙනම මූලික ප්‍රශ්න කිරීම සිදු  කොට තිබුණේ ඔවුන් ඉදිරියේම ප්‍රභාත්ට අමානුෂික ලෙස පහර පිට පහර දෙමිනි.

මේ වන විට හෙළිදරවු වී ඇති ආකාරයට ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සඳහා  පැමිණි කණ්ඩායම මෙහෙයවා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසිනි. ජයසුන්දර යනු,  ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ' මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ක්‍රියාකළ ඉදිරි පෙල සාමාජිකයෙකි. සඟවා තිබු ආයුධ සොයන්නට යැයි කියමින් පසුව ප්‍රභාත් ව අහුංගල්ල වෙරළාශ්‍රිත කැලෑබද  ප්‍රදේශයකට රැගෙන ගොස්  වෙඩි තබා මරා දැමූ බවට චෝදනාව එල්ල වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක දොන් ලක්ෂ්මන් සමරතුංග කොළඹගේට ය. 

පොලිස් පරීක්ෂක කොළඹගේ,  ඉන්දික ප්‍රභාත්ගේ මරණ පරීක්ෂණය මෙහෙයවන ලද බලපිටිය මහේස්‍ත්‍රාත් සී.ජේ සමරදිවාකර හමුවේ ලබා දී ඇති සාක්ෂියට අනුව ඔහු ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්ත අයකු වන  අතර, රියු හෝටලය අසල සිදුවු වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහුට නියෝග නිකුත් කර ඇත්තේ විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි. ඔහුගේ දැනුම් දීම මත තමන්  තවත් නිලධාරින් පිරිසක් සමඟ අහුංගල්ල ප්‍රදේශයට පැමිණ , ප්‍රදේශයේ ස්ථානගත කර තිබු සීසීටීවී දර්ශන ඇසුරෙන් සැකකරුවකු හඳුනා ගත් බව කියා තිබේ. පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරු සහ දුරකථන  අංකයක් ඔස්සේ සොයා බැලීමේදි සැක කටයුතු පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ලැබුණු බවත්, ඉන් අනතුරුව ඒ සියල්ල  තමන්, බුද්ධි ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයා මගින් STF අණදෙන නිලධාරි වෙත දැනුම් දුන් බවත් පොලිස් පරික්ෂක කොළඹගේ පවසයි. ඉන් කෙටි වෙලාවකට පසුව 076-1664125 දරණ අංකය සම්බන්ධයෙන් දුරකථන කුළුණු  විශ්ලේෂණ  වාර්තාවක් සහකාර පොලිස් අධිකාරිවරයා විසින් තමන්ගේ දුරකථනයට වට්ස් ඇප් මගින් එවූ බවත් හෙතෙම කියයි.

දුරකථන  කුළුණු  විශ්ලේෂණ වාර්තා 

බැලු බැල්මටම මෙය සිනමා පටයක දර්ශනයකට සමාන ය. මන්ද යත්, රියූ හෝටලය අසල වෙඩි තැබීම සිදුවන්නේ දහවල් 12 ට පමණ වන අතර ජයවර්ධනපුර කඳවුරට අනුයුක්ත පොලිස් පරික්ෂක කොළඹගේ ප්‍රමුඛ පොලිස් කණ්ඩායම අදාළ ස්ථානට ළඟා වී ඇත්තේ ඉන් කෙටි වෙලාවක් තුළ ය. ඇතැම් විට ඔවුන් ඒ ප්‍රදේශයේ ස්ථානගතව සිටින්නට ඇත. එහෙත් ඔහුගේ සාක්ෂියෙන් එවැන්නක් අනාවරණය නොවේ. නමුත්  ප්‍රබලම ගැටලුව මතු වන්නේ ඉන් අනතුරුව ය. එනම් පුද්ගලික ඔත්තුකරුවකු මඟින් ලැබුණු බව පැවසෙන  දුරකථන අංකයක කුළුණු විශ්ලේෂණ  වාර්තා පැයක්, දෙකක් ගතවන්නටත් පෙර පොලිස් පරික්ෂකවරයාගේ දුරකථනයට කෙසේ ලැබුණේද යන්නයි. 

නීති  ප්‍රකාරව නම් කවර හෝ පුද්ගලයකුගේ දුරකථන කුළුණු  වාර්තා අදාළ දුරකථන සේවා සපයන සමාගම් වෙතින් හිතු මනාපය අනුව ක්ෂණිකව ලබා ගන්නට පොලිසියට නොහැකි ය. ඒ සම්බන්ධව අනුගමනය කළ යුතු නිශ්චිත නෛතික ක්‍රියා පටිපාටියක් ඇත. කෙටියෙන් පවසතොත් අධිකරණ නියෝග මත  මිස කිසිදු පුද්ගලයකුගේ දුරකථනයකට  අදාළ කුළුණු  වාර්තා තෙවැනි පාර්ශවයක් අතට පත් කරන්නට දුරකථන සමාගම්වලට අවසරයක් නැත. එසේ නම් අදාළ  දුරකථනයේ කුළුණු  වාර්තා විශේෂ කාර්ය බලකාය සතු වුයේ කෙසේද?  දුරකථන සමාගම අධිකරණ   නියෝගයකින් තොරවම අදාළ දුරකථනයේ කුළුණු  වාර්තා පොලිසිය අතට පත් කරනු ලැබුවේ යැයි උපකල්පනය කළද   මේ සා කෙටි වෙලාවක් තුළ එය  සිදුවුවා යැයි සිතීම ද අපහසුය. ඒ සියල්ලට පිළිතුරු සපයා ගත හැකි වන්නේ අදාළ දුරකථන කුළුණු  වාර්තා සාක්ෂි ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් වුවහොත් පමණි.

පසුගිය යුද සමයේ ද   දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණු වාර්තා, බැංකු ගිණුම් වාර්තා ආදිය අධිකරණ නියෝගවලින් තොරව නීතියට පිටතින් ක්ෂණිකව ආරක්ෂක අංශ වෙත ලබාදෙන්නට දුරකථන සමාගම් සහ  බැංකු ඇතුළු අදාළ ආයතන සැදී පැහැදි සිටි වග අපි දනිමු. ඒ යුගයේදී බොහෝමයක් බැංකු සහ  දුරකථන සමාගම් ආරක්ෂක  අංශ සමඟ කටයුතු කළේ 'අනෝන්‍යය  බැඳීමකිනි'.  වර්තමානයේ ද ඒ අනීතික ක්‍රියා කිසිවක් සිදු නොවන බව කියන්නට කිසිදු සහතිකයක් නැත.

