1971 කැරැල්ලෙන් පනස් වසරක්: 'ලංකාවේ බහුජන මුහුණුවර ප්‍රමෝදයේ සිට වියවුල දක්වා' - I
- Post 05 April 2021
අත්‍යවශ්‍ය පෙරවදනක්:
එක් දහස් නමසිය හැටේ සහ හැත්තෑවේ දශකයන් පැරණි විජිතවාදයටත්, නව යටත් විජිතවාදයටත් එරෙහිව ජාතික විමුක්තිකාමයේ සහ සමාජ විප්ලවකාරීත්වයේ වඩදිය ත්‍රෛ මහාද්වීපික කලාපයන් තුළ නැග ආ සමයකි. ප්‍රංශ යටත් විජිතවාදයට එරෙහිව හෝ චී මින් හා ජෙනරාල් න්ගුයෙන් වැන් ගියෙප් විසින් මෙහෙයවන වියට් මින් ගරිල්ලන් විසින් වයඹදිග වියට්නාමයේ ඩියෙන් බියෙන් ෆූ හිදී 13,000ක ප්‍රංශ හමුදා සේනාංක වටලා පහර දී තීරක ජයක් අත්කර ගනිමින් පළමු ඉන්දු චීන යුද්ධය නිමාකොට පස් වසක් ඇතුළත, ෆිදෙල් කැස්ත්‍රෝ විසින් මෙහෙයවන ලද කියුබානු ගරිල්ලන් සියාරා මයේස්ත්‍රා කඳු මතින් බැස හවානා නගර වීදී ඔස්සේ රාජ්‍ය බලය කරා ගමන් කළහ. බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා පෘතුගීසී විජිතවාදයට එරෙහිව අප්‍රිකානු මහාද්වීපයේ දිග්ගැසුණු ජාතික විමුක්ති අරගල අවුළුවා ලූ උද්වේගී දවස් පසුපසින් අර්නස්ටෝ චේ ගෙවාරාගේ කොමියුනිස්ට් ගරිල්ලා අවතාරය අප්‍රිකානු කොංගෝවේත්, මධ්‍යම ඇමරිකාවේත් රහස් සැරිසැරීම් අරඹා තිබුණි.
ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණත් සමග එකාබද්ධව එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවන ලද්දේ 1963 අගෝස්තුවේදී ය. සැප්තැම්බරයේදී 30,000කට ආසන්න කම්කරු සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කැඳවන ලද වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ජාතික සමුළුව කම්කරු අයිතීන් හා සුබසාධනය පදනම් කරගත් ඉල්ලීම් 21ක ව්‍යාපාරයට මුලපුරන ලදී. බාලා තම්පෝගේ නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ සේවක සංගමයේ මෙහෙයවීමෙන් සටනට බට වරාය කම්කරුවෝ දින 69ක් දිග්ගැසුණු වර්ජන ක්‍රියාමාර්ගය නිමා කරන ලද්දේ 1964 ජනවාරියේදී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ලංකා සම සමාජ පක්ෂයේ බහුතර නායකත්වය විසින් ගන්නා ලද තීරණයට විරෝධය පාමින් බලා තම්පෝ සහ එඩ්මන්ඩ් සමරක්කොඩිගේ නායකත්වයෙන් යුතු සුළුතර කණ්ඩායම පක්ෂයේ ජාතික සමුලුවෙන් නැගිට ගොස් සතියක් ඇතුළතදී සම සමාජ - කොමියුනිස්ට් නායකයෝ සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ කොටස්කරුවන් බවත් පත්වූහ.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉන්දු චීනයේ ගෙනගිය දශකයක් දිග්ගැසුණු රහස්‍ය මෙහෙයුම් අවසානයේ දෙවැනි ඉන්දු චීන යුද්ධයේ ලේබත් දශකයකට දොරටු අරිමින් දකුණු වියට්නාමයට ඇමරිකානු මැරීන් සේනාංක ගොඩබට 1965 වසරේදී, මාතර කෝට්ටේගොඩ කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකාර ග්‍රාමීය පහළ මැද පාන්තික පවුලකින් ආ තරුණයකු විසින් මාඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගමින් ගම සිංහල තරුණ ජනයා නව දේශපාලන ව්‍යාපාරයක් වටා බලමුළු ගැන්වීමට මුලපුරන ලදී.
