JDS Sinhala

හැඳුනුම්පතක කටහඬ

පුරාවෘතගත පලස්තීන කිවි මහ්මූද් දාර්වීෂ් බටහිර ගැලීලයේ ඉපිද පිටුවහලේ මිය ගියේය. ආක්‍ර‍මණකාරී කොල්ලකාරීත්වයත්, සාමූහික ජීවන සංතාපයත්, අපේක්‍ෂා භංගත්වයත් විසින් වටලා මැඩලනු ලැබූ සිය ජනයාගේ භංගුර දිවි පවත පිළිබඳ ශෝකී යථාර්ථය සිත් කා වදින බසකින් චිත්‍ර‍ණය කිරීමේ ඔහු සා සමත්කම් පෑ අන් කිවියෙකු නැති තරම් ය. කොමියුනිස්ට් පක්‍ෂ ක්‍රියාකාරිකයෙකු ලෙසත්, පලස්තීන විමුක්තිකාමියෙකු ලෙසත් ක්‍රියාකළ හෙතෙම, 1993 දී ඊශ්‍රායලය හා අත්සන් තබන්නට යෙදුණු ඔස්ලෝ සම්මුතියට විරෝධය පා පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක සභාවෙන් ඉල්ලා අස්විය. 1964දී දාර්වීෂ් විසින් Identity Card මැයෙන් ලියන ලද මේ කව සිය සමස්ත සත්තාවෙන්ම නිදහස පිණිස කැපව සටන් කළ මිනිසෙකුගේ අකුටිල චිත්තය විදාරණය කොට දක්වයි. (දාර්වීෂ්ගේ රුව, ඇල්ජීරියානු සිතුවම්කරු හාමූද් අයිසාම් විසිනි)

පරිවර්තනය: මංජුල වෙඩිවර්ධන


 

සියල්ලට පෙර ලියාගනු හැක!
අරබ්බෙක් වෙමි මම.
මගේ හැඳුනුම්පතෙහි අංකය පනස්දහස ය.
අට දෙනෙක් වෙති දරුකැළ
ගිම්හානෙකින් ඉක්බිති
නවවැනියාද පැමිණෙත.
ඔබට තරහද?

ලියාගනු හැක!
අරබ්බෙක් වෙමි මම.
මිත්‍ර කම්කරු සනුහරය හා වැඩකරමි කොරියක.
අට දෙනෙක් වෙති දරු කැළ.
ගල්කුළු වලින් ගෙන දෙමි
ඇඳුම්-කැඩුම්ද පොත්-පත්
රොටි-බොටිද ඔවුනට.....
නො යදිමි පිළිසරණ ඔය දොරකඩ
කිළිටි කර නොගනිමි ආත්මය ඔය කුටීරය පාමුල
ඉතින්, ඔබ...තරහද?

ඔව්, ලියාගනු!
අරබ්බෙක් වෙමි මම,
පටබැඳි නමක් නැති, නමක් පමණක් ඇති.
මිනිසුන් තරහවෙන් පුපුරන
රටක ඉවසන පපුවෙක.
මගේ මුල් මෙහි
කිඳෙනු ලැබ ඇත කාලෝද්භවයට පෙර
යුග ඇරඹෙන්නටත් පෙර
පයින් ගසටත්, ඔලිව් ගසටත් පළමුව
තෘණ වැවෙන්නත් ඉස්සර.

මගෙ තාත්තා...පැවත එන්නේ ‘නගුලු’ පරපුරකින් මිස
ප්‍රභූ වරිගයකින් නොව
ගොවි මහත්තැන් කෙනෙකු වූ ඒ මා පිතාමහ.....
විනීතත් නැත, කුලීනත් නැත.
අකුරු කියවනු පෙර ඔවුන් මට
කියදුනි දිනිසුරුගෙ අබිමන.
අතු ඉතිද වේවැල් වලින් සැදි
මුර පැලකි, ඔව්, මගේ නිවහන
තෘප්තිමත්දෝ ඔබ,මගේ තත්වය ගැන?
පටබැඳි නමක් නැති නමක් ඇත මට.

ලියනු යෙහෙකිය!
අරබ්බකු වෙමි මම.
පැහැර ගනු ලැබ ඇත ඔබ
මගෙ මුතුන් මිත්තන්
පළ නෙළූ පළතුරු වතු
මගේ දරුවන් සමගින්
මා වගා කළ භූමිය
අපට කිසිවක් තබා ගොස් නැත
මෙ ගල්කුළු පමණ ය
රජය එයටත් වගකියාවිද
ඔය ඇහෙන විදිහට.

ඉතින් එබැවින්!
ලියනු යෙහෙකිය පළමු පිට මුදුනෙම;
ද්වේශ නොකරමි මිනිසුන්ට මම,
ආක්‍රමණිකයෙක්ද නොවන්නෙමි
ඔවුන් සතු සියලු දෑ කොල්ලකන.
නමුත් ඇවිලුණහොත් කුස,
ආක්‍රමණික තොප මාංශය මගේ  අහර ය.
කල්පනාවෙන්!
සීරුවෙන් ඉනු යෙහෙකිය!

මා කුසාග්නි ගැන හා
කෝපාග්නිය ගැන.

 

මහ්මූද් දාර්විෂ්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.