JDS Sinhala

සමකය: හමුදාවට එරෙහි ‘රාජ්‍ය කුමන්ත‍්‍රණ’

තුරුදහන්වූවන් පිළිබඳ විමර්ශන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත මේ බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගෙන ඒම ‘රණවිරු හමුදාවන්ට එරෙහි කූට සහ දුෂ්ඨ’ කුමන්ත‍්‍රණයකැයි වරලත් දේශ හිතෛශීහු කියා තිබේ.  ඒ අනුව පනතෙහි අඩංගු ‘භයානක’ වගන්ති 10ක් ගැන සංත‍්‍රාසය දනවන විග‍්‍රහයක් ‘දිවයින’ පත‍්‍රයට ලියා තිබූණේ දේශ හිතෛශීන්ගේ මහා ලේකම්වරයා විසිනි. රාජ්‍ය හමුදාවන් විසින් දඩයම් කරනු ලැබීමෙන් ගැළවෙනු වස් හය වසක් සැඟවී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට වෙදකම් කිරීමෙන් ලද අත්දැකීම් පිළිබඳ ත‍්‍රාසජනක මාලා කතාවක් ‘ලංකාදීප’යට කියන අතරේම, ඒ විජේවීර බොරැල්ල කනත්තේදී පණ පිටින් පුළුස්සා මරා දැමූ රාජ්‍ය හමුදාවන් පාවා නොදෙනුයි ‘දිවයින’ට ලිවීමේ ඔළු දෙකේ දේශ හිතෛශී පිළිවෙත වනාහී පැසසුම් ලැබිය යුතු තරමේ ‘වික‍්‍රමයකි’.

මහ ලේකම් මෙසේ ලියයි:

‘‘රට පුරා අතුරුදන්වීම්වලින්, විශේෂයෙන්ම බටලන්ද වධකාගාරය තුළ සිදුවූ අතුරුදන්වීම්වලින් විශාලම වන්දියක් ගෙවා ඇති ජනතා විමුක්ති පෙරමුණද රණවිරුවන් පාවාදෙන මෙම ව්‍යවස්ථා විරෝධී පනතට එරෙහිව වචනයක්වත් කතා කරන්නේ නැත. ඔවුන් අද දේශපාලන වශයෙන් පල්ලම් බැස සිටින ස්ථානය ද ඒ මගින් පැහැදිලි වේ.’’

ඒ උධෘතයේ සාරය කාටත් තේරෙන බසින් ලීවොත් මෙසේ ය: ‘බටලන්ද හමුදා වධකාගාරය තුළ අතුරුදහන්වීම් සිදුවිය. ඒ අතුරුදහන්වීම්වලින් එදා ජනතා විමුක්ති පෙරමුණ බැට කෑවේය. එවැනි අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය කිරීමට කාර්යාංශයක් පිහිටුවීමට දැන් සූදානමක් තිබේ. ඒ තීරණය රණවිරු හමුදා පාවාදීමකි. ඒ ගැන ජවිපෙ නිහඬව සිටීම දේශපාලන පල්ලම් බැසීමකි.’

ඇතැම්විට දේශපාලනය පිළිබඳ දන්ත වෛද්‍ය විද්‍යාත්මක තර්කයක් සේ සැළකිය හැකි මෙවැනි විකල් තර්ක කොහෙන් පහළ වීදැයි කිසිවෙක් විස්මයට පත්විය යුතු නොවේ. දකුණේ පීඩිත ජන කොටස් රාජ්‍ය අපරාධකාරීත්වයේ වියගසට තබා ගැටගසන වර්ගවාදී වරපට මුළු හදින් කැප වී අඹරා දුන් ජවිපෙම, හත් අට වසරකට පෙර මේ වැනි අතුරුදහන්වීම් ගැන කී දෑ ‘රාවය’ට ලියූ ‘සමකය’ තීරුවේම වරක් මම උපුටා දැක්වීමි. ඒ මෙසේ ය:

‘‘2007 මාර්තු 14 වෙනිදා ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල්කාන්ත සම්මුඛ සාකච්ඡාවකට එක්කරගනිමින් වර්ධනය වන අතුරුදහන්වීම් සහ භීෂණකාරීත්වය ගැන ‘ලක්බිම’ පත‍්‍රය විමසා තිබිණ. පිළිතුර මෙසේය: ‘‘...මේක එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්න කොටි නියෝජිතයෝ වන දෙමළ ජාතික සන්ධානයේ අය කියනවා. ඊළඟට තමන්ගේ සාමාජිකයෝ, නායකයෝ අත් අඩංගුවට ගත්තු වෘත්තීය සමිතිවල අය කියනවා. ඇතැම් මාධ්‍ය කියනවා. එසේ නැතුව සමාජයේ පොදුවේ එහෙම තත්ත්වයක් ඇති වී නැහැ.’’ - පිළිකුල් සහගත අවස්ථාවාදය එතෙකින්ද නොනවතී. ’මානව හිමිකම් කඩවීම් සහ තැනින් තැන මළ සිරුරු හමුවීම්’ ගැන ඒ වසරේම ජූනි 17 වෙනිදා ‘ලංකාදීප’ පත‍්‍රය ලාල්කාන්තගෙන්ම විමසා තිබිණ. යළිත් පිළිතුර මෙසේය: ‘‘අතුරුදහන්වීම් මෙන්ම පැහැරගෙන යාම්ද සිද්ධ වෙනවා. මළ සිරුරුත් හමුවෙනවා. මෙතන තියෙන ප‍්‍රශ්නය තමයි, මේ ක‍්‍රියාදාමයට ආණ්ඩුවේ දායකත්වය කොතෙක්ද කියන එක. සෘජුවම මේ සියල්ලට රජය වගකිව යුතුයි කියලා කියන්න බෑ. රටේ යුදමය තත්ත්වයක් තියෙනවා. එබඳු යුදමය තත්ත්වයක් තිබෙනකොට මෙබඳු දේ බලාපොරොත්තු වෙන්න වෙනවා.’’ (‘රාවය’ - 2008 අගෝස්තු 03)

ජවිපෙ තිඹිරිගෙහි උපන් ‘දේශ හිතෛශී’ කල්පනාවන් පෙරළා ජවිපෙම හඹා ඒමේ උත්ප‍්‍රාසය ඉක්මවා ගිය වෙනත් ගැටළුවක් මේ තර්ක විසින් මතුකරයි. අඩ සියවසකට වැඩි කලක් දිග්ගැසුණු රාජ්‍ය අපරාධකාරීත්වය දිවි හිමියෙන් ආරක්‍ෂා කළ යුතු වීරත්වයක් සේ සළකන්නට ඒ  සාපරාධී පිළිවෙතෙහිම ගොදුරු බවට වරින් වර පෙරළුණු සිංහල ජනකොටස් කැප වී ක‍්‍රියා කරන්නේ ඇයි?

අතුරුදහන්වීම් පිළිබඳ ලංකාවේ වාර්තාව අසම සම එකකි. ඒ ඉතිහාසය අසම්පූර්ණව වුවද විමසා බැලීම වටියි. 1983 සිට 1987 දක්වා සිව් වසරක කාලයට අදාළ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ නිල ලේඛණයන්ට අනුව උතුරු නැගෙනහිර පළාත්වල වාර්තාගත අතුරුදහන්වීම් සංඛ්‍යාව 680කි. ඒ මර්දන පිළිවෙතට සෙත් පතා බෝධි පූජාවන්ට පෙළගැසුණු දකුණේ ගෙමිදුල් හරහා මිනිස් ඝාතක රාජ්‍ය හමුදා ඇවිද ගියේ අනතුරුව එළඹි දෑවුරුද්දේ ය. ඒ දෙතුන් වසරට අදාළව අතුරුදහන්වීම් පිළිබඳ සෙවීමේ එක්සත් ජාතීන්ගේ කාරක කමිටුවට වාර්තා වූ අතුරුදහන්වීම් සංඛ්‍යාව 10,131කි. නොනිල සංඛ්‍යාවන් මීට කිහිප ගුණයකින් වැඩි බැව් ඉතිහාසය මතක ඇත්තෝ දනිති. අනතුරුව දකුණේ ලේ මිදුණු ගම්බිම්වලින් උතුරේ දඩබිම් කරා යළිත් යවන ලද රාජ්‍ය හමුදා විසින් අඛණ්ඩව සිදුකරන ලද පැහැරගෙන යාමේ පරිමාණය කෙබඳුද යන්න, 1990 සැප්තැම්බරයේ දෙදිනක් තුළ පමණක් 342ක් නැගෙනහිරදී අතුරුදහන්  වීමෙන් පෙන්නුම් කෙරුණි. රාජ්‍ය භීෂණය අවසන් කිරීමේ ප‍්‍රතිඥාව යටතේ නව ආණ්ඩුවක් බිහිවන්නේ එයින් වසර කිහිපයක් ඇතුළත ය. 1996-97 දෙවසර ඇතුළතදී යාපන අර්ධ ද්වීපයෙන් පමණක් වාර්තා වූ අතුරුදහන්වීම් සංඛ්‍යාව 714කැයි එක්සත් ජාතීන්ගේ කාරක කමිටුව ලේඛණ  විසින් අනාවරණය කරනු ලැබුණේ ඒ අභිනව ආණ්ඩුව යටතේ ය. නමුත් ඒ දෑවුරුද්ද තුළ ලොව වැඩිම අතුරුදහන්වීම් වාර්තා වූ රාජ්‍යය ලෙස ලංකාව යළිත් පෙරමුණට ඒම, අතුරුදහන්වීම්වලින් සැහැසි ලෙස බැට කෑ දකුණේ කණස්සල්ලට හේතු නොවුණි. එකී දශකය තුළ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කරනු වස් රජය විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා හතරකට වාර්තා වූ 20,000කට වැඩි පැමිණිලි අතුරින් 16,305ක් වැඩිදුර විභාග කරනු වස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට යොමු කරනු ලැබිණ. එකී පරීක්‍ෂණයන්ගේ අවසාන තීන්දු කවරේදැයි යන්න පිළිබඳ නිරාකූල අදහසක් අද පවා කිසිවෙකුට නොමැත.