මේ සම්බන්ධව අප විසින්  කරනු ලැබු සොයා බැලීමකදි දැන ගන්නට ලැබුනේ පොලිසිය සහ පොලිස් විශේෂ  කාර්ය බලකාය විසින්  තමන්ට අවශ්‍ය පුද්ගලයන්ගේ දුරකථන කුළුණු වාර්තා නිසි  අධිකරණ ක්‍රමවේදයෙන් බැහැරට යමින්  ලබාගැනීමේ ක්‍රමවේද ඇති බවකි.  ඉන් පළමු වැන්න නම්, ආරක්ෂක ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීම මත කුළුණු වාර්තා ක්ෂණිකව ලබා ගැනීමයි. අනෙක් ක්‍රමය අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින යම් නඩුවක ඉදිරි විමර්ශන කටයුතුවලට යැයි පවසා ඒ නඩුවේ පාර්ශව කරුවන්ගේ දුරකථන අංක බවට හඟවමින් අධිකරණය නොමග යවා කුළුණු වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලා සිටීමයි. බොහෝමයක්  මහේස්ත්‍රාත්වරුන් ඒ සම්බන්ධව වැඩිදුර කරුණු විමසීමකින් තොරවම අවසර ලබා දෙන බවද,  පසුගිය කාලය පුරාම එය ඉතා සංවිධානාත්මකව සිදුව ඇති බවද  ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ  කටයුතු කරන ප්‍රධාන ආයතනයක නිලධාරියකු අප සමඟ පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ විශේෂ කාර්ය බලකාය ඉන්දික ප්‍රභාත්ගේ දුරකථන කුළුණු වාර්තා ක්ෂණිකව හෝ පෙර සුදානමක් සහිතව හෝ  ලබා ගත්තේ නම් ඒ සඳහා මෙම ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරන්නට ඇති බවයි.

"පොලීසිය  මේ විදිහට උසාවිය නොමග යවලා දුරකථන කුළුණු වාර්තා ගන්න බව හෙළිදරවු වුණේ පහුගිය දවසක එක කාන්තාවක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරලා තිබුණු ඉල්ලීමක් නිසා. ඇයගේ නඩුවකට අදාළව අධිකරණ වාර්තා පරීක්ෂා කරද්දි දැකලා තියෙනවා ඇයට සම්බන්ධයක් නැති අංකයක් වෙනුවෙන් තමන්ගේ නඩුව හරහා කුළුණු වාර්තා ලබා ගන්නට පොලිසිය,  උසාවියෙන් ඉල්ලීමක් කරලා තියෙන බව. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් නුගේගොඩ කොට්ඨාශය භාරව ඉන්න කාලයේ. ඔහු යටතේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් තමයි දේශබන්දුගේ නියමය මත ඒ විදිහට කරලා තියෙන්නේ. පස්සේ ඒ පොලිස් පරික්ෂකවරයගේ වැඩ තහනම් වුණා. පස්සේ ඒ හැමදේම යට ගැහුවා. එවැනි දේ අදටත් ඒ විදිහට සිද්ධ වෙන බව ප්‍රසිද්ධ රහසක්. මේ අනීතික , වංචා සහගත ක්‍රමය නවත්වන්න පුලුවන් මහේස්ත්‍රාත්වරුන්ට විතරයි. පොලිසිය ඉල්ලීමක් කරපුවාම ඒ සම්බන්ධව තියෙන සාක්ෂි, නඩුවේ තොරතුරු, කුළුණු වාර්තා ඉල්ලන අංකය හිමි පුද්ගලයාගේ තොරතුරු  ආදි හැම වැදගත් දෙයක්ම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා දැනුම් දීලා, ඒවා නිසි පරිදි අධ්‍යයනය කරලා මිස ක්ෂණිකව  නියෝග නිකුත් කරන්න හොඳ නෑ," යි සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලමින් හෙතෙම පැහැදිලි කළේය. 

"අද මාව මරණවාලු"

කෙසේ වෙතත් රාත්‍රි  නමයට පමණ  ප්‍රභාත්ගේ නිවසට කඩා වදින STF කණ්ඩායම පළමුවෙන්ම සිදුකර ඇත්තේ ඉන්දික ප්‍රභාත්, ඔහුගේ බිරිඳ සහ ඇගේ වයෝවෘද්ධ මව නිවසේ සිරකොට තබා ගෙන ප්‍රශ්න කිරීම ය. ප්‍රභාත්ගේ සහ ඔහුගේ බිරිඳ වන පියුමි වත්සලාගේ ජංගම දුරකතන තමන් භාරයට ගෙන ඇති  නිලධාරින් ප්‍රභාත් නිවසේ කාමරයක දණ ගස්වා පහර දී තිබුණේ  "උඹට අද ගහලා දානවා"යි තර්ජනය කරමිනි. පොලිස් භාෂාවෙන් "ගහනවා" යන්නෙන් අදහස් වන්නේ මරා දමන බවයි. 

එහෙත් පොලිස් පරීක්ෂක කොළඹගේ කරන ප්‍රකාශයට අනුව ප්‍රභාත්ගේ නිවසේදි පමණක් නොව, ඔහු නිවසින් පිටතට රැගෙන ගොස් මරා දමන තෙක්ම සියල්ල සිදුව තිබෙන්නේ  අතිශය මානුෂික මුහුණුවරකිනි. එහෙත් ප්‍රභාත්ගේ බිරිඳ අප සමඟ කියු බොහෝ දේත්, ඇය විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් වෙත ලියා ඇති ලිපිත්, අධිකරණය හමුවේ ඇති නෛතික ලේඛන ආදී සියල්ලමත් පසෙකින් තැබු විට පවා එය එසේ නොවන වග පෙන්වන්නට හැකි සාක්ෂි ඕනෑ තරම් තිබේ.  කුරිරු ඉරණමකට ගොදුරු වීමේ බිය නිසා තම අනන්‍යතාව  හෙළිදරවු නොකරන ලෙස ඉල්ලමින් අප  හා කතා බහා කළ බොහෝ දෙනකු එක හා සමානව කියා සිටියේ STF සෙබළුන්  අතිශය ම්ලේච්ඡ ආකාරයට කටයුතු කළ බවකි.  

එදින රැයේ තම නිවසට කඩා වැදුනු විශේෂ කාර්ය බලකායේ පිරිස විසින් සිදුකරන ලද හිංසනයන් කවර තරමේ ඒවා දැයි  මරා දැමුණු ප්‍රභාත්ගේ බිරිඳ වන එවකට ගර්භනී තත්ත්වයේ සිටි පියුමි වත්සලා පළමුවෙන් මෙසේ පැවසුවාය.

