JDS Sinhala

ඇල්මෙන් අකුරු විකිණීම: අධ්‍යාපන අයිතිය පිළිබඳ චිලියානු පූර්වාදර්ශය

 

ධ්‍යාපනය යනු මුදල් හිමි වරප්‍රසාදිත පංතියේ දරුවන්ට පමණක් නොව, සමාජ ආර්ථික පසුබිම් සහ ආගමික-ජාතික සම්භවයන් නොසළකා සෑම දරුවෙකු වෙතම ලැබිය යුතු මූලික අයිතියකි. එබැවින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් සහ සමාජ අසමානත්වය අවම කිරීම වෙනුවෙන් පාසල් සහ උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම, නියාමනය සහ කළමනාකරණය කිරීම රාජ්‍යය සතු වූ දේශපාලන හා සදාචාරාත්මක යුතුකමක් මෙන්ම පැහැරිය නොහැකි වගකීමකි. එම වගකීම නොතකා හරිමින් අධ්‍යාපනයේ අයිතිය පූර්ණව හෝ ආංශිකව හෝ අහිමි කරවීමට රාජ්‍යය යත්න දරන ඕනෑම මොහොතක, ඒ සඳහා විරෝධය දැක්වීම සහ අරගල කිරීම ජනතාව සතු වූ අනුල්ලංඝනීය අයිතියකි.

නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් කරුණු දැක්වීම හෝ ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් සිදු කෙරෙන අධ්‍යපනය පෞද්ගලීකරණයේ ඇති විෂමතාවන් පෙන්වා එමඟින් සිදුවෙන සමාජ අසාධාරණයන් විමර්ශනය කිරීම හෝ මෙම ලිපියෙහි අරමුණ නොවේ. විවිධ රටවල්  උදාහරණ ලෙසින් ගෙන අධ්‍යපනය වෙළඳපොළකරණය කිරීමේ සාර්ථක බව පෙන්වීමට උත්සහ කරණ ඌණ තර්ක වෙනුවෙන් හෝ මූලධර්ම මත නොපිහිටා වටපිටාවේ දේශපාලන රුචි අරුචි කම් මත තීන්දු තීරණ ගැනීමේ මුග්ධ භාවයට හෝ ප්‍රතිචාර දැක්වීමක් වර්තමානයේ දිග්ගැසුනු සයිටම් අර්බුදය හමුවේ තව දුරටත් අවශ්‍ය නැත. අධ්‍යාපනයේ අහිමි කළ නොහැකි අයිතිය සහ එය සාධනීයව පරිපාලනය කිරීමේ රාජ්‍යය සතු වගකීම අවබෝධව කොටගෙන ඒ සඳහා සටන් වදින ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ සමගාමී බහුජන ව්‍යාපාරයන් හි සාර්ථකත්වයට අනුබල දෙනු පිණිස පසුගිය දශක දෙකක් තුළ වූ චිලියේ ශිෂ්‍ය අරගල මාලාවේ පසුබිම විමසා බැලීම වැදගත් වන්නේ ඒවා අතර පවත්නා දේශපාලන සමාන්තරයන් අනාවරණය කරනු පිණිස ය.

රාජ්‍ය අධ්‍යාපනය අභ්‍යන්තරව වෙළඳපළකරණයට ලක් කිරීමට සහ බාහිරව පෞද්ගලීකරණයට ඉඩ දීමට එරෙහි ශිෂ්‍ය විරෝධතා සහ අරගලයන්, ධනවාදී ගෝලීය පරිවාරයේ  පවතින රටවල මෙන්ම සංවර්ධිත ධනේශ්වර රටවල්වලද  අඛණ්ඩව සිදු වේ. ඉල්ලීම් සහ අරගලයේ ක්‍රමවේදයන් වෙනස් වුව ද ඒවායේ අවසාන පරමාර්ථය මුදල් ගෙවීමකින් තොරව සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය තහවුරුකර ගැනීමයි. ලංකාවේ  එම අරගල‍ය සිදු කළ යුතුව ඇත්තේ, ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ වසර 1942 දී  සී. ඩබ්. ඩබ්. කන්නගර මහතාගේ සභාපතිත්වය යටතේ වූ විශේෂ කමිටුව මඟින් කළ යෝජනාවන් අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ස්ථාපනය කරන ලද නොමිලේ (?) පාසල් සහ උසස් අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය, වත්මන් සහ පැවතුණු ධනේශ්වර ආණ්ඩු විසින් කප්පාදු කරමින් සිදුකරන අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව ය. එහෙත් මෙහි විමසා බැලෙන චිලියේ ශිෂ්‍ය අරගල මාලාව පුපුරා ගියේ මුදල් ගෙවීමෙන් පමණක් ලබා ගත හැකිවන සේ වසර 1980 දී සම්පූර්ණයෙන් වෙළඳපළකරණයට ලක් කළ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමවේදය කණපිට හරවා නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය නැවත තහවුරු කර ගැනීම අරමුණු කොටගෙන ය. රාජ්‍ය අධ්‍යාපන අලෙවිකරණ යාන්ත්‍රණයේ හැඩය කෙසේ වුවද , ශක්තිමත්, සංවිධිත, තීරණාත්මක සහ ඵලදායී අවසන් ප්‍රතිඵලයක් සහිත අරගලයක් සඳහා චිලියේ ශිෂ්‍ය අරගලයෙන් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය වෙත උගත හැකි දෑ බොහෝ ය.

ඉතිහාසය සැකෙවින්

මැතිවරණයකින් බලයට පත්වූ ප්‍රථම ලතින් ඇමෙරිකාණු මාක්ස්වාදී රාජ්‍ය නායකයා සේ සැලකෙන්නේ සැල්වදෝර් අයියන්දේ ය. එක්සත් ජනපද මධ්‍යම ඔත්තුසේවා  ඒජන්සියේ (CIA) අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයක් මඟින් ඔහුගේ පාලනය පෙරළා දමා අවුගුස්තෝ පිනෝචේ බලයට පත්කරවන්නේ 1973 වසරේදී ය. චිලියේ සියවස් එක හමාරකටත් වැඩි කාලයක් පාලක රජය මඟින් නොමිලේ ලබාදුන් පාසල් සහ උසස් අධ්‍යපනය, අසූව දශකය ආරම්භයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජාත්‍යන්තර සංවර්ධන බැංකුව (IDB) සහ ලෝක බැංකුව මඟින් ස්ථාපිත කරන ලද  නව ලිබරල් පිළිවෙත් සමඟ සමපාතව පිනෝචේගේ ආඥාදායකත්වය (1973-1990) යටතේ  සම්පූර්ණයෙන් වෙළඳපළකරණයට ලක් කරනු ලැබීම එහි එක් ප්‍රතිඵලයකි.