කලින් කල පැවැත්වෙන සර්වජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු යටතේ දශකයෙන් දශකය මිනිස් වර්ගයාට එරෙහි මහා පරිමාණ අපරාධ නිර්බාධිතව සිදුවන ලොව එකම ව්‍යතිරේඛී රාජ්‍යය ඇතැම් විට ලංකාව වීමට ඉඩ ඇත්තේ මේ ලේ වැකි ඉතිහාසය නිසා ය. නමුත් තමන් මගහැර අවශේෂ ජනයා දඩයම් කරන තාක් රාජ්‍ය අපරාධයන් වනාහී දිවි හිමියෙන් සුරැකිය යුතු ජාතික එක්සත්භාවයේ උරුමයකැයි කල්පනා කරන දකුණේ සංඛ්‍යාත්මක බහුතරයක් විසින් පෙන්නුම් කරන්නේ වර්ගවාදය විසින් සිංහලයාට කැණදුන් ලේ පිළී ගඳ ගසන දේශප්‍රේමී කුරුබිලියේ අගාධ ගැඹුරයි.

අතුරුදහන්වූවන් පිළිබඳ යෝජිත විමර්ශන කාර්යාංශය පිහිටුවීම ඉකුත් දශක තුනක කාලයක් තිස්සේ තොරොම්බල් කළ ව්‍යාජ කොමිෂන් සභාවන්ට වැඩිමනත් දෙයක් නොවන්නට  ඕනෑවටත් වඩා ඉඩ තිබේ. ‘අපේ අභිලාෂය රාජපක්ෂ පාලනය විසින් සිරකළ ජාත්‍යන්තර උගුලෙන් රටත්, වීරෝධාර හමුදාවත් ගළවාගැනීම’යැයි යසපාලක ආණ්ඩුව පුන පුනා දෙන ප‍්‍රතිඥාවන් විසින් සනාථ කරන්නේ ඒ යථාර්ථයයි. නමුත් රජයේ අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම ‘රජයේ හමුදාවන්ට එරෙහි රාජ්‍ය විසින්ම කරන කුමන්ත‍්‍රණයක්’ සේ සළකන්නට පුහුණු කළ පීඩිතයන් ගහණ සමාජයක දේශහිතෛශී උද්වේගය වනාහී මෘත ක්ලේබර හා සම්භෝගයෙහි රුචි ශවකාමයට වැඩිමනත් දෙයක් නොවේ.☐  

(මෙම ලිපිය 2016 අගෝස්තු 14 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය. / ප්‍රධාන සේයාරුව - දකුණේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින්  සංවිධානය කළ උද්ඝෝෂණයක් -  1990)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.