"STF  එකෙන් ගෙදරට ආවට පස්සේ එතන හිටිය කෙනෙක් මහත්තයාගේ ෆොටෝ එකක් අරන් කාට හරි යැවුවා. ඊට පස්සේ ඒ කෙනාගෙන් වෙන්න ඇති කෝල් එකක් ආවා. ඒ කෝල් එක මගේ මහත්තයාගේ කණට ළං කෙරුවා අහන්න. ඒක අහන් ඉඳලා මහත්තයා මට කිවුවා 'නෝනා, අද මාව මරණවා කියලා කියනවා,' කියලා. මහත්තයා එහෙම කියන කොටම ඒ ගොල්ලෝ මගෙයි මහත්තයාගෙයි  දුරකථන අර ගත්තා. මම හිටියේ රෑ ඇඳුමින්. 'නෝනා ගිහින් ඇඳුමක් දා ගෙන එන්න' කියලා මහත්තයා මට කිවුවත් ඇඳුමක් මාරු කරන්න යන්න දුන්නෙම නෑ. බොහෝම අමාරුවෙන් තමයි මගේ රෑ ඇඳුම මාරු කළේ. ටික වෙලාවකින් මහත්තයාව සාලෙට අරන් ගිහින් දණ ගස්වලා ගහන්න පටන් ගත්තා. මූණට ගහපු පාරකට මහත්තයා කැරකිලා වැටිලා සිහිය නැති වුණා වගේ වුණා. මම හිතුවෙම බෙල්ල කැඩුනා කියලා. මම මහා හයියෙන් කෑ ගහමින් වැඳලා ඉල්ලුවා ගහන්න එපා කියලා. 'කට වහගෙන පැත්තකට වෙලා හිටියේ නැත්නම් තොගේ කටේ පාන්කඩ ඔබලා තොගේ ඇස් ඉස්සරහම මේකව  මරනවා' කිය කියා මට තර්ජනය කළා. 'අනේ සර් මගේ නෝනාට බබෙක් ලැබෙන්න ඉන්නවා මාව මරන්න එපා,' කියලා මගේ මහත්තයා අත් දෙක උස්සලා වැඳලා ඉල්ලුවත් වැඩක් වුණේ නෑ. හිතක් පපුවක් නැති ඒ මිනිස්සු අන්තිමට මගේ මහත්තයාව මරලා දැම්මා" යි ඇය හැඬුම් අතරින් කීවාය.

ප්‍රභාත්ගේ අතීත පැටිකිරිය කුමක් දැයි අපට අදාළ නැත. යමකු වරදක් කර ඇත්නම් එයට දඬුවම්  දිය යුත්තේ රටේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ පවත්වන විවෘත, සාධාරණ හා අපක්ෂපාතී නඩු විභාගයකින් අනතුරුව මිස  නීතිය අවනීතිය කරමින් හැසිරෙන  ලයිසන් මැරයන්ගේ උවමනා එපාකම් මත හෝ පොලිස් රාජ්‍යය මෙහෙයවන ඇමතිවරුන්ගේ සිතැඟි පරිදි හෝ  නොවේ. සැකකරුවකු නොව,  අපරාධයක් කළ බවට ඔප්පු වූ අයකු පවා හිත්වක්කාර ලෙස මරා දමන්නට කිසිවකුට නීතියෙන් අවකාශයක් නැත. පොලිසියේ හෝ වෙනත් බලලත් කවර හෝ විමර්ශන කණ්ඩායමක  වගකීම සැකකරුවකු නිසි විමර්ශනයකින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම මිස තමන් භාරයට ගන්නා පුද්ගලයන්  මුහුදු වෙරළවල් අද්දරට රැගෙන ගොස් මරා දැමීම හෝ ඔවුන්ගේ භාර්යාවන් හෝ පවුලේ වෙනත් සාමාජිකයන් ප්‍රාණ ඇපකාරයන් ලෙස රඳවා ගනිමින් අඩන්තේට්ටම් කිරීම හෝ නොවේ. විමර්ශනය කිරීම මිස දඬුවම් දීමේ බලයක් පොලීසියට හෝ වෙන යම් කවර තරාතිරමක හෝ කණ්ඩායමකට, ආයතනයකට හෝ හිමි නැත. අන්සතු කළ නොහැකි,  දඬුවම් දීමේ  බලය හිමි එකම ආයතනය අධිකරණය පමණි.

පියුමි වත්සලා  වැඩිදුරටත් පවසා සිටියේ විශේෂ කාර්ය බලකායේ පිරිස් ප්‍රභාත් අත්අඩංගුවට ගෙන නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේදී තමන් සහ මව ද රැගෙන යාම සඳහා ගෙන් පිටතට ගත් බවයි.

"මගේ මහත්තයාගේ අත් ඉස්සරහට කරලා මාංචු දාන කොට එක් කෙනෙක්  කිවුවා ' මූ අමාරුකාරයා, අත් පිටි පස්සට කරලා මාංචු දාන්න' කියලා. ඊට පස්සේ මාවයි,  අම්මවයි එළියට ගත්තා. අම්මා හිටියේ ඇවිද ගන්නවත් බැරිව අසනීප තත්ත්වයෙන්. අපිව දා ගත්තේ වෑන් එකකට.  ඒකට කකුල් උස්සලා නගින්නවත් බැරුවයි අම්මා හිටියේ.  මම ඇහුවා ඇයි අම්මව අරන් යන්නේ කියලා. 'උඹලව තියලා යන්න බෑ, උඹලා ඔක්කෝම අරන් යන්න ඕනේ,'  කියලායි අපිට කිවුවේ. එළියේ ආයුධ ගත්ත අය ගොඩක් හිටියා. එතැන වාහනයක් ළඟ හිටිය එක පුද්ගලයෙක් කිසිම කතා බහක් කළේ නෑ. ඒත් එයා ඇස්වලින්, මුහුණෙන් සංඥා කරලා කිවුවා අම්මවයි, මාවයි වෙනම වාහනයකට දාන්න කියලා. මට තේරුණා එයා තමයි එතන ප්‍රධානියා කියලා . ඒ පුද්ගලයා කවුද කියලා ඒ වෙලාවේ මම දන්නේ නෑ. ඒත්, පස්සේ දැන ගත්තා  ඒ STF  අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර බව. වෑන්  එකට දා ගත්තට පස්සේ මටයි අම්මටයි කිවුවා ඔළුව පහලට කරලා කකුල් දෙක අස්සේ ඔබා ගන්න කියලා. මට බබෙක් ලැබෙන්න ඉන්න නිසා එහෙම කරන්න අමාරුයි කියලා කිවුවත් ඇහුවේ නෑ."

