මහප්පා
- Post 16 April 2018
සන්සුන් අවධානය
සාවධාන සමාධියකට
මුල පිරී ය
මීදුම් පටල පහව
නීල කොබෝ පියන් ඇරින
ජීවිතයේ සාරම යාය හරහා
සිතුවිලි කිරණ මෝදු කොට
මුතුරාජවෙල හැල අයිනෙන්
ඒ රුව මතුවිය
පිට මැදට වැටුණු
හැඩපළු ගෙතුණ කියඹු
පරළු දළ රවුළු
ගැඹුරු ලෙන්ගතු
කෘන්තක මඳහසෙන්
මම ඇඳින්නෙමි
සිමෙන්ති වැඩපළේ
නමිනං ගහ යට
සරම් කෙටියක් ඇඳන්
බුලත් විටකුත් කකා
පොල් කට්ටක් හා සමවැදී
වක් පිහියෙන් සුඹුටු රහිමින්
ලුණු පොල් කට්ටක් තනමින්
හේ, ගැඹුරු භාවනාවක
වම් බාහුවේ සියැටැල්ගෙ පච්චය ද, එලියස් ද*
ගාම්භීරව එදෙස බලා සිටියෝ ය
නුරුස්නා කම් ද
ලෙන්ගතු කම් ද
වියගස ද
කෙවිටි බෝය ද
රැලේ උං ගැන
කොහොඹා පෝරුව ද
සිතුවිලි ද හද තුළ විය
මීයෙකුගේ කඩිසරකම ද
වේයකුගේ නිමාණය ද
සිංහයකුගේ මානය ද
හස්ති ගර්ජනාව ද විය
නො නෑයන් අතර
ලෙංගතුකමට
කුණුහබ්බයක් හෝ කියූ
එකම නෑයා නුඹ විය
නුඹ මළ දා රෑ
නමිනං ගහ හෙව්වෙමි
හමු නොවුණු පපුවට
සිගරට් එකක් පෙව්වෙමි
දුම් බිව්ව එකම නෑයා නුඹ විය
මළ ගෙදර උත්සවේ
වේට්ටියක් ඇඳ සිටි
එකම හා අන්තිම නෑයා ද නුඹ ම ය.
නුඹේ මිතුරෝ
අපේද මිතුරෝය
මතුරන ඇම්මාර්.
ගොතගහන අමරෙ
තාච්චි හදපු ප්‍රැන්සිස්
පුංචි ලෝකයේ
සදා සමරපු සොහොයුරෝ
නුඹෙන් ගිලිහුනු ජීවිතේ රෑට හීනෙන් පේනවා
මහ රෑක ඉර පායලා තරුත් එක්කම දිලෙනවා
නාගොඩ පල්ලියේ තාප්පය උඩ
නුඹේ සිමෙන්ති ඕලූ මල්
හැම උදේට ම පිපෙනවා
නමක් නොගැසූ කුරුසියක් යට
නුඹේ මතකය තියෙනවා
ආයේ නො එන බවට
හතර අතේ පලිගැහුවට
වැස්ස දවසක
ඇවිදින් දොරකඩට
‘කොහොමදැ’යි අහනවා
ඒක මම දන්නවා
* මහප්පා මා ඇමතූ නම
වජිර දීප්ති වීරකෝන්
© JDS