ඒ දැරිය, කිවිඳිය
- Post 20 January 2015
කුරුලු හඬකින් හිනැහී නැගිටපන් කිව්වට
ප්‍රීතිමත් හඬක් නොවේ ඔරලෝසුව උදේට
හිරිවැටුන අත් වලින් කූරු ගානකොට
කවියක් වුනත් දියවෙයි උණු තේකක.
බත් බඳින කොට හැමදාම උදේට
ආදරේ තියන්න හිතුවත් පැත්තකින් ටික ටික
පරිස්සම් කර තැබූ හින්දද කොහෙද
හොයාගන්නත් බෑ හැංගිලා අහු මුළුවල.
ෆයිල් මිටි මිටි උස්සගෙන එනකොට
දේවදුතයෙක් වුව රකුසු පාටයි යන්තමට
කැමති විදියට ගාට ගාටම යනවට
දඬුවම් දෙන්නමයි ඕනි පැය කටුවට.
කුණු හේදෙන එක යහපත් දෙයක් වුව
රෙදි හෝදන එක රසවත් නෑ එපමණ
දෝෂාභියෝගයක් කරන්න හිතයි දෙවියන්ට
නියම කල නිසා මේ වැඩ අපිටම.
කවියක් වුනත් ලියන්න හිතුනට
සංවර විය යුතු නිසා ගෑනු අප
හදවතේ නිතරම තුවාලයකි
වෙඩි වැදී ලේ සැරව එකතුවුණ.
නින්දට පෙර නියමවූ විදියට
රතිය නම් මහා ප්‍රෝඩාවේ කෙලවර
සැගවී හිඳී නිශ්ශබ්ද සුසුමක
තවම වැඩිවිය නොපත් දැරියක, කිවිඳියක.
රසිකා ගුණවර්ධන
© JDS