වත්සලා පවසන්නේ වෑන් රථයේ  ගමන් කරන කාලය පුරාම STF සෙබළුන් තමන්ගේ සහ තම වයෝවෘද්ධ මවගේ හිසට ගිනි අවි එල්ල කර අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවකි.

"ඔළුව පහතට කර ගෙන ඉන්න අමාරුයි කියලා කොච්චර කිවුවත් ඇහුවේ නෑ. ' ඔළුව කකුල් අස්සේ ගහගන්න බැරි නම් තොගේ..... ගහගනින් ගෑණියේ,' කියලා අම්මා ඉස්සරහම මට කුණුහරුපෙන් බැන්නා. එහෙම බැනලා තුවක්කුව මගේ බඩට තියලා තද කරා. මම වැඳලා ඉල්ලුවා මගේ කුසේ දරුවෙක් ඉන්නවා තුවක්කුව පැත්තකට ගන්න කියලා. ඒත් මම කියපු කිසිම දෙයක් ඒ කවුරුත් කණකට ගත්තේ නෑ. ඔළුව පාත් කරගෙන වාහනේ ගැස්සි ගැස්සි යන එකටයි හිතේ බයටයි මට වමනේ යන්න ආවා. මම ඒගොල්ලන්ට කිවුවා  මට වමනේ යන්න එනවා වාහනේ නවත්වන්න නැත්නම් ෂොපින් බෑග් එකක්වත් දෙන්න කියලා . එතකොට,   'තොට දෙන්න අපි ළඟ බෑග් නෑ වමනේ ගිලපිය .....' කිය කිය කුණුහරුපෙන්  බැන්නා. වමනේ එළියට එන් නැති වෙන්න මගේ අත්වලින්  කොච්චර තද කරන් හිටියත් හරි ගියේ නෑ. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට එන වමනේ කොහොමද නතර කර ගන්නේ? අත්වල ඇඟිලි අස්සෙන් වමනේ එළියට පැන්නා. වෑන් එකේ අපි හිටපු තැන  හැමතැනම  වමනේ .  ඒ වෙලාවේ ඒ ගොල්ලෝ මාව මැරුවේ නැති එක විතරයි". 

වත්සලාගේ වයෝවෘද්ධ මව, කේ. ජයන්තා මහත්මිය  මෙයින්  වසර දෙකකට පෙර සිදුවු දෑ නිසා තවමත් තැති ගෙන සිටින්නීය. සිය බෑණනුවන් පැහැර ගෙන යාමට   නිවසට කඩා වැදුනු ආයුධ සන්නද්ධ 30ට ආසන්න හැඩිදැඩි පිරිමින්ගේ නොමනා හැසිරිම නිසා ඇය තවමත් සිටින්නේ භිතියෙනි. එහෙත් ඇය, ඇගේ බිය අප හා බෙදාගත්තාය.

"ඒ ගොල්ලෝ ගෙට ඇතුල් වුණේම ඉන්දික පුතාට ගහගෙන. සාලේ දණ ගස්සලා නොසෑහෙන්න ගැහුවා. මරනවාමයි කියලා තර්ජනය කෙරුවා. ඉන්දික පුතාව අරන් යන කොට දුවවයි, මාවයි වෑන් එකකට දා ගත්තා. මගේ කකුල් ඉදිමිලා ඇවිද ගන්නවත් බැරිව ඉද්දි තමයි කිවුවේ නගින්න කියලා. යනකම්- එනකම් ම අපේ ඔළුවලට තුවක්කු තද කරගෙනයි හිටියේ. වෑන් එකේදි මට ප්‍රෙෂර් එක වැඩිවෙලා කලන්තේ ඇවිත් වතුර ටිකක් බොන්න ඉල්ලුවත් දුන්නේ නෑ. මට හිතුනෙම අපිව අරන් යන්නේ මරන්නමයි කියල යි." 

ඈ පවසන්නේ විශේෂ කාර්ය බලකායේ පිරිස් ප්‍රභාත්ට පහර දුන් ආකාරය බලා සිටීමට නොහැකි තැන තමන් වැරෙන් දෑස් වසා ගත් බවයි.

වත්සලා සහ ඇගේ මව වෑන්  රියෙන්  රැගෙන යන අතර වාරයේ අත්විලංගු දැමු ප්‍රභාත් වෙනත් රියකින් රැගෙන ගිය බැවින් වත්සලා තමන් රැගෙන යන සෙබළුන් වෙතින් දිගින් දිගටම විමසා තිබුණේ අනෙක් පිරිස විසින්  ඇගේ ස්වාමී පුරුෂයා  රැගෙන ගියේ කොහේටද යන්නයි. එසේ විමසන සෑම විටම  එම සෙබළුන් ඇයට සමච්චලයට මෙන් පවසා ඇත්තේ "ගහලා දාන්න" යනුවෙනි. එය සමච්චලයට හෝ ඇයව බිය වැද්දීමට හෝ කියන ලද්දක් නොව, සත්‍ය වශයෙන්ම ප්‍රභාත් මරා දැමීම අරමුණු කොට ගෙනම රැගෙන ගොස් ඇති වග සනාථ වෙන්නේ එයින් පැය කිහිපයක් ගෙවී ගිය තැන කරුණු ඒ ආකාරයෙන්ම සිදුව ඇති  විට ය.

'සැකකරුට විවේක ගන්නත් දුන්නා'

පොලිස් පරීක්ෂක කොළඹගේ විසින් ලබා දී තිබෙන  ප්‍රකාශයට අනුව ඔහු ඇතුළු පිරිසක් ප්‍රභාත් 'නිදහස් තැනකට' රැගෙන ගොස් ඇත්තේ 'නිදහසේ ප්‍රශ්න කිරීම' සඳහාය. ඒ ප්‍රශ්න කිරීම කෙසේ අවසන් වීදැයි දැන් සියල්ලෝ දනිති.