1971 අප්‍රේල් 05 වැනිදා, දකුණු ලංකාවේ අපේක්ෂා භංගත්වයෙන් කැකෑරුණු හද්දා පිටිසර ගම් නියම් ගම් දෙදරවා ගම්බද තරුණ කැරැළිකාරීත්වයේ යමහල් සිය දහසක් එකවර පුපුරා ගිය ජනතා විමුක්ති පෙරමුණේ පළමු සන්නද්ධ නැගිටීමට පසුතලය සපයන ලද්දේ යට කී ජාතික හා ජාත්‍යන්තර වර්ධනයන් විසිනි.
ඉන්දු උපමහාද්වීපික කලාපය සසළවා ලූ සමාජ පිපිරීමක් සේ සැළකුණු 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස් මාසයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ වාමාංශික ශාස්ත්‍රඥයකු වූ ෆ්‍රෙඩ් හැලිඩේ විසින් ලියන ලද The Ceylonese Insurrection නැමති මුල් ලිපිය පළමුවෙන් පලවූයේ New Left Review සඟරාවේ 1971 සැප්තැම්බර්/ඔක්තෝබර් කලාපයේ ය. රොබින් බ්ලැක්බර්න්ගේ සංස්කරණයෙන් 1975 දී පලකළ Explosion in a Sub Continent නම් කෘතියෙහි යළිත් සකස් කොට පලකරන ලද එම දීර්ඝ ලිපියෙහි සිංහලට නගන ලද සංක්‍ෂිප්ත පරිවර්තනයක්, 71 අප්‍රේල් නැගිටීමට 25 වසරක් පිරීම සමරනු වස් ‘හිරු’ සඟරාවේ 1996 අප්‍රේල් මස කලාපයේ පළමුවරට පළවිය.
2010 අප්‍රේල් මාසයේ බාසිලෝනා නගරයේදී සිය දිවි සැරිය නිමාකළ ෆ්‍රෙඩ් හැලිඩේ පනස් වසකට පෙරාතුව ලියන ලද එම ලිපියේ පළමු කොටස මෙසේ යළිත් පළකරනුයේ, 1971 අප්‍රේල් නැගිටීමට අඩ සියවසක් පිරීම නිමිත්තෙන්, ජේඩීඑස් වෙබ් අඩවියෙහි පළකිරීමට නියමිත ලිපි පෙළක ආරම්භක පියවර වශයෙනි.
සංස්කාරක කමිටුව | ෆ්‍රෙඩ් හැලිඩේ විසිනි
එ
ක් දහස් නමසිය හැත්තෑ එකේ නැගිටීම සම්බන්ධයෙන් වන විවේචනාත්මක මාක්ස්වාදී ශේෂ පත්‍රයක් විසින් ඒ කෙරෙහි ලොව පුරා විප්ලවවාදීන්ගේ සහයෝගය ශක්තිමත් කරනු විනා ඒ සමග ප්‍රතිවිරෝධයක් ඇති නොකරයි. සූදානම්වීම සහ ශක්තිමත්වීම සඳහා වන දීර්ඝ හා දුෂ්කර ඉලක්කයකට ජනතා විමුක්ති පෙරමුණ සහ එහි මිතුරන් මුහුණ දී සිටියි.
