JDS Sinhala

'53 හර්තාලය: 'පොලිසිය බැරැක්කවලට පසුබසින තෙක්ම අපි පහර දුන්නෙමු'


1953 අගෝස්තු හර්තාලයට අවුරුදු 65ක් සම්පූර්ණ වන්නේ මේ අවුරුද්දට ය.

පශ්චාත් යටත් විජිත ලංකාවේ සංවිධානාත්මක කම්කරු පන්තිය හා ග්‍රාමීය දිළිඳු ජනයා, වතු කම්කරුවන් හා උතුරු - නැගෙනහිර පීඩිත දෙමළ ජනයා සමග සටන්කාමී ප්‍රායෝගික සන්ධානයකට ගෙන ආ පළමු අඩිතාලම අගෝස්තු හර්තාලය විසින් දමන ලදී. ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව බ්‍රිතාන්‍ය නෞකාවකටත්, සටන්කාමී නාගරික කම්කරුවන් හා ග්‍රාමීය දිළිඳු ජනයා අගනුවර වීදි සටන්වලටත් කැඳවන ලද්දේ ඒ ඓතිහාසික දවස් විසිනි.

බලපුවඩුගේ මනුකුලසූරිය රෙජිනෝල්ඩ් මෙන්ඩිස් හෙවත් රෙජී සහෝදරයා (1922 - 2000), එසේ ඇවිළ ගිය හර්තාලයේ මෙන්ම, ඊට මූලිකත්වය ගත් ලංකා සම සමාජ පක්ෂයේ ද සටන්කාමී නායකයකු විය. වරක් මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්, පෙත්‍රොග්‍රාද්හි සටන්කාමී බොල්ෂෙවික් නැවියකු වූ නිකොලායි මාර්කින්ට සමකළ රෙජී මෙන්ඩිස්, හර්තාලය සාර්ථක කරගනු වස් පිහිටුවන ලද නායක කොමිටියේ ද,  පිටකොටුවේ 'ලෝකල් කවුන්සිලයේ' ද පළමු පෙළ නියමුවකු සේ ක්‍රියා කරමින් සටන් මෙහෙයවීය. හර්තාලය පිළිබඳ මෙහි පළවන කෙටි අවලෝකනාත්මක සටහන ඔහු විසින් ලියන ලද්දේ හර්තාලයට 43 වසරක් පිරුණු 1996 අවුරුද්දේදී ය. ඒ වසරේ අගෝස්තු මාසයේ 'හිරු' මාසික සඟරාවේ මුල්වරට පළ වූ මෙම ලිපිය, එයින් දහහත් වසරකට පසු 2013දී 'බූන්දි' වෙබ් අඩවිය විසින් යළිත් උපුටා පළ කරන ලදී.

අගෝස්තු හර්තාලයෙන් 43 වසරක් ඉක්ම යද්දී, එහි සටන්කාමී උරුමය ජීවමාන කළ රෙජී මෙන්ඩිස් වැන්නන් තුළ කැකෑරුණු ඉච්ඡා භංගත්වය හා අසන්තුෂ්ටිය දෙස, හර්තාලයට 65 වසරක් පිරෙන විට යළි හැරී බැලීම වටනේ ය. - (රෙජිනෝල්ඩ් මෙන්ඩිස්ගේ සේයා රූ ලබා දුන් ලක්‍ෂ්මන් මෙන්ඩිස් සහෝදරයාට ස්තූතියි.)


ක් දහස් නවසිය හතළිස් දෙකේ කාලයේ ජාතික සංගමය බිඳ වැටෙන්නට ගිය මොහොතේ එයට පණදෙන ලද්දේ ලද්දේ ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන වැනි තරුණ පිරිස් විසිනි. ඩී. එස්. සේනානායකගේ මරණින් පසු 1952 මැතිවරණ සමයේ ඩඩ්ලි සේනානායක නැවත බලයට පත්අවීමට ජනතාව හමුවේ දහසක් බොරු පොරොන්දු දෙන්නට පටන්ගෙන තිබිණි. යු.ඇන්.පී.ය තිබෙන තාක් කල් හාල් සේරුව ශත 25 ට දෙන්නෙමැයි ද, පාසල් ළමුන්ට දිවා ආහාර ද, සෞඛ්‍ය පහසුකම්, මහාමාර්ග ගමනාගමන ආදී නොයෙකුත් ක්ෂේත්‍රයන්හි වැඩි දියුණුව පිළිබදව ද පොරොන්දු ලබාදුනි.