වසර 1980 දී නීතිගත කරන ලද LOCE (Ley Organica Constitucional de Educación – Organic Constitutional Law of Education) පණත මඟින් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා රාජ්‍ය ප්‍රතිපාදන අවම කිරීම, පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම සඳහා රජය මඟින් වරප්‍රසාද ලබා දීම, රාජ්‍ය අධ්‍යාපන ආයතන සඳහා මුදල් අයකිරීම, ප්‍රාථමික සහ ද්විතීයික පාසල් පරිපාලනය ප්‍රාදේශීකරණය කිරීම, පාසල් අධ්‍යාපනය සඳහා වවුචර ක්‍රමය හඳුන්වාදීම, ගුරුවරුන් නගර සභා යටතේ අනුයුක්ත කර ඔවුන්ගේ වෘත්තීය පහසුකම් සහ වැටුප් අඩු කිරීම මඟින් පිනෝචේ පාලනය රාජ්‍ය අධ්‍යාපනයේ බර සම්පූර්ණයෙන්ම චිලියේ දෙමාපියන් සහ දරුවන් වෙත පටවන ලදි.

චිලියේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන සැල්වදෝර් අයියන්දේ ජනාධිපතිවරයාගේ පාලන කාලය (1970-1973) වන විට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙනු පිණිස විශ්ව විද්‍යාල අටක් පමණක් තිබූ අතර ඒවා ලතින් ඇමෙරිකානු කලාපයේ තිබූ ඉහළම මට්ටමෙ විශ්ව විද්‍යාල සේ සැළකේ. පිනෝචේගේ මිලිටරි පාලන කාලය තුළ, වසර 1989 වන විට ලාබ ඉපැයීමේ පරමාර්ථයෙන් විශ්ව විද්‍යාල 49 ක් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන 56 ක් පිහිටුවා තිබුණි. ලංකාවේ කේවට්ට කුතර්ක අනුව සළකතොත්, පිනෝචේගේ පාලන සමය ඕනෑනම් අධ්‍යාපන අවස්ථා සීඝ්‍ර ලෙස වැඩි වූ කාලයක් ලෙස ද උත්කර්ෂයට නැංවිය හැකි ය. නමුත් වසර 1973 න් පසුව චිලියේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ තිබූ නවීකාරක චින්තනය සහ නිර්මාණාත්මක හැකියාවන් සීඝ්‍ර ලෙසින් පරිහානියට පත්වීමට පිනෝචේගේ අධ්‍යාපන පිළිවෙත් හේතු වූ බව අධ්‍යාපනවේදීන් ගේ පොදු මතය බැව් වටහා ගැනීමට ඒ ගැන සාමාන්‍ය විමසා බැලීමක් කිරීම පමණක් වුව ද සෑහේ.

වසර 1‍990 දී පිනෝචේගේ දක්ෂිණාංශික ආඥාදායකත්වය අවසන් වී පත්වූ වාම-මාධ්‍යමික සන්ධානයේ (Center-left Coalition) ජනාධිපති පැට්‍රීෂීයෝ ඇල්වින් (1990-1994) චිලියේ මූලික ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමත් සමඟම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැළකිය යුතු මට්ටමක වෙනස්කම් සිදු වුවද එහි වාණිජ පරමාර්ථයන් අහෝසි කරණු පිණිස ව්‍යුහාත්මක හෝ ආයතනික පරිවර්තනයන් සිදු කිරීමට නව පාලනය ක්‍රියා නොකළේය. වෙළඳපොළ ආර්ථිකය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD - Organization for Economic Co-operation and Development) වාර්තා අනුව වර්තමාන තාක්ෂණයට ගැලපෙන පරිදි විෂයමාලා සංශෝධනය කර අධ්‍යාපනයේ තත්ත්වයන් උසස් කිරීමට ඇල්වින් පාලනයේ එම වෙනස් කිරීම් දායක වූ නමුත්, දිගින් දිගටම සිදු වූයේ අධ්‍යාපන වෙළඳපළකරණ ක්‍රියාවලිය තීව්‍ර වීමයි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා මූල්‍යමය පහසුකම් වෙනුවෙන් ශිෂ්‍ය ණය ලබා දීමේ ක්‍රමය හඳුන්වා දීම මඟින් සිසුහු දැඩි ලෙස ණය බරින් පීඩාවට පත් වූහ. ඒ වන විටත් සාමාන්‍ය පවුලක ආදායමෙන් 73% දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවීමේ කුරිරු යථාර්ථයට චිලියේ ජනතාව මුහුණ දෙමින් තිබුණි.

සිසුන් අරගල බිමට

දශක දෙකක දිගු ඉතිහාසයක් ඇති චිලියේ ශිෂ්‍ය අරගලවල ආරම්භය සනිටුහන් වන්නේ එවකට පැවති වාම මාධ්‍යමික සන්ධාන ආණ්ඩුව විශ්ව විද්‍යාල ගාස්තු වැඩි කිරීම, රජය විසින් ජාතික අධ්‍යාපනය සඳහා අවශ්‍ය  තරම් ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ විශ්ව විද්‍යාල ඇතුළත ක්‍රියාත්මක වූ රජයේ මර්දන නීතිවලට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිති සම්මේලනය (FECH - Federación de Estudiantes de la Universidad de Chile -The Student Federation of the University of Chile) විසින් වසර 1997 දී දියත් කරන ලද විරෝධාවත් සමඟ ය. මුදල් අය කර පාඨමාලා පැවැත් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල 24 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාස තුනක් තිස්සේ සිදුකළ මෙම ශිෂ්‍ය අරගලය සැහැසි ලෙස මැඬ පැවැත්වීමට රජය උත්සහ කළ අතර පොලිසිය විසින් එක් විශ්ව විද්‍යාල සිසුවෙකු ඝාතනය කරන ලද්දේ තවත් සිසුන් හය දෙනෙකුට තුවාල සිදුකරමිනි.

ඉල්ලීම්වල විස්තෘත බව නිසාම පැහැදිලි ජයග්‍රහණයක් පිටතට නොපෙනෙණු ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ඉහළ නැංවීම සඳහා රජය විසින් අතිරේක අරමුදල් රැස් කිරීම සහ විශ්ව විද්‍යාල පරිපාලනය සඳහා ශිෂ්‍යයන්ගේ සහ ආචාර්යවරුන්ගේ අනිවාර්ය සහභාගීත්වය තහවුරු කිරීම එහි සාධනීය ප්‍රතිඵලයන් සේ සැළකේ. විශ්ව විද්‍යාල ඇතුළත ප්‍රජාතන්තවාදය යම්තාක් දුරට පුළුල් වූ අතර ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ සහ ඒවායේ ක්‍රියාත්මක වීමේ නිදහස පුළුල් විය.