"එම අවස්ථාවේදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා නිදහස් බාධා රහිත ස්ථානයක් අවශ්‍ය බැවින් මා ගන්දර පොලිස් වසමේ 'කිරිකැටිය බීච්' කියන මුහුදු ප්‍රදේශයට ගියා. මා සමඟ එම කටයුතු සඳහා මධුර සහ  කොස්තාපල්වරුන්  තුන් දෙනෙක් සම්බන්ධ වුණා. මා විසින් එම පුද්ගලයාගෙන් 2022 ඔක්තෝබර් 12 දින අහුංගල්ල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. එහිදි ඔහුගෙන් කරුණු විමසීමේදි ඉහත වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණය වුණේ නෑ. පැය 23.30 ට පමණ එම පුද්ගලයාට විවේක ගැනීම සඳහා මා අප පැමිණි රථයේ පසුපස ආසනය සකස් කර දී ඔහුගේ ආරක්ෂාව සඳහා නිලධාරින් දෙදෙනෙක් යෙදවුවා. ඉන් පසුව නැවත පැය 2.30 ට පමණ එම පුද්ගලයා අවදි කරවා කට සේදීමට සහ බීමට  වතුර බෝතලයක් ලබා දී මා නැවත ඔහුගෙන් ප්‍රශ්න කළා. මා විසින් එම ප්‍රශ්න කිරීමේදි ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගත්තා. පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සඟවා ඇති බවට අනාවරණය වුණා. පසුව මා අනෙක් නිලධාරින් සහ සැකකරු ද රැගෙන තංගල්ල ප්‍රදේශයට පිටත් වුණා. රාත්‍රි කාලයේ අප තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරට ගොස් එළිය වැටෙන තෙක් එහි  රැඳි සිටියා......." 

මෙය අපුරු කතාවකි. මෙහි ගැබ්ව ඇත්තේ අනීතික ක්‍රියාවලියකට ඈඳුණු සංවිධානාත්මක  සිද්ධි දාමයකි. පළමු ප්‍රශ්නය නම් අත්අඩංගුවට ගන්නා  සැකකරුවකුව තමන්ට අභිමත 'නිදහස් තැනකට' රැගෙන යන්නට කවර තරාතිරකමක ආරක්ෂක අංශයක නිලධාරියකුට වුව නීතියෙන් ඉඩක් තිබේද යන්නයි. 

අත්අඩංගුවට ගන්නා පුරවැසියකු යනු,   නීතියේ භාරකාරත්වය යටතේ සිටිනා අයකු මිස අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ පෞද්ගලික අභිමතය හෝ දුස් චේතනාවන්ට යටත්ව සිටින්නකු නොවේ. එවැනි අයකුගෙන් යම් අපරාධමය කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවැසි නම් එය කළ යුතු වන්නේ නීතියේ පිළිගත් නියමයන්ට යටත්ව මිස මුහුදු වෙරළකට,  කැළෑ බද ප්‍රදේශයකට  හෝ වෙන යම් ස්ථානයකට හෝ  රහසින් රැගෙන යාමෙන්  නොවේ. අපරාධමය සිදුවීමට අදාළව සාක්ෂි රැස් කර ගැනීම සඳහා සැකකරු කවර හෝ තැනකට  රැගෙන යන්නේ නම් එසේ කිරීමටද  නීතියේ පිළිගත් ක්‍රියා පටිපාටියක් ඇත. අධිකරණ නියෝග මත හෝ අධීක්ෂණය මත හෝ  නිසි පරිදි ඉහළ නිලධාරින්ගේ අවසරය සහිතව පිටතට රැගෙන යන අවස්ථාවල ඒ සියළු දෑ නිසි පරිදි ලේඛන ගත කළ යුතුම ය. වාහන පිටවීමේ පැමිණිමේ ලොග් සටහන් දැමිය යුතුම ය. අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ සැකකරු    ජීවත්වන ප්‍රදේශයේ පොලිස්ථානයෙන්  නොවී, වෙනත් ඒකකයකින් හෝ පොලිස්ථානයකින් නම් අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිල සටහන් දැමීම සහ දැනුවත් කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තකි. එසේ නොවී විශේෂ කාර්ය බලකායට අයත් වූ පමණින් සැකකරුවකුව ප්‍රශ්න කිරීම සඳහ මුහුදු වෙරළකට හුදකලාව රැගෙන යාමට ඇති අයිතිය සහ බලය කුමක්ද? 

අහුංගල්ල පොලීසි‌යේ  ස්ථානාධිපතිවරයා විසින් ද අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මරණකරු අත්අඩංගුවට ගැනීම, ඔහුව රැගෙන යාම හෝ පසුව රඳවා ගෙන සිට මරා දැමීම පිළිබඳව තමන් හට දැන ගන්නට ලැබුණේ ඝාතනයෙන් පසුව වන බවයි. විශේෂ කාර්ය බලකායේ පිරිස් විසින් ප්‍රභාත්ව අත්අඩංගුවට ගැනීමට පැමිණිමේදී අදාළ පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා ලෙස තමන්ව දැනුවත් නොකළ බවද හෙතෙම පවසා තිබුණි. මෙහිදී, අපරාධයකට අදාළව සැක කොට යමෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා එම පුද්ගලයා පදිංචි බල ප්‍රදේශයට අයත් නොවන වෙනත් ප්‍රදේශයක පොලිස් කණ්ඩායමක්  හෝ වෙනත්  ඒකකයකින් හෝ  පැමිණෙන විට අදාළ අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ එසේ පැමිණෙන අයවළුන්  ගැන නිසි තොරතුරු සැකකරු අයත් පොලිසියට නිසි පරිදි දැනුම් දීමේ මූලික පිළිවෙත පවා විශේෂ කාර්යව බලකා සාමාජිකයන් විසින් නග්න ලෙස පැහැර හැර තිබේ. එසේ නොවන විට  එය පැහැර ගැනීමකට පවා සම කළ හැකිය. රියූ හෝටලය අසල සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන්ම සැක කොට විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින්ම 2022 ඔක්තෝබර් 23 දින යම් පුද්ගලයකුව රඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව එම පුද්ගලයා වැඩිදුර විමර්ශන කිරීම සඳහා අහුංගල්ල පොලිස්ථානයට භාර දී ඇත. එසේ නම් ප්‍රභාත් සම්බන්ධයෙන් පමණක් එයට වෙනස් පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ කුමක් නිසාද?