ලංකාවේ ග්‍රාමීය සමාජයේ සමස්ත ව්‍යුහයේම ඇතුළතින් ගැඹුරුවන අර්බුදය අමතකකොට දමා ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂය, 1970 මැයි මාසයේදී මහා මැතිවරණය සඳහා සිය ‘ආර්ථික ජයග්‍රහණයන්’ පිළිබඳව ප්‍රචාරක වේදිකා හරහා ඡන්ද ව්‍යාපාරයේ යෙදිණ. සහල් ආනයනය ටොන් 600,000 සිට ටොන් 300,000 තෙක් තමන් විසින් පහත හෙලූ බවටත්, කොළඹින් පිටත තෙල් පිරිපහදුවක් ගොඩනැගීම සඳහා ඉතාලියානු සමාගමක එකඟතාවය දිනාගත්බ වටත්, මහවැලිය ආශ්‍රිත ජලවිදුලි යෝජනා ක්‍රමයක් සඳහා ලෝක බැංකු මූල්‍යාධාර ලබාගැනීම පිණිස ගිවිසුමකට එළැඹුණු බවටත් ඔවුහු උදම් ඇනූහ. ඇත්ත වශයෙන්ම, දකින්නට තිබූ ආකාරයට නම් විරැකියාව ඉහළ යමින් තිබූ අතර සහල් ආනයනය කපා හැර තිබුණේ දේශීය පරිභෝජනය අඩු කිරීමෙනි.
සමාජවාදය පිළිබඳ ව්‍යාජ අලංකාරයන්ගෙන් ඔපදැමූ නොපැහැදිළි, ප්‍රතිසංස්කරණවාදී පොරොන්දු සහිත වැඩපිලිවෙලක් සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ලංකා සම සමාජ පක්ෂයේත්, රුසියානු හිතැති කොමියුනිස්ට් පක්ෂයේත් එකතුවෙන් ඊනියා ‘සමගි පෙරමුණක්’ එජාපයට එරෙහිව ගොඩනගනු ලැබිණ. පොරොන්දු අතර සහල් සහනාධාරය යළි ලබාදීම, ආනයන-අපනයන වෙළඳාම පාලනයකට යටත් කිරීම, තෝරාගත් ව්‍යාපාරයන් ‘ලාංකීකයකරණය’ කිරීම ආදිය ද විය. තම අසීරු ජීවන තත්ත්වයන් සැහැල්ලු කරගැනීම පිණිස අරමුණු විරහිතව ක්‍රියාකළ ලාංකීය ජනතාව ශ්‍රීලනිපය හා එහි වාම මිතුරන් දෙසට යළිත් - අවසාන වරට - හැරුණාහ. ආසන 151කින් ආසන 125ක් දිනාගත් ශ්‍රීලනිප (තනිව ආසන 90ක්) හා ලසසප - කොප හවුලේ සුවිශාල මැතිවරණ ජයග්‍රහණය, මායාවෙන් වෙළුණු පීඩිත කම්කරුවන් හා ගොවීන්ගේ ජය ඝෝෂාවලට හේතුවිණ. උත්සන්නව නැගීගත් මහජන උද්යෝගය සහ අපේක්ෂාවන් විසින් පෙරළා ප්‍රතික්‍රියාවන් රැගෙන ආවේය.
ඡන්ද ප්‍රතිඵල නිවේදනය කොට පැය කිහිපයක් ඇතුළතදී කොළඹ රැස් කෑ ජනයා ධනපති ආණ්ඩුවේ පත්තර බලකොටුව වූ ලේක්හවුසිය කරා ගමන්කොට එය වැනසීමට උත්සාහ කළහ. සමගි පෙරමුණු ජයග්‍රහණයත් සමඟම රට අභ්‍යන්තරයට වන්නට වූ විශාල වතුයායන් ජනයා විසින් ස්වයංසිද්ධව අත්පත් කරගැනීම් සිදුවිය.