නමුත් ධනපති පාලකයන් දුන් පොරොන්දු අනුව අතිවිශාල බහුතරයකින් පාලන බලයට පත් වුවද, වසරක් ඉක්ම යන්නට ප්‍රථම ආණ්ඩුව සීනි මිල ශත 15කින් ඉහළ දැමිය. ක්‍රම ක්‍රමයෙන් හාල් සලාකය කැපීය. එක සේරුවක් කපා එක සේරුවක් ශත 75 කරනු ලැබිණි. පාසල් දිවා ආහාරය කපා හැර, මුද්දර ගාස්තු ආදී සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහල දැමිය. ජනතාව දිනා තිබු සහනාධාරයන් පවා ආණ්ඩුව විසින් කප්පාදු කරන්නට පටන් ගැනිණි.

බණ්ඩාරනායක 'හය මාසයක්' ඉල්ලයි

මාස කිහිපයක් ඇතුළත රට තුළ ආර්ථිකමය වශයෙන් අර්බුදයක් ඇතිවන බව අපේ පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂය පෙර දැක තිබුණි. එහිදී ජනතාවට එල්ලවිය හැකි පීඩනයට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ගයකට ගොනු වෙන්නට යු.ඇන්.පී. විරෝධී සියලු බලවේගයන්ට අපි කතා කළෙමු. පළමු වතාවේ දී කොමියුනිස්ට් පක්ෂයත්, පිලිප්ගේ කණ්ඩායමත් එක් නොවීය. නමුත් අපි "හර්තාල් කොමිටියක්" ගොඩනැගීමු. ලෙස්ලි ගුණවර්ධන, සේනක බිබිලේ, රතු විජේසිංහ, ජී.සී. පෙරේරා සහ මා (රෙජිනෝල්ඩ් මෙන්ඩිස්) එම කොමිටියේ සාමාජිකයන් වශයෙන් පත් කෙරිණි. නැවත නැවතත් අපි යු.එන්.පී. විරෝධී සියලු බලවේගයන්ට එක්සත් ක්‍රියා මාර්ගයක් සඳහා ආරාධනා කළෙමු. බණ්ඩාරනායක සහ තොන්ඩමන් හැර අනෙක් සියලු දෙනාම අප සමග යම් යම් ප්‍රමාණයන්ට එකඟ වුහ. පෙඩරල් පක්‍ෂය උතුරේදී සහයෝගය දීමේ එකඟතාවයට එළඹිණි. ඒ. ඊ. ගුණසිංහගේ කම්කරු සංගමය ද ඔවුන්ට බලය ඇති තැන්වලදී සහයෝගය දීමට එකඟ විය. මේ බලපෑම කරනු ලැබුයේ ගුණසිංහගේ දෙවැනියා ව සිටි දේවේන්ද්‍රසිංහ විසිනි. ගුණසිංහගේ උවමනාව වුයේ යු.එන්.පී.යට රිංගා ගැනීම ය. "හර්තාලයක් කරන්න පුලුවන් තරමට රට මෝරලා ද, පැහිලද කියල බලන්න මට හය මාසයක කාලයක් අවශ්‍යයි" යැයි බණ්ඩාරනායක කීය. නමුත් ඔහුට රට වටේ යාමට දුන්නේ නම් අපේ රටේ ඉතිහාසය තුළ "හර්තාල්" යන වචනයවත් සටහන් නොවීමට ඉඩ තිබිණ.

ජනතාව දැනුවත් කරමින් රට පුරා පවත්වනු ලැබූ රැස්වීම් මාලාවේ අවසන් රැළිය පැවැත්වුනේ ගෝල්ෆේස් පිටියේදී ය. බණ්ඩාරනායකට මේ රැස්වීමේ මුලාසනය ලැබුනේ සැමී නැමැති කම්කරුවාගේ නොහික්මුණු ක්‍රියාවක් හේතුවෙනි. කම්කරුවන් විශාල පිරිසක් සමග පාර්ලිමේන්තුවට ඇතුල් වූ සැමී, බණ්ඩාරනායක පාර්ලිමේන්තු භුමියේ සිටිනු දැක බලෙන්ම ඔහුව රැස්වීම් භූමියට කැදවාගෙන ආ අතර කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නට ඔහුට හැකි නොවිය. මේ ගැන කිසිවක් නොදැන සිටි ඇන්.ඇම්. මුලාසනය බණ්ඩාරනායකට පිරිනැමීය.