සැමියාට දෙතිස් වධ - බිරිඳට ලිංගික හිංසන

ප්‍රභාත් මුහුදු වෙරළකට හෝ වෙන යම් රහසිගත තැනකට  රැගෙන ගොස් ‘නිදහසේ ප්‍රශ්න කරන්නැ’යි  පොලිස් පරීක්ෂක කොළඹගේ ට නියෝග කරනු ලැබුවේ කවරෙක් විසින්ද? එසේ කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?  එසේ සිදු කර තිබෙන්නේ ප්‍රභාත් දරුණු වධහිංසාවට ලක් කිරීමට සහ අවසානයේ ඝාතනය කිරීමටම මිස වෙන අරමුණකින් නොවන බව දැන් ඉතා පැහැදිලිය. පොලිස් පරීක්ෂක කොළඹගේ පවසන ආකාරයට ඔහු ඉතාම කාරුණිකව තමන් භාරයේ තබාගත් ප්‍රභාත් නම් සැකකරුට සළකා තිබේ. විවේක ගන්නට පහසුකම් සලසා තිබේ. එය මුසාවක් බවට සනාථ වන්නේ එයින් පැය කිහිපයක් ගෙවී යන විට  ප්‍රභාත්ගේ මරණය සිදුව ඇති නිසාම පමණක් නොව, ප්‍රභාත්  මැදියම් රැයක පාළු මුහුදු වෙරළක   රඳවා ගනිමින් ප්‍රශ්න කරන අතරවාරයේ විශේෂ කාර්ය බලකායේ තවත් පිරිසක් ප්‍රභාත්ගේ බිරිඳ වන වත්සලා සහ ඇගේ මව ව නිවසේ සිර කොට තබා ගෙන සිදුකර ඇති කායික සහ මානසීක වධ හිංසනයන් දෙස බලන විට ය. 

අප ඒ සියල්ල යළිත්  ඔහුගේ බිරිඳ වත්සලාගේ  වචනයෙන්ම ලියමු:

"මට වමනේ යන එක නතර කර ගන්න බැරි වුණාම එක් කෙනෙක් මට කිවුවා ,' උඹව ඔය විදිහට අරන් යන්න බෑ. උඹව අරන් ගිහින් දාන්න තියෙන්නේ පුංචි කාමරෙක. දැන් උඹ ඔය වමනේ කරන විදිහට ඒකේ තියන්න බෑ. ඒ හින්දා අපි ආයේ උඹලව ගෙදර ගිහින් දානවා. හැබැයි මතක තියා ගනින් එතන අපේ කොල්ලෝ ඉන්නවා. උඹ දඟලන්න, සෙල්ලම් පෙන්නන්න ගියොත් උඹටත් වෙන්නේ අරූට වෙන දේම තමයි’ කියලා. එහෙම කියලා වෑන් එක ආයේ හරවගෙන ගෙදරට ආවා. අපි ගෙදර එනකොටත් සිවිල් ඇඳුම් ඇඳ ගත්ත ගොඩක් අය ගෙදර හිටියා. අපිට හිතා ගන්න බැරි වුණා මේ මොකද්ද වෙන්නේ කියලා. අපිව ගෙනත් දාපු අය ගෙදර හිටිය කට්ටියට භාරදීලා ගියා. එදා මුළු රෑම වරින් වර STF  එකෙන් එක එක කණ්ඩායම්  ආවා.  ගෑණු දෙන්නෙකුට ගෙදර හිටියේ අම්මයි, මමයි විතරයි ".

ලිංගික අල්ලස් 

කොළඹගේ පුමුඛ කණ්ඩායමක් විසින් ප්‍රභාත්ට දෙතිස් වද දෙමින් සිටින අතරතුර අනෙක් පසින් නිවසේ රැකවල්ලාගෙන සිටි STF කණ්ඩායම   වත්සලා නිවසේ තනි කර ගනිමින්, ඇයට තුවක්කු මානා ගෙනම අසැබි වදන් පවසමින් ඇයට ලිංගික හිරිහැර කැන්නටත්, ඉන් නොනැවතී ප්‍රභාත් මරණයෙන් මුදාලන්නට අවැසි නම් ලිංගික අල්ලස් දෙන ලෙසටත් බලපෑම් කර තිබුණි. 

"අපිව ගෙදරට අරන් ආවට පස්සේ මාවයි, අම්මවයි වෙන් කළා. මගේ ළඟට අම්මට එන්න ඉඩ දුන්නෙම නෑ. නම දෙනෙක් විතර මාව වටකරගෙන එක එක දේවල් ඇහුවා. ඒ කිසිම දෙයක් පරීක්ෂණවලට අදාළ දේවල් නෙමෙයි. කියන්න ලැජ්ජයි ඒ මිනිස්සු මගෙයි , මහත්තයාගෙයි ලිංගික කටයුතු ගැන පවා හාර හාර ඇහුවා. එහෙම අහද්දි මගේ ශරීරය අත-පත ගාන එක නතර කළේම නෑ. බැරිම තැන මම ඇහුවා  ඔය ගොල්ලන්ට මගේ ජීවිතයේ පුද්ගලික දේවල් මොකටද, විමර්ශනවලට ඒවා මොකටද? කියලා. එහෙම කියද්දි, 'උඹ සුදු පාටට ඉන්න නිසා අපිට ඒවා දැන ගන්න ඕනේ ' කියලා අහන් ඉන්න බැරි තරමට කුණුහරුපෙන් මට බැන්නා."

ආයුධ සන්නද්ධ මිනිසුන් දස දෙනකුගේ පමණ කායික, මානසික අඩන්තේටම් මැද සිරවී සිටි ඇය ඒ සියළු හිංසන මැද දිගින් දිගටම අසා තිබුණේ සිය ස්වාමි පුරුෂයාට කුමක් සිදු කරන්නේද, ඔහු යහතින් සිටින්නේද යන වග ය. ඒ සෑම ප්‍රශ්නයකටම STF සෙබළුන්ගේ පිළිතුර වී ඇත්තේ "ඌ අරන් ගියේ ඉවර කරන්න. උඹට දැන් අපි ඉන්නවනේ. අපි එක්ක විනෝද වෙයන්" වැනි නරුම පිළිතුරු ය. සාමාන්‍ය තත්වයෙන්  ඇය වෙතින් තමන්ට අවැසි දෑ කර ගන්නට නොහැකි බව වටහා ගෙන ඇති ඒ නරුමයන් අවසානයේ ඇයව මත් කර හෝ තම සිතැඟි සපුරා ගන්නට බලවත් උත්සාහයක නිරත වී ඇත.

"එක පාරම ඒ ගොල්ලෝ කිහිප දෙනෙක් මගේ ඔළුවෙන්, අත් දෙකෙන් හිර කර ගත්තා. තව කෙනෙක් බෙහෙත් පෙති වගයක් කඩලා අල්ලට දාලා ඒක නහයෙන් උඩට අදින්න කියලා බල කරා. මම ඇහුවා මේ මොනවද? ඇයි මේ බෙහෙත් පොවන්න හදන්නේ කියලා.  'උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ. අපි කියන විදිහට කරපන්. දැන් උඹට මොනවා වුණත් කවුරුත් නෑ'. එහෙම කියලා මගේ මුණෙන්  ඇදලා බලෙන්ම නහය බෙහෙත් කුඩුවලට ලංකරා. මම උස්ම උඩට ඇද්දෙම නෑ. හුස්ම හිරවෙලා මැරුණත් කමක් නෑ කියලා හිතාගෙන තද කරගෙනම හිටියා. ඒ කුඩු ගෑවිලා මගේ උඩු තොල දැවිල්ල ගත්තා. මම අඬ අඬා, වැඳ වැඳ කිවුවා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා මට මේවා පොවන්න එපා. මගේ දරුවට අනතුරක් වෙයි කියලා". 