2001 වසරේදී චිලියේ වයස අවුරුදු 15-18 අතර සිටි ද්විතීයික පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ ජාතික අධ්‍යාපනය සඳහා තවදුරටත් රජයේ ප්‍රතිපාදන වැඩි කරන ලෙස ඉල්ලා මාසයක් පුරා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ. ‘උර පොදි විරෝධතා (Demonstration of Backpacks)' නමින් හැඳින්වුණු මෙම විරෝධතාවයට පුළුල් ජනතා සහභාගීත්වයක් ලැබුණෙන් විරෝධතා මඟහැර සිටීමට අළුතෙන් බලයට පත්වූ ජනාධිපති රිකාඩෝ ලාගෝස්ගේ පාලනයට (2000-2006) නොහැකි විය. දෙපාර්ශවය අතර පැවති දීර්ඝ සහ සංකීර්ණ සාකච්ඡා විශාල සංඛ්‍යාවකින් අනතුරුව ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ සැපයීම වෙනුවට ගාස්තු සැළකිය යුතු මටටමින් අඩු කිරීමට රජය එකඟතාවය පළකරන ලදි.

ඉල්ලීම දිනා ගැනීමට අමතරව මෙම දැවැන්ත විරෝධතාව මගින් පශ්චාත්-ආඥාදායකත්ව සන්දර්භය තුළ අකර්මන්‍යව සිටි චිලීයානුවන්ගේ නිහඬතාවය බිඳීමට හැකි වීම වැදගත් වර්ධනයක් විය. රජයේ නියෝජිතයන් ගේ අභියෝගයන්ට මුහුණ දී ඔවුන් සමඟ අවධාරණයෙන් සාකච්ඡා කර ඉල්ලීම් දිනා ගතහැකි බලවත් ශිෂ්‍ය ව්‍යාපාරයක අවශ්‍යතාව මෙම ශිෂ්‍ය අරගලයේ දී දැඩිව මතු විය. සාම්ප්‍රදායික ශිෂ්‍ය සංගම්වල ආකෘතිය වෙනස් කර වඩාත් සංවිධිත ශිෂ්‍ය සංවිධානයක් බිහි කිරීමේ පළමු අඩිතාලම වැටුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

70,000කට අධික සුදු සහ කළු පාසල් නිල ඇඳුමින් සැරසුණු ද්විතීයික පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැවත වතාවක් වසර 2006 අප්‍රේල් මාසයේ දී වීදී පුරා පා ගමනෙහි යෙදෙමින් අරගල බිමට අවතීර්ණ වූයේ (පෙන්ගුවින් විප්ලවය) ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ ලබා ගැනීමට සහ  විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ විභාගයට අදාළ ගාස්තු අහෝසි කර ගැනීමේ මූලික ඉල්ලීම් පෙරදැරි කරගෙන ය. එහෙත් එම අරගලය පිනෝචේ විසින් වසර 1980 දී ස්ථාපනය කරණ ලද LOLC පනත අහෝසිකරනු පිණිස බලකිරීම දක්වා පුළුල් කරන ලද්දේ චිලියේ සිසුන් මුදලට අධ්‍යාපනය ලැබීමෙන් ඒ වන විටත් හෙම්බත්ව සිටි බැවිනි. වෙළඳපළකරණය වූ අධ්‍යාපන ක්‍රමය අහෝසිකර රජයේ වගකීම යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා ගැනීම චිලියේ පොදු අවශ්‍යතාවයක් බවට පත්ව තිබුණි.

සියළුම විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ගුරු වෘත්තීය සමිතිවල සහාය ද ඇතුළුව සියයට 76 ක බහුතර ජනතා කැමැත්තක් තිබූ මෙම අරගලය, වසර 1990 න් පසුව චිලියේ පැවති දැවැන්තම ජනතා අරගලය ලෙස සැළකේ. වසර 2001 දී පැවැත්වූ අරගලයෙන් පාඩම් උගෙන රජය සමඟ තීරණාත්මක සාකච්ඡා පැවැත්වීම සඳහා සහ අරගලය සම්බන්ධව විධිමත් තීරණ ගැනීම වෙනුවෙන් ද්විතීයික පාසැල් ශිෂ්‍ය සම්බන්ධීකරණ සභාව (ACES - Asamblea Coordinadora de Estudiantes de Secundaria - Coordinating Assembly of Secondary Students)  අරගලය ආරම්භයේදී ම පිහිටුවාගන්නා ලදි. මිලියන 17 ක් වූ චිලියේ ජනගහනයෙන් මිලියනක් පමණ පාසල් සිසුන් (ද්විතීයික පාසල් 950 ක පමණ) සහ ආධාරකරුවන් මැයි මාසය වන විට අරගල බිමට අවතීර්ණව සිටි අතර පාසල් 300කට අධික ප්‍රමාණයක් ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු සඳහා අත්පත් කරගෙන තිබුණි.

කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ පොලිස් වෙඩි මැදින් 2006 මැයි 30 දා චිලියේ සන්තියාගෝ නුවර පැවැති සිසුන් 800,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ දැවැන්ත පා ගමනින් පසුව, ජනාධිපති මිචෙල් බචෙලෙට් (2006-2010) විසින් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් සඳහා පිළිගත හැකි එකඟතාවයන් පළ කරන ලද අතර වසරකට මිලියන 300 ක් පමණ වැයවෙන නොමිලේ ප්‍රවාහන පහසුකම් සඳහා වූ ඉල්ලීම වෙනුවට පමණක් සංශෝධන ඉදිරිපත් කරන ලදි.