සිරිල් ද සොයිසා බස් කොම්පැණි කම්කරුවන් වර්ජනයට එක්වේ යැයි අපි බලාපොරොත්තු නොවීමු. නමුත් ඔවුහු අගෝස්තු 11 වෙනිදා රාත්‍රී 12 සිට බස් ප්‍රවාහනය නවතා දැමුහ. සිරිල් ද සොයිසා උග්‍ර යු.ඇන්.පී. කාරයෙකි. නමුත් කම්කරුවන්ගේ තීන්දුව සම්බන්ධයෙන් ඔහුට කළ හැකි දෙයක් නොවුයෙන් හේ නිහඬව සිටියේය. එහෙත් බස් කොම්පැනිකාරයින් කීපදෙනෙකුට අයත් බස්රථ ප්‍රවාහනයට යොදවා තිබුණි. මේ බස් පදවාගෙන විත් තිබුනේ ඒ ඒ ගම්වල මැරයන් විසිනි. ඔවුන් හමුවන්නට මමත් යු.ඩබ්ලිව්. සුමතිපාලත් ගියෙමු . පිටකොටුවේ "පුසා පියදාස" නමින් අපට හිතවත් ගණන්කාරයෙක් විය. ඔහුගේ පිරිසත් අපට හිතවත් තවත් 50 ක පමණ පිරිසක් ද අප හා එක්විය. බස් රැගෙන ආ මැරයන්ට මිනිත්තු පහක් ඇතුලත බස් රැගෙන පිටවන ලෙස අපි කීමු. ඒ සමගම මැරයෙක් පුසා පියදාසට පහරදුන් අතර අප සමග සිටි පිරිස ගල්වලින් සහ පොලුවලින් බස්වලට ගහන්න පටන්ගත්හ.

මුහුණට මුහුණ සටන්

හැම තැනකම ආරංචි ලබාගැනීම සඳහා අපට රහස් දුරකථනයක් තිබිණ. එය බාරව සිටියේ ඔස්මන්ඩ් ජයරත්න ය. තවත් මධ්‍යස්ථාන හතරක් තිබුණි. සෑම ප්‍රදේශයකින්ම නිරන්තරව සිද්ධීන් වාර්තා විණි. පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මහනුවරට යනතෙක් පෙළපාලි යන අතරේ දී පොලිසිය කදුළු ගෑස් ගසා තිබිණ. නමුත් ශිෂ්‍යයෝ පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කර පන්නා දැමීමට සමත් වූ බව වාර්තා විය. පෙඩරල් පක්‍ෂය උතුරේ රැස්වීමක් පවත්වා, කළු කොඩි දමා, පෙළපාලි ගොස් තිබිණ.

පිටකොටුවේදී පොලිසිය සමඟ මුහුණට මුහුණලා සටන් ඇතිවිය. වරාය, ගෑස් කොම්පැනිය, චාර්මස් ධාන්‍යාගාරය වැනි තැන්වල හමුදාවෝ රැකවල් ලා සිටියහ. 10.30 වන විට පොලිසිය සමඟ සටන් ඇවිලිණි. ඒ වනවිට 'පිටකොටුවේ ලෝකල්' එකෙන් වෘත්තීය සමිති දොළහක් නඩත්තු කරමින් තිබිණ. පිටකොටුවේ සිටියේ අප සුළු පිරිසකි. නොයෙකුත් තැන්වලට අනෙකුත් සියලු දෙනාම යොදවා තිබුණි. නමුත් ගම්වල සිටි තරුණ කොටස් දහවල් වනවිට පිටකොටුවට එන්න පටන් ගත්හ. ඒ අය අප හා එකතුවූ නිසා අපට සටන් කරන්නට පහසුවිය.

මල්වත්ත හන්දියට එනතෙක්ම පොලිසිය අපට පහර දීගෙන ආ අතර අපි හරස් පාරවලින් විත් පොලිසියට පහර දුනිමු. කෙසේ වුවද අවසානයේදී පොලිස් බැරැක්කවලට යන තෙක්ම ඔවුනට එළව එළවා පහර දෙන්නට අපි සමත් වීමු. සවස 1.30 වනතුරුම සටන් පැවතුනි. අපේ සහෝදරයෙකුට ඩඩ්ලිගේ ආණ්ඩුවේ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමුණේ මෙම සටනේදී ය. මුළු රටේම අපේ සහෝදරවරු 09 දෙනෙක් මරා දමා තිබිණි. මොරටුව, එගොඩඋයන, කොරලවැල්ල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් දැඩිව සටන් ඇතිවිය. මෙහිදී වැඩියෙන් දායකවුයේ කාන්තාවන් ය. මොවුන් දුම්රිය රියදුරා ඇතුළු අය අත් අඩංගුවට ගෙන එන්ජිම ගළවා පානදුරේට යැවූහ. ආණ්ඩුව කොතරම් අර්බුදයට ලක්වුණේ ද කිවහොත් කැබිනට් මණ්ඩලය රැස්වුයේ කොළඹ වරායේ නවතා තිබුණු 'නිව් ෆවුන්ලන්ඩ්' නැමැති බ්‍රිතාන්‍ය යුධ නැවක ය. ඩඩ්ලි සේනානායක ද අගමැති කමින් ඉල්ලා අස්විය.