වත්සලාට බලහත්කාරයෙන් නාසයෙන් අදින්නට යැයි බල කළ  විස කුඩු පසුව බීර බෝතලයකට කලවම් කර ඇයට පොවන්නට ද බලවත් උත්සාහයක් දරා තිබුණි. ඇය කියන්නේ එම කුඩු බීරවලට කලවම් කළ පසුව එහි වර්ණය වෙනස් වූ බවකි. නිවාස සෝදිසි කරන්නට, පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට  ගිය පසුව විශේෂ කාර්ය බලකාය  කෙසේ හැසිරෙන්නේ දැයි මේ සිදුවීම ඇසුරින් පමණක් පවා සිතා ගැනීම අපහසු නැත. 

මේ දකුණේ සාපරාධී ක්‍රියාවලට සහභාගී වන විශේෂ කාර්ය බලකායේ බොහෝමයක් දෙනා පසුගිය කාලය පුරාම උතුරු - නැගෙනහිරද සක්‍රීය මෙහෙයුම්වල නිරතව සිටියෝ වෙති. මෙම අපරාධයේ එක් පුරුකක් වන පො. ප. කොළඹගේ ද අඛණ්ඩව පුරා වසර නමයක් නැගෙනහිර සේවය කර තිබු අයෙකි. අභිනව ආණ්ඩුව යටතේ ආරක්ෂක බලමුළුවල මුල් පුටු හොබවන බොහෝමයක් දෙනාගේ අතීත සේවා පැටිකිරිය පටන් ගෙන ඇත්තේ  ද උතුරු නැගෙනහිර ප්‍රදේශවලිනි. 

විශේෂ කාර්ය බලකායේ අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුව සිටි වත්සලා  සහ ඇගේ වයෝවෟද්ධ මව පවසන ආකාරයට කාන්තා නිලධාරිනියන් දෙදෙනකු ඔවුන්ගේ නිවසට පැමිණ තිබුණේ 13 වනදා අලුයම් කාලයේ ය. නමුත් ඔවුන් දෙදෙනාට වත්සලාගේ ආසන්නයට හෝ ඒමට මේ පිරිස ඉඩ ලබා දී නැත. එම සෙබළියන් දෙදෙනාට ද එහි වගක් තිබූ බවක් වින්දිත ප්‍රකාශ සළකා බැලූ විට නොපෙනේ. වත්සලා  වටකර ගෙන සිටි පිරිමින් ඇයට කොතෙක් පරිභව, අඩන්තේට්ටම් සහ  හිරිහැර කර තිබුණ ද ඒ කිසිවක් වළකාලන්නට මෙම සෙබළියන් දෙදෙනා කිසිදු උත්සාහයක් ගෙන  නොතිබුණි.

ප්‍රාණ ඇපකරුවන් සහ ලිංගික අල්ලස්

අසල්වාසින්ගේ ඉල්ලීම  මත ප්‍රදේශයේ බෞද්ධ හිමිනමක් විසින් දික්වැල්ල පොලීසිය අමතා ඉල්ලා  තිබුණේ  ඉන්දික ප්‍රභාත් විශේෂ කාර්ය බලකායෙන් රැගෙන ගිය පසුව නිවස අසල නාඳුනන පිරිසක් රැඳී සිටින  බවට අසල්වාසින් විසින් තමන්වහන්සේ අමතා කියා සිටි බැවින් නිවසට ගොස්  සෝදිසි කරන ලෙස ය. ඒ අනුව දික්වැල්ල පොලිසියේ නිලධාරින් කිහිප දෙනෙක් වත්සලාගේ නිවසට පැමිණ ඇති අතර, ඔවුන් එනු දුටු විශේෂ කාර්ය බලකායේ පිරිස් වහාම නිවසේ ජනෙල් රෙදි සියල්ල වසා දමා නිහඬව සිටින ලෙස වත්සලාට සහ ඇගේ මවට  තර්ජනය කර පිටතට ගොස් පොලිස් නිලධාරින් හා යමක් පවසා ඔවුන් පිටත්කර හැරීමට කටයුතු කර තිබුණි.

තමන් රැකියාව කරන බැංකුවට ඇමතුමක් දී සේවයට නොපැමිණෙන බව දැනුම් දීමට අවශ්‍යව ඇතැයි  වත්සලා  කියා ඇති විට නිවසේ රැඳී  සිටි විශේෂ කාර්ය බලකායේ  අයකුගේ දුරකතනය ලබා දී  ඇය කතා කර අවසන් වන තුරුම ගිනි අවියක් ඇගේ කුසට තද කරගෙන සිට ඇත්තේ සියල්ලන්ටම රහසිගතව ඇයව සිරකොට තබා ගැනීමේ අරමුණින්ම විය යුතු ය. 

මේ සියල්ල රහසිගතව සිදුවන අතරවාරයේ දික්වැල්ල  ප්‍රාදේශීය සභාවේ හිටපු  දේශපාලනඥයකු  වූ  ප්‍රභාෂණ මානගේ 13 වන දා මැදියම් රැයේ  ඉන්දිකගේ   නිවසට පැමිණ තිබුණේ සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීමට ය. නමුත් ඔහුට ද සිදුව ඇත්තේ සෙබළුන්ගේ පහරකෑමට ලක්ව දින කිහිපයක්  නිවාස අඩස්සියේ සිටීමට ය. ඔහු විසින් ලබා දී තිබෙන ප්‍රකාශයන්ට අනුව සිවිල් ඇඳුම් හැඳගෙන සිටි ආයුධ සන්නද්ධ දස දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ සිට ඇති අතර තමන් වත්සලා සොයා නිවස දෙසට යන විටම පසු පසින් පැමිණි කිහිප දෙනෙක් එක් වැරම  තමන්ට "පොලිස් ගැටය" දමා නිවස තුළට ඇද ගෙන ගිය බවත් පසුව ගිනි අවි කිහිපයක් එල්ල කොට පහර දී නිවසේ කාමරයක සිර කර තැබු බවත් හෙතෙම  පවසා ඇත. ප්‍රභාෂණ මානගේ යනු මරා දැමුණු ඉන්දික ප්‍රභාත්ගේ සහ පියුමි වත්සලාගේ සමීපතම මිතුරෙකි.