2011 වසරේ මැද පෙරදිග ‘අරාබි වසන්තය (Arab Spring)‍‍' ට සමගාමීව, ‘චිලියානු සිසිරය (Chilean Winter)‘ නමින් ඇමෙරිකානු පුවත්පත් විසින් හඳුන්වනු ලැබූ  දැවැන්ත ශිෂ්‍ය අරගලයට මුල පිරුණේ දැඩි දේශපාලන අවධානයකට ලක් වූ 2006 දී සිදුකරන ලද පෙන්ගුවින් විප්ලවය බැව් බොහෝ දෙනාගේ මතයයි. වසර 2006 දී බචෙලෙට් ජනාධිපතිවරිය පොරොන්දු වූ පරිදි අධ්‍යාපන සංශෝධන ඉදිරිපත් නොකිරීමත්, අධ්‍යාපනය සඳහා වූ ජනාධිපති උපදේශක සභා සඳහා ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළත් කර නොගැනීමත්, වසර පහක් ඇතුළත චිලියේ නැවතත් දැවැන්ත අරගලයක් ඇති වීමට මූලික හේතු විය. රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ද්විතීයික පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ද, චිලියේ ශිෂ්‍ය සහසන්ධානය (CONFECH - Confederación de Estudiantes de Chile - Confederation of Chilean Students) සංවිධානයේ මෙහෙයවීමෙන් මාස හතක් පුරා පැවති මෙම අරගල මාලාව මගින් ඉල්ලා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපාදන ඉහළ දමා සමාජ-ආර්ථික විෂමතාවයකින් තොරව රජය මඟින් නොමිලේ ප්‍රාථමික, ද්විතීයික සහ උසස් අධ්‍යාපනය සැපයීම සඳහා චිලියේ අධ්‍යාපන ක්‍රමයේ ආයතනික සහ ව්‍යුහාත්මක වෙනස් කිරීමට අවශ්‍ය පිළිවෙත් ක්‍රියාවට නංවන ලෙස ය.

හුදු ශිෂ්‍ය විරෝධතාවයකටත් වඩා පැතිරුණු බහුජන අරගලයක් ලෙසින් ජාත්‍යන්තර අවධානයද ඇදගන්නා ලද මෙම ශිෂ්‍ය අරගලය තුළ වඩාත් කැපී පෙනුණේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එකමුතුවෙහි සභාපති කමීලා වයේහෝ සහ කතෝලික විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එකමුතුවෙහි සභාපති ජෝර්ජෝ ජැක්සන්ගේ ආකර්ෂණීය නායකත්වයයි. සම්මත මර්දන යාන්ත්‍රණය වූ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, පොලිස් වෙඩි, අත් අඩංගුවට ගැනීම්, ඝාතනය කිරීම් සහ පංති තහනම් කිරීම් මැද නොබිඳුණු මෙම අරගලය ආරම්භ කර නොබෝ දිනකින්ම චිලියේ සියළුම පාසල් ගුරු සහ විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තීය සමිති, සේවක වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කම්කරු සහෝදර පාර්ශව, දෙමාපිය සංවිධාන සහ බුද්ධිමත්හු ක්‍රියාශිලීව දායකත්වය සැපයූහ.

එවකට චිලියේ ජනාධිපති සෙබස්තියන් පිඤේරා (2010-2014) විසින් නොමිලේ ජාතික අධ්‍යාපනය ලබා දීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර විරෝධතා සමනය කිරීම පිණිස ශිෂ්‍ය ණය පොලී අනුපාත පහත දැමීම, ජාතික අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩි කිරීම සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමීම වැනි කෙටි කාලීන විසඳුම් ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආයතනික සහ ව්‍යුහාත්මක වෙනසක අවශ්‍යතාවය අවධාරණය කළ ශිෂ්‍ය නියෝජිතයෝ පිඤේරාගේ විසදුම් ඉවත දමා තවදුරටත් අඛණ්ඩව අරගලයෙහි යෙදුනහ. වසර 2013 මැතිවරණයෙන් වාම-මාධ්‍යමික සංධානයේ ජනාධිපති පිඤේරා බලයෙන් පහ කර අළුතින් පිහිටුවා ගත් නව බහුතර සන්ධානයේ (New Majority Coalition) මිචෙල් බචෙලෙට් නැවත වතාවක් බලයට පත් කිරීමට දායක වූයේද මෙම ශිෂ්‍ය අරගලය බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

චිලියේ අධ්‍යාපන ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණය ක්‍රියාවලියකට ලක් කරන බව සිය මැතිවරණ පාඨය කරගත් බචෙලෙට්, බලයට පත් වූ විගසින්ම රාජ්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දීම සඳහා මූලික පියවර රාශියක් ගන්නා ලදි. ඒ අනුව රාජ්‍ය අධ්‍යපන ආයතන සඳහා වාර්ෂිකව වෙන් කරන ලද ප්‍රතිපාදන සැළකිය යුතු ‍ලෙස ඉහළ දැමූ අතර පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිපාදන නවතා දමා ප්‍රාථමික සහ ද්විතීයික පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ ලබා දීමට ඇය පියවර ගත්තාය. වසර 2016 වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50% කට (250,000) නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට ද, එය වසර 2018 දී 70% දක්වා වැඩිකර වසර 2020 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සෑම දෙනෙකුටම නොමිලේ ලබා දීමට ඈ පොරොන්දු වූවාය.

(වසර 2011 ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් ශිෂ්‍ය නියෝජිතයන් විසි දෙනෙකු වසර 2013 මැතිවරණයේ බචෙලෙට් රජයේ කොන්ග්‍රස් මණ්ඩලයට තරඟ කළ අතර කමීලා වයේහෝ, ජෝර්ජෝ ජැක්සන්, කැරොල් කැරියෝලා සහ ගේබ්‍රියෙල් බෝරික්  කොන්ග්‍රස් මණ්ඩලයට පත් විය.)

ජනාධිපති බචෙලෙට් ප්‍රමාණාත්මකව සාධනීය වෙනස්කම් විශාල ප්‍රමාණයක් සිදුකළ ද ඇය චිලියේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සම්පූර්ණයෙන් අහෝසි නොකර ඒවා තව දුරටත් ලාබ ලබන ආයතන වෙනුවට ලාබ නොලබන ආයතන ලෙසින් පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.  ඇයගේ එම තීරණයට මෙන්ම වසර 2020 වන විට සියල්ලන්ටම නොමිලේ ලබා දීමට නියමිත ජාතික අධ්‍යාපන ව්‍යපෘති වැඩ පිළිවෙලෙහි විනිවිදභාවය නොමැති වීමට එරෙහිව චිලියේ ශිෂ්‍ය සංගම් වරින් වර මේ වනවිටත් ‘චිලියේ අධ්‍යාපනය තවමත් අනතුරේ! අපි එය බිඳ වැටෙන්නට ඉඩ නොදෙමු!‘ යන සටන් පාඨය යටතේ අරගලයෙහි යෙදෙති. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ එය නොමිලේ ලබා දීමේ රජයේ වගකීම වෙනත් සංශෝධන මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය තව දුරටත් සූදානම් නැත. බලයට පත්වන අනාගත ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි ලෙසින් යෝජිත අධ්‍යාපන ව්‍යුහය නීතිගත කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.  මීට අමතරව සිසුන් කලින් ලබා ගත් ශිෂ්‍ය ණය අහෝසි කිරීමත්, අධ්‍යාපන සේවකයන්ගේ වැටුප් සහ පහසුකම් වැඩි කිරීමත් ඔවුන්ගේ වර්තමාන සටන් පාඨ අතර මූලික වේ.