එහෙත් පස් මාසයක් ඇතුළතදී බ්‍රිතාන්‍යයේ පළවන ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පත්‍රය මෙසේ ලීවේය. ‘ලංකාවේ බහුජන මුහුණුවර පරම ප්‍රමෝදයේ සහ අපේක්ෂා සහගතභාවයේ සිට වියවුල සහ අතෘප්තිය දක්වා බලවත් ලෙස පිරිහෙලී තිබේ.’ (1970 ඔක්තෝබර් 27- Daily Telegraph)
සභාගය තුළ ආධිපත්‍ය හිමි බලවේගය වූයේ ශ්‍රීලනිපයයි. 23ක් වූ මුළු කැබිනට් ඇමති ධූරයන්ගෙන් 19ක්ම ඔවුන් දැරූ අතර, කොමියුනිස්ට් පක්ෂය එකක් ද, ලසසපය ආර්ථිකයට සම්බන්ධ ඇමති ධූර තුනක්ද දැරූහ. ‘සමාජවාදීන්’ එහි රැඳී සිටියේ ආණ්ඩුවට වමේ ආවරණයක් සැපයීමට ය. සභාග වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරණු ලැබූවද, එය ලංකාව තුළ වූ අර්බුදය වෙනස් කිරීමට සමත් නොවනු ඇතිබව පැහැදිලි ය. නියතය වූයේ, බණ්ඩාරනායක රජය, තමන් එකී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බව ව්‍යාජව හෝ පෙන්වීමට අසමත් වූ බව ය. අභ්‍යන්තර හා බාහිර බලවේගයන් විසින් ඔවුන් එසේ කිරීමෙන් වළකනු ලැබිණ.
රට තුළ පැවති ප්‍රශ්නවල බරපතලභාවයත්, ආණ්ඩුවේ පංතිමය උවමනාවනුත් අතර වූ විශාල ප්‍රතිවිරෝධයේ අරුත වූයේ මැද මාවතක් නැති බව ය. ගැටළු සමඟ මුහුණලා පොරබදන්නට සිදු වූ කවර ප්‍රතිපත්තියක් වුව ද, ලාංකීය ආර්ථිකය හා පංති සම්බන්ධතාවයන් ප්‍රතිව්‍යුහකරණය කිරීමක් හා සම්බන්ධ විය යුතුව තිබිණ. බාහිරව, ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය ආයතනයන්ගේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම්වලට ඉක්මණින්ම යටත් විය.
ජවිපෙ නැගී එයි
ආර්ථිකමය වශයෙන් වූ සිය අපේක්ෂා භංගවීමෙන්, තහවුරුව පැවති වාමාංශය හා ශ්‍රීලනිපය දෙසට හැරෙන්නට ජනතාවට සිදු විණ. නමුත් සිය පාලනය අත්නෑර තබා ගැනීමට හෝ, අංශභාගය වැළඳුණු ලාංකීය පාර්ලිමේන්තුවාදී ආකෘතීන්ගෙන් බිඳී සූරාකෑමට පාත්‍රවූවන් හා සෘජු සබඳතාවයක් ගොඩ නගාගෙන තිබූ බලවේගයක් වෙතින් එල්ල වූ සැබෑ අභියෝගයට මුහුණදීමට හෝ සිරිමාවෝ බණ්ඩාරනායකගේ කඳුළු උපදවන සටකපටභාවයටත්, පෙරේරාගේ හා කේනමන්ගේ කූට වාමාංශයටත් නොහැකි වූයේ, අර්බුදයේ අතිශය බරපතලභාවය හේතුවෙනි. මෙම අභියෝගය එල්ල වූයේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ වෙතිනි. 1965 දී චීන හිතවාදී කොමියුනිස්ට් පක්ෂය තුළ වූ බෙදීයාමකින් ජවිපෙ බිහිවූයේ, පක්ෂය විසින් වතු වැවිලි ක්ෂේත්‍රයෙන් පිටස්තරව පැතිර සිටි ලාංකීය ගොවීන් නොසළකා හැර, විශේෂයෙන්ම නාගරික වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම විවේචනයට ලක්කිරීම හේතුවෙනි. ජවිපෙ සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ චීන හිතවාදී කොමියුනිස්ට් පක්ෂය හා සාම්ප්‍රදායික වාමාංශය කෙරෙහි වූ සිය විවේචනයන් ඇසුරින් සකස් කරගත් න්‍යායාත්මක සාධක දෙකක් මත පදනම් වෙමිනි. එනම්,
1) ලංකාවේ ස්වාධීන ජාතික ධනේෂ්වරයක් නැති බවත්
2) ලාංකීය විප්ලවයේ ප්‍රධාන බලවේගය වතුකරයෙන් පිටත වූ ගොවි සමූහයා බවත් ය.