වත්සලාගේ වැඩිමහල් සහෝදරයා, ඇගේ ඥාති සහෝදරයන් අසල්වාසින් ආදී බොහෝ දෙනකු වත්සලාටත්, ඇගේ මවටත් සිදුවූයේ කුමක් දැයි සොයා බැලීමට වරින් වර  පැමිණ තිබුණ ද ඒ කිසිවකුටත් නිවස ආසන්නයට හෝ පැමිණීමට ඉඩ නොදී පලවා හැර තිබෙන්නේ  ඒ සම්බන්ධව කිසිවකුට හෝ  පැමිණිලි කරන්නට හෝ දැනුම් දෙන්නට හෝ ගිය හොත් මරා දමන බවට තර්ජනය කරමිනි.

STF කණ්ඩායම  නිවසේ සිටි මුළු කාලය පුරාම තම  මවත්, තමන් සොයා  පැමිණි එම මිතුරාත් අධික නිදිමත ගතියෙන් වැතිරී සිටිය බවද  වත්සලා පැවසීය. "මට හරිම සැකයි මාව තනිකර ගන්න ඕනේ නිසා ඒගොල්ලේ අම්මටයි, මගේ යාළුවටයි මත් වෙන්න මොනවා හරි දුන්නද කියලා. STF එකේ අය තමයි  ඒ මුළු කාලය පුරාම ඉවුවේ. වතුර ටිකක් ඔනේ වුණත් තනියම අර ගන්න ඉඩ දුන්නේ නෑ". ගැබිනි මවක් වූ තමන්ට වරින් වර  මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වුණද සෙබළුන් ඒ සඳහා හෝ තමන්ට කිසිදු ඉඩක් නොදුන් බවත්, මූත්‍රා කිරීමට යෑමට අවශ්‍ය නම් තම කණ්ඩායමේ කෙනෙක් ද ඈ සමඟ පැමිණ ළඟ  රැඳී සිටිය යුතු බවත්, එසේ නොවේ නම් මූත්‍රා සිරකර ගෙන ඉන්නට සිදුවෙන බවත් ඔවුන් තමන්ට  කීවුවේ  යැයි වත්සලා පවසයි.  

ඔවුන්  ඇයට විවිධාකාරයේ අතවර, හිංසා පීඩා කරනා අතරවාරයේ ඒවා විඩීයෝ ගත කරමින් අනෙක් අන්තයේ සිටි පො. ප. කොළඹගේ භාරයේ සිටි සිය සැමියා වූ ඉන්දික ප්‍රභාත් ට සජීවීව පෙන්වමින් වියරු සතුටක් ලැබූ බව ඇය චෝදනා කරන්නීය.  තමන්ව නිවසේ හිරකරගෙන වධ දෙමින්  ශරීරය අතපාත ගාන අයුරු, අසැබි වදන් පවසන අයුරු  ඔවුන් ප්‍රභාත්ට පෙන්වා කොක් හඬලා සිනාසුනු බවත්  ඒ අවස්ථාවේදී   ප්‍රභාත්  මරණ බිය පසෙකට දමමින්  වියරුවෙන් මෙන් කෑ ගැසනු තමන්ට ඇසුනු බවත් හැඬුම් අතරින්ම වත්සලා පැවසුවාය.

"ඉන්දික කෑගැහුවා 'මගේ නෝනට හිරිහැර කරන්න එපා, මාව මරපල්ලා - එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා,' කියලා. ඒත් ඉන්දික කෑගහන්න කෑගහන්න ඒ මිනිස්සු මට වධදෙන එක වැඩියෙන් පෙන්නුවා. ඉන්දිකට  පේන්නම මගේ ඇඟ වැඩියෙන් ස්පර්ශ කළා. කුණුහරුප කිවුවා." 

තමන්ගේ කුසේ සිටින නූපන් දරුවාගේ නාමයෙන් තම සැමියා මරා නොදමන ලෙස තමන්  දෝත් එක්කර  ඒ නරුම මිනිසුන් ඉදිරියේ අනන්ත වාරයක්  වැඳ වැටුණු බවත්, එහෙත් ඒ කිසිදු දෙයකින් ඔවුන්ගේ හිරිහැර කිරීම් අවසන් නොවුණු බවත් ඈ කීය.  අවසානයේ ‘සෙබළුන් ’ යැයි කියා ගන්නා මේ නරුමයන් ඇගෙන් මෙසේ අසා ඇත. " මිනිහා බේර ගන්න ඔනේ නම් අපි කියන ඕනේ දෙයක් උඹ  කරනවද?"  ඔවුන් තමන් වෙතින් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි එසේ ඇසීමට පෙරම වැටහී තිබු බව ඇය කිීවාය.

"එහෙම අහපුවාම දෙපාරක් හිතන්නේ නැතුවම මම බෑ කිවුවා. මාව මැරුවත් එහෙම දේකට කැමති වෙන්න මට බෑ කියලා මම කිවුවා. ඒ වෙන කොටත් එයාලගේ  සමහරු හිටියේ අඩ නිරුවතින්. සමහරු හිටියේ අපේ ගෙදර කබඩ්වලින්ම ගත්ත තුවායක් විතරක් ඇඟේ පටලවාගෙන".  

වත්සලාගේ ඒ පිළිතුරෙන‍් කුපිත වූ මැර සෙබළු ඇගෙන් පෙරලා විමසා ඇත්තේ " තොගේ මිනිහා පාතාලේ නිසාද මෙච්චර ගණන්?" කියා ය.

මේ සියල්ල එසේ සිදුවන අතරවාරයේ ඉන්දික ප්‍රභාත්  සිටියේ පො.ප. සමරතුංග කොළඹගේ ගේ අඩස්සියේ ය. නිශ්චිතවම ඒ ගන්දර කිරිකැටිය මුහුදු වෙරළේ ද , තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ ද, එසේත් නොවේ  නම් හෙළිදරවු නොකරන වෙනත් ස්ථානයක ද යැයි කියන්නට පැහැදිලි සාක්ෂි නොමැත. තංගල්ල කඳවුරේ රඳවා සිටියේ නම් ඒ බව සනාථ කරන්නට කඳවුරු ලොග් සටහන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු ය. මන්දයත් රඳවා සිටි ස්ථානයන් සහ වේලාවන් නිවැරදිව සහතික කර ගැනීම මගින් ප්‍රභාත් ඝාතනය කරන ලද වේලාව සහ ස්ථානය හෙළිදරවු කර ගැනීමට හැකිවන බැවිනි.

(මතු සම්බන්ධයි)

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.