සාධනීය ලක්‍ෂණ

චිලිය යනු බටහිර බොහෝ සංවර්ධිත රටවලටත් වඩා මුල්බැසගත් නව ලිබරල්වාදී ආර්ථිකයක් සහිත රටකි. චිලියේ ශිෂ්‍ය අරගලයන් ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ, එවැනි නිදහස් ආර්ථිකයක් ඇති රටක සම්පූර්ණයෙන් වෙළඳපළකරණයට ලක් වූ අධ්‍යාපන ක්‍රමයට එරෙහිව අවම සම්පත් ප්‍රමාණයක් සහිතව එල්ලකළ දැවැන්ත අභියෝගය සහ එම අභියෝගය ජය ගැනීමේ සඳහා අරගලය තුළ වූ අප්‍රතිහත සාමූහික අධිෂ්ඨානය නිසා ය.  ඔවුන්ට සටන් කළයුතුව තිබුණේ, රාජ්‍ය ආයතන සහ සේවා අසීමිතව පෞද්ගලීකරණයට ඉඩ දී තිබූ ධනේෂ්වර පාලකයන් සමඟ පමණක් නොව, අධ්‍යාපනය මුදල් දී ලබා ගැනීම තමන්ගේ උරුමය යැයි සැලකූ නිද්‍රාශීලී ‘අපිට මොකෝ - ඕන එකක්' පන්නයේ සමාජයක් සමඟ ය. එම සමාජයේ ආකල්ප පහසුවෙන් වෙනස් කළ නොහැකි තරමට චිලියානුවෝ නිදහස් ආර්ථිකයේ ගොදුරු බවට පත්ව සිටියහ. සමාජ විද්‍යාඥයන් පවසන අන්දමට වසර 2006 සහ 2011 තීරණාත්මක ශිෂ්‍ය අරගලයන්ට කලින් තිබූ චිලියේ සමාජය, පිනෝචේගේ 17 වසරක ආඥාදායක පාලනය මඟින් නිෂ්ක්‍රීය කරන ලද සමාජයකි. එහෙත් නිද්‍රාව බිඳින ලද ශිෂ්‍ය අරගලයන්ට සම්බන්ධ වූ ‘අභීත පරපුර‘ හැදී වැඩුණේ ඉන්පසු කාල වකවානුවේ ය. සමාජ අසාධාරණය සහ අසමානතාවය ප්‍රශ්න කිරීමටත් එයට විරෝධය දැක්වීමටත් ඔවුන් නිතැතින්ම යොමු වූයේ එබැවිනි.

චිලියේ ශිෂ්‍ය අරගල මාලාවෙහි මෙතෙක් දක්වා ඇති සාර්ථක භාවය සහ එමඟින් චිලියෙහි ජාතික දේශපාලයනට සිදු කළ හැකි වූ ප්‍රබල බලපෑම විමර්ශනය කිරීමේ දී එම අරගලයන් තුළ පැහැදිලිවම හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් වේ.

ඉන් පළමුවැන්න, ශිෂ්‍ය ව්‍යාපාරයේ නව ව්‍යුහය සහ අභ්‍යන්තරික එක්සත් කම ය. විසි එක්වන සියවස ඇරඹෙන විටත් චිලියේ ජනතාව, විශේෂයෙන් තරුණ කොටස් සාම්ප්‍රදායික දේශපාලනයෙන් හෙම්බත්ව සිටියහ. ඔවුහු තවදුරටත් තමන්ගේ දේශපාලන නියෝජිතයන් විශ්වාස නොකළහ. බෙහෙවින්ම ශිෂ්‍ය අරගලයන් සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනයේම දිගුවන් බවත් එම විරෝධතා යනු සිය දෛනික ජීවිතය අපහසුවට ලක් කරන කරදරකාරී අනවශ්‍ය වැඩ පිලිවෙළක් ලෙසින් සාමාන්‍ය මහජනතාවගේ පිළිකුළට ලක්වෙමින් තිබුණි. එබැවින් ශිෂ්‍ය ව්‍යාපරයට ජනතාව වෙත යා හැකි වඩා වගකීම් සහගත විකල්ප සංවිධාන උපක්‍රමයන් සොයා ගැනීම අත්‍යාවශ්‍ය විය. ඒ අනුව ඔවුහු වඩාත් යොමු වූයේ, වැඩ පිලිවෙළක් ලෙසින් ශිෂ්‍ය ව්‍යාපාරයේ සියළුම දෙනා සහාභාගීවන, නියෝජනය කරන සහ තීරණ සඳහා දායකත්වය ලබා දෙන ආකාරයේ සංවිධාන ව්‍යුහයක් ගොඩනැංවීම කෙරෙහි ය. සුපුරුදු ඒකාධිකාරී ශිෂ්‍ය සංවිධාන වෙනුවට, ඔවුහු විශ්ව විද්‍යාල සහ පාසල් තුළ තනි තනි ශිෂ්‍ය එකමුතු ගොඩ නැඟූ අතර සාකච්ඡාවන් සහ තීරණ ගැනීම සඳහා බලාධිකාරයකින් තොරව සැමට සමාන බලතල සහිත සම්බන්ධීකාරක නියෝජිතයන් පත් කළහ. ශිෂ්‍ය නියෝජිතයෝ අරගලයේ ප්‍රතිපත්තීන්, ඉල්ලීම් හා ක්‍රියා කළාපයන් සම්බන්ධව තීන්දු සහ තීරණ ගැනීමට සාමූහිකව ක්‍රියාශිලීව මැදිහත් වූහ. සෘජූ තීරණ සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ නව පිළිවෙත විය. එම නියෝජිතයන් මහජනතාව වෙත යාමේදී  ශිෂ්‍ය නායකයන් ලෙස ක්‍රියාත්මක නොවී, තම ශිෂ්‍ය එකමුතුවල ප්‍රකාශකයන් ලෙසින් පමණක් තම තමන්ගේ කලාපයන් තුළ ජනයා වෙත ළං වූහ.

චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරයට ස්ටැලින්වාදී වාමාංශික පක්ෂවල බලපෑම තිබූ බවට ට්‍රොට්ස්කිවාදීන් චෝදනා කරන්නේ අරගලයේ හිටපු ශිෂ්‍ය නායකයන් පසුව සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ යටතේ චිලියේ කොන්ග්‍රස් මණ්ඩලයට තරඟ කිරීමත් සමඟ ය. එහෙත් චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය  කිසි විටෙකත් සිය අරගලයන් ජාතික දේශපාලනයේ තාවකාලික අරමුණු හො පටු අවස්ථාවාදී අරමුණු හෝ වෙනුවෙන් භාවිතා නොකළේ ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙහි වූ ක්‍රම ක්‍රමයෙන් ගොඩනඟාගත් විශ්වාසය පළුදු කර නොගැනීමේ වැදගත්කම හඳුනාගෙන සිටි බැවිනි. ඔවුහු ඔවුන්ගේ සංවිධාන ප්‍රතිපත්ති සහ මුලධර්ම මත පිහිටා තමන්ගේ අනන්‍ය ඉල්ලීම් සහ පුළුල් අරමුණ වෙනුවෙන් පමණක් අරගල ක්‍රියාමාර්ග සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ කාල වකවානු තෝරා ගත්හ.

චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අභ්‍යන්තරික එක්සත්කම පවත්වා ගැනීමට ඔවුන් තුළ වූ හැකියාව සහ ඒ සඳහා වූ කැප කිරීම සුවිශේෂී විය. ඔවුහු තමන්ගේ වැරදීම් සහ අසාර්ථක කම් පිළිබඳව කොන්දේසි විරහිතව ස්වයං විවේචනාත්මක වී ඊළඟ මෙහොතේ ඒවා සාමූහිකව එකඟවී නිවරැදි කර ගත්හ. ශිෂ්‍ය ව්‍යපාරය තුළ තිබිය යුතු විනය හා එහි කටයුතුවල  විනිවිදභාවය සඳහා ඔවුහු දැඩි අවධානයක් යොමු කළහ.

දෙවැනි ලක්‍ෂණය වන්නේ, බාහිර සංවිධානයන්ගේ සහ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ය. ජාතික දේශපාලනයට කළ හැකි බලපෑමේ ප්‍රමාණය අනුව හුදෙකලා ශිෂ්‍ය ව්‍යාපාරය යනු දුර්වලම සංවිධාන ඒකකයකි. බොහෝ විට බලයේ සිටින දේශපාලන පක්ෂවලට ශිෂ්‍ය සටන් පහසුවෙන් මඟ හැර සිටිය හැකි අතර බලයට පත් වීමට සූදානමින් සිටින දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දී අරගල අකර්මණ්‍ය  කළ හැක. වසර 2006 සහ 2011 ශිෂ්‍ය ව්‍යාපාරයන් මෙය හොඳින් හඳුනාගෙන ඒ සඳහා තම ශක්තිය තර කර ගනු පිණිස චිලියේ අනෙකුත් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දෙමාපිය සංවිධාන, පරිසර සංවිධාන, කම්කරු ව්‍යපාර වැනි ප්‍රගතිශිලී කණ්ඩායම් සමඟ නිරතුරුවම අත්වැල් බැඳගත්හ. අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීම පිණිස අනෙකුත් ව්‍යාපාරයන්ගේ සාධාරණ විරෝධතා සහ අරගල වෙනුවෙන් ඔවුහු තමන්ගේ සහෝදර දෑත් නොපැකිලව දිගු කළහ.

තමන්ගේ තීරණාත්මක අරගලයන් හීදී එම බාහිර සංවිධාන අඛණ්ඩව දැනුවත් කර එම පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීමට ඔවුහු ක්‍රියාකළ අතර ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බාහිර සම්බන්ධතා සහ තම අනන්‍යතා රාමුවෙහි සිට කළමනාකරණය කර ගැනීම ඔවුහු සමත් වූහ. ශිෂ්‍ය අරගලයට සහාය දක්වමින් සිදුකරන ලද වරාය සේවක වැඩ වර්ජන සහ පතල් සේවකයන්ගේ වැඩ වර්ජන මඟින් චිලියේ ආර්ථිකයට වූ බලපෑම මෙම ශිෂ්‍ය අරගලවල සාර්ථකභාවයට ප්‍රධාන හේතුවකි.

අරගලයේ උපායමාර්ග සහ අඛන්ඩතාව මෙහි තුන්වැනි ලක්‍ෂණයයි. මහාචාර්ය ඩේවිඩ් ඒ. ස්නෝ ඇතුළු සමාජ විද්‍යඥයන් විසින් දේශපාලන සහ ජනතා ව්‍යාපාරවල සහභාගීත්වය විමර්ශනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සමාජ සැකිලි පෙල ගැස්වීමේ (Frame Alignment) ක්‍රියාවලීන් අතුරින් සැකිලි සම්බන්ධකය (Frame Bridging), සැකිලි විස්තාරණය (Frame Amplification) සහ සැකිලි ව්‍යාප්තිය (Frame Extension) චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය භාවිතා කර ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි. 'සැකිලි සම්බන්ධකය' යනු මීට පෙර සම්බන්ධ නොවූ, එසේත් නැති නම් සම්බන්ධව සිට ඉවත්ව ගිය නොයෙකුත් සංවිධාන, ආයතන සහ පුද්ගලයන් අරගලයට සම්බන්ධ කර ගැනීමයි. සැකිලි ව්‍යාප්තිය යනු අරගලය සහ එහි සටන් පාඨ අනෙක් සංවිධාන හා පුද්ගලයන්ගේ පොදු ඉල්ලීම් හා සමපාත වන සේ ව්‍යාප්ත කිරීමයි (උදාහරණයක් ලෙස ‘උන්ට හැමදෙයක්ම! අපට නැහැ කිසිවක්ම! සටන් පාඨය). සැකිලි විස්තාරණය වන්නේ සාමාන්‍ය අරගල ක්‍රම වලින් ආශක්ත කරගත නොහැකි පාර්ශවයන් වෙනත් ආකාරයේ ක්‍රමවේදයන් මඟින් ආකර්ශණ කර ගැනීමෙන් අරගලයෙහි ජවය පවත්වා ගැනීමයි. චිලියේ ජනප්‍රිය සංස්කෘතික සම්ප්‍රදායයන් අනුව යමින්, මළ අධ්‍යාපන ක්‍රමය නිරූපණය කරමින් මළ මිනී සහ අවතාර සේ වෙස්ගෙන මයිකල් ජැක්සන් ගේ Thriller ගීතය අනුසාරයෙන් චිලියේ වසර 2011 ශිෂ්‍ය අරගලය විසින් දියත් කරන ලද ‘ක්ෂණික විරෝධතාවන් (Flash mobs)' එක් උදාහරණයකි. නොමිලේ අධ්‍යාපනය ලබා දීමට රජයට අවශ්‍ය චිලියානු පෙසෝ බිලියන 1.8  නිරූපනය කරමින් ප්‍රසිද්ධ ස්ථානවල ශිෂ්‍ය-ශිෂ්‍යා යුගලයන් තත්පර 1800 ක් මුවට මුව සිප ගැනීමේ ආකර්ෂණීය විරෝධතා ව්‍යාපාරය තවත් උදාහරණයකි.