නමුත් කොමියුනිස්ට් පක්ෂයන් දෙකෙහිත්, ලසසපයේත් විශ්වාසය වූයේ බණ්ඩාරනායකවරුන් ප්‍රගතිශීලී ජාතික ධනපති පංතියක් නියෝජනය කළ බව හා එය විසින් අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනයන සටනට සහාය දිය යුතු ය යන්න ය. ජවිපෙ විසින් මෙම මිත්‍යාවට පහරදෙමින් එය ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළේය.
‘....ශ්‍රී ල.නි.ප.යේ ස්වභාවය තේරුම් ගැනීමට නම්, එය විසින් නියෝජනය කරන ජාතික ධනේෂ්වරයේ ස්වභාවය විශ්ලේෂණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙය, ස්වාධීන වූ සමාජ තත්ත්වයක් හිමි නැති දුර්වල හා වැනෙන සුළු පංතියකි. එක් අතකින් මෙම පංතිය නිර්මාණය කරන ලද්දේ අධිරාජ්‍යවාදීන් විසින් වන අතර, එහෙයින්ම එයට අධිරාජ්‍යවාදය හා සබඳතාවන් තිබේ. අනෙක් අතින්, ආර්ථික වශයෙන් හා සාමාජීය වශයෙන් ඔවුන් අධිරාජ්‍යවාදීන්ගේ තර්ජනයන්ට ලක්වූ විට ඔවුහු ‘සමාජවාදීන්’ බවට පත්වී අධිරාජ්‍යවාදයට එරෙහිව හඬ නංවති. සමාජවාදය පිළිබඳ මෙම හිස් මොරදීම ඉපදී ඇත්තේ පිරිසිදු අවස්ථාවාදයෙනි. මෙය බණ්ඩාරනායකත් සමඟම ඇරඹුණු අතර, ශ්‍රී ල.නි.ප.ය විසින් එය තවදුරටත් පවත්වාගෙන යයි.....’
- “ශ්‍රිලනිප - ජාතික ධනේෂ්වරයේ ඒජන්තයා” - විමුක්ති 1970 දෙසැම්බර් 20/අංක 07
ජවිපෙ සිය දෙවන ප්‍රධාන තීසිසය මගින් සැළකිල්ලට භාජනය කරන ලද්දේ වතුකරයෙන් පිටස්තර ග්‍රාමීය අංශයයි. හැට ගණන්වලදී ආර්ථිකයේ සිදු වූ බිඳවැටීමේ ක්‍රියාදාමය වැඩියෙන්ම දැනුනේත්, වැඩිම රැකියා වියුක්තික තරුණ පිරිසක් සිටියේත් මෙම අංශයෙහි ය. ශ්‍රී ලංකාවේ විප්ලවකාරී බලවේගයන් තුනක් මූලික වශයෙන් සිටින බවට ජවිපෙ තර්ක කළේය. එනම්,
1. නාගරික නිර්ධනයාත්,
2. වතුකරයේ නිර්ධනයාත්,
3. වතුකරයෙන් පිටස්තර ගොවි සමූහයාත් ය.
ඓතිහාසිකව වඩාත් සටන්කාමී වූයේත්, හොඳින් සංවිධානයව සිටියේත් නාගරික නිර්ධනයා ය. වතුකරයේ දෙමළ නිර්ධනයන්, ශ්‍රිලනිපයේ හා එහි මිතුරු කණ්ඩායම්වල ජාතිවාදයේ ගොදුරුබවට පත්ව ඇති බවත්, එනිසාම ආරක්ෂාකාරී ජාතිභේදවාදයක් තුළ ඔවුන් සිරගතව ඇති බවත්, ජවිපෙ සැළකීය. මෙම මූලික විප්ලවකාරී බලවේගය නාගරිකව සහ ග්‍රාමීයව ලංකාව තුළ වූ සූරාකනු ලබන පංතීන්ගෙන් මෙසේ කපා වෙන්කර හැර ඇති බව ඔවුහු කියා සිටියහ.
