JDS Sinhala

ඉන්දරේ සහ මාලිනී


වක දහසය ගෙවුණු අලුත ය
‘ඇපල් වත්තේ’ මාලිනී
බොහෝ ඉඟි බිඟි පිරූ දෑසට
ප්‍රොජෙක්ටරයත් ගැස්සුණී;
ඈත් මඳකට නැවතුණී
රීල් අංකත් පැටලුණී
ඇතැම් කලු - සුදු රූපරාමු ද
එතැන් සිට පැහැ ගැන්වුණී;
‘පයිට්’ අඩු වී
බොහෝ තැන්වල
ප්‍රේම ගීත ම රැව් දුනී

දිනෙන් දින කල් ගත ව සතොසින්
ඉතා වේගෙන් පැතිරුණී,
මනෝ නන්දන පෙම් පුරාවත;
‘ඉන්දරේ සහ මාලිනී’
බොහෝ බැල්කනි, ගැලරි සනහා
දෑවුරුද්දක් ගතවුණී

අලුත් පිටපත්වලට ඉඩ දී
පැරණි කටවුට් ගැලවයද්දී
ඇතැම් සුන්දර රූප රාමු ද
කෙමෙන් අවපැහැ ගැන්වුණී;
නිබඳ පෙම් රස පහස අත් විඳි
උයන් තුරුගොමු ගොලු විණී

*        *        *        *

‘ගෙවල් සීයේ’ විජේ සමගින්
වහං වී ගිය මාලිනී
එදා හරියට දෙකහමාරට
හෝල් එකට ම ආ සැටී,
අහම්බෙන් දුටු ඔහුට
‘කඩවුණු පොරොන්දුව’ යළි සිහිවුණී

හයයි හතරේ පුංචි කවුළුව
පවා සුසුමින් තෙත් වුණී
සිසාරා බැල්කනිය කෙළවර
සෙවූ සඳවත හමුවුණී;
එදා කරුමෙට රීල් එකකුත්
දෙතුන් පාරක් හිරවුණී

හයහමාරේ පටන් එක දෙක
පිරූ වීදුරු හිස් ව ගිය සඳ,
දරා ගන්නම බැරි ව තැන තැන
මැවී පෙනුණෙ ම ඇගේ දෑස ය;
හිතට ආවෙ ම හෙලූ බැල්ම ය
නික්ම යද්දී මාලිනී

*        *        *        *

ෂෝ එකේ මැද, කිහිප තැනකම
හැමූ උණුසුම් සුළං පහරට
වැටුණු ‘මැග්නීසියම්’ පුපුරක්
ඉන්දරේටත් ‘මිස් වුණී’;
රීල් සේරම උණු වුණී,
ඉන්දරේවත් මැදි වුණී
‘ප්‍රොජෙක්ටර් කාමරේ’ වහගෙන
ගින්න වේගෙන් ඇවිලුණී...

අතරමැද එක ප්‍රේම ගීයක
චිත්‍රපටිය ද නැවතුණී...

 

සෞම්‍ය සඳරුවන් ලියනගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.