චිලියේ ශිෂ්‍ය අරගලයන් හි ඉල්ලීම්වල වැදගත් ලක්ෂණය වන්නේ ඔවුන්ගේ කෙටිකාලීන ඉල්ලීම් සමඟ සැමවිටම තම අවසන් ඉලක්කය වූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ ඉල්ලීම රඳවා ගැනීමයි. එවිට කෙටි කාලීන ඉල්ලීම්වල ජයග්‍රහණයන් ලබා ගත්ත ද තමන්ගේ අවසාන අරමුණ තෙක් අරගලය තුළ ජවය රඳවා ගැනීමට එම දීර්ඝ කාලීන ඉල්ලීම උපකාරී වේ. චිලියේ 2001 ශිෂ්‍ය අරගලය 2006 දී ද, ඉන් පසුව 2011 දීත් ඉන් අනතුරුව ත් සජීවීව හා නොකඩවා ක්‍රියාත්මක වන්නේ ‘සමාජ-ආර්ථික අසමානතාවකින් තොරව සියල්ලන්ටම රජය මඟින් නොමිලේ අධ්‍යපනය ලබා දීම පිණිස වූ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහාත්මක සහ ආයතනික වෙනස' වෙනුවෙන් වූ කේන්ද්‍රීය ඉල්ලීම අඛණ්ඩව පවත්වා ගැනීම නිසාවෙනි.

පුද්ගල අසහනය සහ අතෘප්තිය තීරණය කරන්නේ විෂයමූලික දර්ශකයන් නොව, පුද්ගලයන්ගේ සංජානනයන් විසිනි. යමක් අහෝසි කරන ලෙස ඉල්ලන නිෂේධනීය සටන් පාඨ වෙනුවට චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය සැමවිටම යමක් ක්‍රියාත්මක කිරීමට බලකරන සාධනීය සටන් පාඨ තෝරාගත්තේ ඒ අනුවය (සරල උදාහරණයක් ලෙස ලංකාවේ මෑත කාලීන ශිෂ්‍ය අරගලයේ 'සයිටම් අහෝසි කරනු!‘ වෙනුවට ‘සයිටම් රජයට පවරා ගනු!‘ වඩාත් සාධනීය එකක් සේ මම කල්පනා කරමි). එමඟින් ඔවුහු උත්සාහ කළේ අරගලයන් සදහා වූ ජනතා අකමැත්ත හැම පැත්තකින්ම අවම කර ගැනීම ය.

එමෙන්ම ශිෂ්‍ය අරගලයෙන් අරගලයට එම ශිෂ්‍ය ව්‍යාපාරයෙහි සංවිධිත බවෙහි මෙන්ම ආකර්ෂණීය බවෙහි ද වූ වර්ධිත ස්වභාවය චිලියේ ශිෂ්‍ය සටන් ගැඹුරින් විමර්ෂණය කළහොත් මැනවින් පැහැදිලි වේ. ඔවුහු මුල් කාලීන ශිෂ්‍ය අරගලයන් තුළ වූ වැරදි නිවරැදි කරගනිමින් දුර්වලතා මඟ හැර ගනිමින් ක්‍රමක්‍රමයෙන් සිය සටන් උපක්‍රම සහ සංවිධාන ශක්තිය ද වර්ධනය කර ගත්හ.

අරගලය අතරතුර සාකච්ඡා සදහා මැදිහත්වීමේ හැකියාව, චිලි ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකට කරන ලද සිව්වැනි වැදගත් ලක්‍ෂණයයි. අරගයලයන් සිදු කෙරෙන අතරතුර, අතරමැදියන් නොමැතිව රජය හෝ රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තම අයිතිවාසිකම් සඳහා බලපෑම් කිරීම සඳහා සෘජුවම සම්බන්ධ විය හැකි ශිෂ්‍ය නියෝජිතයන් ගොඩ නඟා තිබීම චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ විශේෂ වාසිදායක තත්වයක් විය. ඔවුහු බෙහෝ දෙනෙක් චිලියේ මෙන්ම ලොව අනෙකුත් රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති, ඒවායේ ගුණාත්මක හෝ අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම තමන් ඉල්ලා සිටින ව්‍යුහාත්මක වෙනසෙහි ආකෘතිය පිළිබදව මනා අවබෝධයකින් යුක්ත වූහ. එබැවින් අධ්‍යාපන සංශෝධන සඳහා රජය විසින් පිහිටුවන ලද කමිටු සඳහා ශිෂ්‍ය නියෝජිතයන්ගේ සෘජු දායකත්වය අනිවාර්ය කොන්දේසියක් සේ සළකනු ලැබිණ.

අවසාන වශයෙන් සළකතොත්, නව සන්නිවේදන මාධ්‍ය භාවිතාව සිසුන් විසින් දක්වන විශේෂ කුශලතාව ද චිලි ශිෂ්‍ය ව්‍යාපාරයේ වැදගත් ලක්‍ෂණයකි. මුහුණට මුහුණලා සිදු කෙරෙන සන්නිවේදන වලට අමතරව චිලියේ ශිෂ්‍ය අරගලය සඳහා නව තාක්ෂණික සන්නිවේදන උපක්‍රමයන්  බහුලව භාවිතා විය. 2006 සහ 2011 වසරවල මෙන්ම ඉන්පසුව පැවති ශිෂ්‍ය අරගල සඳහාත් සම්බන්ධීකරණ කටයුතු සහ ප්‍රචාරක කටයුතු සඳහා සමාජ ජාලා වෙබ් අඩවිවල දායකත්වය මහත් සේ උපයෝග කොට ගැණුනි. ඒ සඳහා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු දිවා - රාත්‍රී මුළුල්ලේ ක්‍රියාත්මක වූහ. එමෙන්ම දුරකතන කෙටි පණිවුඩ, ක්ෂණිකව බොහො පිරිසක් එකවර කැඳවිය හැකි වේගවත්, ලාභදායි සහ පුළුල් සංන්නිවේදන උපක්‍රමයක් විය.