ජනගහණයෙන් සංඛ්‍යාත්මක බහුතරයක් වූ හෙයින්, ජ.වි.පෙ.ට අනුව ලාංකීය විප්ලවයේ ප්‍රධාන බලවේගය වූයේ වතුකරයෙන් පිටස්තර අංශයේ වූ ගොවි ජනයායි. වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ ශේෂයන් ඇත්ත වශයෙන්ම ඉතිරිව තිබුණද, මෙම අංශය ප්‍රබල ලෙස ධනේෂ්වර බැව් ප්‍රතිසංස්කරණවාදී පක්ෂවල මතවාදයන්ට පටහැනි ලෙස ජවිපෙ තර්ක කළේය.
ලාංකීය තත්ත්වය තුළ වඩාත් යෝග්‍යවන විප්ලවීය සටන් විධිය ගරිල්ලා යුද්ධය නොව, සන්නද්ධ නැගිටීමය යන, සිය දේශපාලනයේදී මූලික වූ තුන්වැනි තීසීසයක් ජ.වි.පෙ. වර්ධනය කරගත්තේ ව්‍යාපාරය රහසිගතව වැඩෙමින් තිබූ කාල වකවානුව තුළ ය.
1970 මුල් භාගයේ මැතිවරණ ව්‍යාපාරයේදී ජවිපෙ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇතැයි කියාසිටි පාලක එජාප ආණ්ඩුව ජවිපෙ සමග සබඳතා ඇතැයි සැකකළ තරුණයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ජවිපෙ ප්‍රසිද්ධ නායක රෝහණ විජේවීර ද ඊට ඇතුළත් විය. ඔවුන් ‘චේ ගුවේරාවාදීන්’ ලෙස හැඳින්වුණු අතර (ඔවුහු තමන් මෙනමින් කිසිවිටක හඳුන්වා නොගත්හ) සීඅයිඒ ඒජන්තයන් බවට ද චෝදනා එල්ල කරනු ලැබිණ. මෙම තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රිලනිප - ලසසප - කොමියුනිස්ට් පක්ෂ වැඩ පිළිවෙලට සහාය පළ කළ අතර, එනිසාම ජවිපෙ සිරකරුවන් නිදහස් කරන බවට මෙකී විරුද්ධ පක්ෂ ප්‍රකාශ කර සිටියහ. කෙසේ වුවද මේ මොහොතේදී පවා සභාගය, ජවිපෙ පිළිබඳ බොහෝ පරිස්සම් සහගත වූ අතර එජාපය මගින් අත්අඩංගුවට ගත් ජවිපෙ ආධාරකරුවන් නිදහස් කිරීමට නව බණ්ඩාරනායක රජයට මාස දෙකක් (ජූලි මාසය තෙක්) ගතවිය. ඉතා කෙටි කාලයක් සඳහා සාපේක්ෂ දේශපාලන නිදහසක් ජවිපෙ භුක්ති විඳි අතර, සිය පුවත්පත වූ “විමුක්ති” ප්‍රකාශයට පත්කිරීමටත්, බාධාවකින් තොරව ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමටත්, ඔවුන්ට හැකියාව ලැබිණ. විශේෂයෙන්ම ජවිපෙ පහත ඉල්ලීම් ඕනෑකමින් අවධාරණය කර සිටියේය. වතු ජනසතු කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම, සියළුම අධිරාජ්‍යවාදී දේශපාලන හා සංස්කෘතික ඒජන්සි ආයතන පළවා හැරීම, බැංකු ජනසතු කිරීම සහ මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ සියළුම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම එකී ඉල්ලීම් ය.☐
දෙවැනි කොටස: කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු සෙබළුන් විසින් පුළුස්සා දැමූහ
(මතු සම්බන්ධයි / ප්‍රධාන සේයාරුව Getty Images)
© JDS