අවස්ථාවාදය කරා

හර්තාලය තුළින් අඩ වශයෙන් ජයග්‍රහණයකුත් අඩ වශයෙන් පරාජයකුත් ලබාදෙමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ජනතාවගෙන් උදුරාගත් අයිතීන් ලබාගන්නට හැකිවුව ද මහජනතාවත් දේශපාලන පක්ෂත් බලාපොරොත්තු වූ දේ ලබාගැනීමට සටන අසමත් විය. සටන පෙරට රැගෙන යන්නට හැකියාව තිබුණ ද අපේ පක්ෂ නායකයන්ට ඒ සඳහා උවමනාවක් නොතිබිණ. ඔවුන්ට උවමනා වී තිබුනේ විරෝධය පෑමක් පමණි. රාජ්‍ය බලය ලබා ගැනීමක් කරා යන්නට ඔවුහු කිසිසේත්ම උත්සුක නොවූහ. බොහෝ විට තොන්ඩමන් ගේ කොංග්‍රසයේ සහයෝගය අපට ලැබුනේ නම් මෙය මීට වඩා තීරණාත්මක වන්නට ඉඩ තිබුණි. කෙසේ නමුත් '53 හර්තාලය අනාගත ධනපති විරෝධී දේශපාලන අරගල සඳහා ජනතාවට අත්දැකීමක් වූ බවට සැක නැත. "කවදාවත් පෙරලන්න බැහැ"යි කියූ අධිරාජ්‍ය ගැති ධනපති ආණ්ඩු මහජන නැගිටීම්වලින් බිම හෙළිමට හැකි බව හර්තාලය මගින් පෙන්නුම් කළේය.

අද වනවිට හර්තාලය ඇති වී 43 වසරක් ඉක්ම ගොස් තිබේ. එදා සටන්කාමී ලෙස හර්තාලයට නායකත්වය දුන් සෑම නායකයෙක්ම අවස්ථාවාදී ලෙසින් ජනතා සටන් වලින් ඈත්ව සිටිති. මාක්ස්වාදී මග අතහැර සිය පෞද්ගලික සුඛවිහරණය සඳහා කටයුතු කරති. බර්නාඩ් සොයිසාලා, බැටී වීරකෝන්ලා වැනි මිනිසුන්ගේ පරමාර්ථය වී ඇත්තේ මෙවැනි ධනපති සභාගවල රැඳී හිඳ සිය පැවැත්ම හදා ගැනීම පමණක්ම යැයි මට සිතේ.

මින් මතුවට ලංකාවේ දේශපාලන භුමිය තුළ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂයන් කවර හෝ ගුණාත්මක දේශපාලනයක නිරත වනු ඇතැයි මම නොසිතමි. ඒ සඳහා වූ අවසාන හැකියාව ද මිය ගොසිනි. මෑතකදී ඇතිවූ විදුලි බල වර්ජනය හමුවේ මොවුන් පොදු පෙරමුණු සභාගයට දැක්වූ නින්දිත සහාය මේ බව වඩ වඩාත් තහවුරු කරන්නාවූ එක් කරුණක් පමණි. එදා දවසේ සටන්කාමී නායකත්වයක් පෙන්නුම් කළ සමසමාජ හා කොමියුනිස්ට් නායකයන් මේ සා මර්ධනකාරී, කම්කරු විරෝධී, ධනපති ආණ්ඩුවක් සමග සභාග දේශපාලනයේ ඇලිගැලී සිටීමම, හර්තාලයට 43 වසරක් සපිරෙන මේ මොහොතේ අපට අත් විදින්නට සිදු වූ ඉතිහාසයේ සරදමකැයි මට සිතේ.☐

රෙජිනෝල්ඩ් මෙන්ඩිස්


© JDS


 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.