නව සටන් උපාය මාර්ගයන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියමයන් පරිදි සෘජු වෙළදපළකරණයට හෝ පෞද්ගලීකරණයට හෝ ඉඩ දීම පමණක් නොව, අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව, හතු පිපෙන්නා මෙන් ප්‍රාථමික සහ ද්විතීයික පෞද්ගලික පාසල් බිහි වීම, රජයේ පාසල් අධ්‍යාපනය මියැදෙමින් දිනෙන් දින ජනප්‍රිය වන අතිරේක පන්ති (ටියුෂන් ව්‍යාපාරය), නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පාසල් ජනප්‍රිය කරවා ග්‍රාමීය පාසල් වසා දැමීම, පරිගණක සහ තාක්ෂණික පාඨමාලා මෙන්ම අනෙකුත් විෂයයන් සම්බන්ධව ඩිප්ලෝමා සහ උපාධි ආයතන බිහි කිරීම වැනි දෑ නිසාවෙන්, ලංකාවේ රජය මඟින් නොමිලේ ලබා දීමට නියමිත පාසල් සහ උසස් අධ්‍යාපනය මන්දගාමී මරණයකට ගොදුරු වී ඇති අන්දම ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය හඳුනාගෙන ඇත්දැයි සැක සහිත ය. මේ වන විටත් ලංකාවේ බොහෝ දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ  වැටුපෙන් කොටසක් වෙන්කළ යුතු පාරිභොජන ධූරාවලියේ එක් අංගයකි. අධ්‍යාපනය ලැබීම යනු හුදු තනි පුද්ගලයන්ගේ ජයග්‍රහණයක් නොව, එය සමස්ත සමාජයේම ජයග්‍රහණයකි. එහෙත් එය ලංකාව තුළ ඉදිරියට ඇදෙන්නේ අධ්‍යාපනය මඟින් සමාජය තුළ වර්ධනයකරගත හැකි සමානාත්මතාවය සහ එකමුතුකම වැනි සාමූහික ඉලක්කයන් සඳහා නොව, තනතුරු සහ වැඩි වැඩියෙන් මුදල් ඉපැයීම වැනි පෞද්ගලික ඉලක්කයන් වෙනුවෙනි. එක් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වසා දැමීම සඳහා කෙරෙන කෙටි කාලීන ඉල්ලීමට අමතරව ‘මුදල් නොගෙවන ජාතික අධ්‍යාපනක්‘ තහවුරු කර ගැනීම පිණිස අධ්‍යපන ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සඳහා ලංකාවේ ශිෂ්‍ය අරගලය ව්‍යාප්ත කළ යුතුව ඇත්තේ ඒ නිසා ය.

අරගලවල අඛණ්ඩතාව සහතික වන විට ආංශික ජයග්‍රහණය යනු පරාජයක් නොවේ. චිලියේ ශිෂ්‍ය අරගල තවමත් පූර්ණ ජයග්‍රහණයකින් කෙළවර වී නැතත් සමාජ-ආර්ථික අසමානතාවකින් තොරව සියල්ලන්ටම රජය මඟින් නොමිලේ අධ්‍යපනය ලබා දීම පිණිස වූ ව්‍යුහාත්මක සහ ආයතනික වෙනස යථාර්ථයක් බවට පත්වන තෙක් එම අරගලය ලංකාවෙහි මෙන්ම ලොව පුරා සිදු වන අනෙකුත් ශිෂ්‍ය අරගලයන් සඳහා බොහෝ පාඩම් කියා දෙමින් ඉදිරියට ඇදෙනු ඇත. ලතින් ඇමෙරිකාවේ සමාජ-දේශපාලන සංදර්භය, සංස්කෘතික ආකල්ප සහ සටන්කාමී සම්ප්‍රදායයන් ඇතැම් විට දකුණු ආසියාව ට වඩා වෙනස් විය හැකි නමුදු , චිලියේ ශිෂ්‍ය අරගලය හැදෑරීම සාම්ප්‍රදායික ශිෂ්‍ය දේශපාලනයෙන් සහ විරෝධතාවන්ගෙන් හෙම්බත්ව සිටින ලංකාවේ ‘අපිට මොකෝ-ඕන එකක්‘ සමාජය තුළ මේ මොහොතේ සක්‍රීයව ඇති ශිෂ්‍ය අරගලයට වැදගත් වනු ඇත.

අධ්‍යාපනය යනු මූලික මානව අයිතියකි.  ගුණාත්මක පාසල් සහ උසස් අධ්‍යාපනයක් සෑම සමාජ මට්ටමකම දරුවන්හට නොමිලේ ලබා දීමට ලංකාව ඇතුළු බොහෝ රටවලට ඇති තරම් ප්‍රතිපාදන, සම්පත් සහ හැකියාවන් තිබේ. එහෙත් ධනේශ්වර පාලකයන් විසින් නොසළකා හළ එම අයිතිය, අරගල කර දිනාගනු හැර එය මහ පොළොවේ යථාර්ථයක් බවට පත්කළ හැකි අන් මගක් නොමැති බව චිලියානු ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සපයන්නා වූ වැදගත්ම මූලාදර්ශය වේ.☐

මහේෂ් මුණසිංහ


© JDS


මූලාශ්‍ර:

1. Democracy and Student Discontent: Chilean Student Protest in the Post-Pinochet Era by Peter Cummings (Journal of Politics in Latin America)
2. Chilean Student Movements: Sustained Struggle to Transform a Market-oriented Educational System by Cristián Bellei and Cristian Cabalin, University of Chile
3. An overview: The Chilean education system, https://www.justlanded.com/english/Chile/Chile-Guide/Education/An-overview
4. Chile EDUCATION, http://www.country-data.com/cgi-bin/query/r-2447.html
5. Chile’s student struggle and the legacy of 1973 by Luis Arce and Rafael Azul (World Socialist Web)
6. Three things teachers can learn from the Chilean student movement by Jo Williams, http://breakingout.net.au/content/three-things-teachers-can-learn-chilean-student-movement
7. Lessons from Fighting Privatized Public Education in Chile by Daniel Fox, https://tcedfair.org/2014/03/12/lessons-from-fighting-privatized-public-education-in-chile/
8. Chilean students protest for free public education, 2011-13, Global Nonviolent Database
9. Chilean student movement: back in the streets for free education, http://www.counterfire.org/articles/analysis/18348-chilean-student-movement-back-in-the-streets-for-free-education
10. Insurgent students in Chile by Jo Williams, https://redflag.org.au/article/insurgent-students-chile
11. Education is a basic human right – which is why private schools must be resisted by Kishore Singh (The Guardian, UK)
12. The beginning of free university education in Chile by Alexis Cortes (Open democracy)

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.