JDS Sinhala

නිනෝගේ නිම්නයක හුදකලාව ලයිව්: සිනමාවේ සීසීටීවී දේශපාලනය

ලෝක සිනමාවේ ආඛ්‍යාන ඉතිහාසය සලකන විට ප‍්‍රවණතාවක් ලෙසම අනූව දශකය යනු චිත‍්‍රපටයක් තුළ යථාර්ථ පැවැත්මත් ප‍්‍රබන්ධ පැවැත්මත් අතර සීචනය හෙවත් මැස්ම (Sture) මකා දැමුණු අවධියකි. විශේෂයෙන් ඇමරිකානු ජාතික ඩේවිඩ් ලින්ච්ගේ  ‘Lost Highway’ (1997),  පීටර් වයර්ගේ ‘Truman Show’ (1998), මිෂෙල් හනකගේ ‘Funny Games’ (1997)  හා වචෝස්කිලාගේ ‘Matrix(1999) වැනි චිත‍්‍රපට හැරවුම් ලක්ෂ ලෙස සැළකිය හැක. මේ චිත‍්‍රපට මගින් මිනිස් විඥානය වාස්තවික යථාර්ථයට දක්වන සම්බන්ධයේ ප්රෝබ්ලමැතිකභාවය තීරණාත්මකව සෞන්දර්යකරණය කරන ලදී. මීට සමාන්තරව චිත‍්‍රපට කියවීමේ විධික‍්‍රමය ලෙස සම්භාව්‍ය වම ආශ‍්‍රිත ව්‍යාජ සවිඥනිකත්වය හා පෙරටුගාමී චින්තන සීමාවන් පශ්චාත් ව්‍යුහවාදයේ ආනුභාවයෙන් පද්ධතිගත අවිඥඥානය හා දෘෂ්ටිවාදයට අවතීර්ණ විය. කලාත්මක නිෂ්පාදන හා විශ්ලේෂණ යන මෙම උත්සාහයන් දෙකම පදනම් වන අරගල භූමිය යනුම මිනිස් නිෂ්පාදන අවධියක් ලෙස ධනේශ්වරයේ නව සියවස සිතියම්ගත කිරීමේ ආරම්භයකි.

රූ ගත කිරීමෙන් දශකයකට පමණ කාලයකට පසු තිරගත වන චිත‍්‍රපට දෙකක් අහම්බයෙන් සමාන්තර තේමාවන් ස්පර්ශ වී ඇත. ඒ 2017 වසරේ තිරගත වන තිසර ඉඹුලානගේ ‘නිනෝ ලයිව්’ හා බූඩි කීර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව’ චිත‍්‍රපට ද්වයයි. පරම්පරා දෙකක සිනමාකරුවන් දෙදෙනෙක් යථාර්ථය (?) සමග ගණුදෙනු කරන ආකාරය තරමක් විස්තීරණ විග‍්‍රහයක තබා විමසන්නට අපට අවස්තාව උදා වී ඇත. ‘නිනෝ ලයිව්’ තුළින් තිසරගේ කතානායක නිනෝ තමන් නොදැන අතුල්වුණු සමාජ යථාර්ථයකින් මිදෙන්නට උත්සාහ කරන කොට බූඩිගේ ‘නිම්නයක හුදැකලාවෙහි’ විශ්ව අභ්‍යන්තර මනෝ ලෝක දෙකක සංඥා ජාලයක පැටලී ගූඪත්වය බහුගුණ කෙරවී ඇත. ලංකාවේ වෙළඳ ප‍්‍රාග්ධන ප‍්‍රසාරණය පරම්පරා දෙකකට පැහැදිලි විඥාන බලරටා දෙකක් අත්පත් කරදී ඇත. එම යුගවල සංක‍්‍රාන්තියේ කෙළවරවල් දෙකක් ලෙස තිසරව හා බූඩිව මෙම චිත‍්‍රපට දෙක හරහා ස්ථානගත කළ හැක. අනූව දශකයේ සිනමා පරම්පරාවේ පුරුකක් ලෙස බූඩි හා නව සහශ‍්‍රක සිනමාවේ ආරම්භක පුරුකක් ලෙස තිසර යනු කුමන හැඟවුම්කාරක ජනිත කරවන්නෝද? මේ දෙදෙනාගෙන් අයෙකු තුළ හෝ අපිට ලෙස්ටර්, පති, ධර්මසිරි හෝ ප‍්‍රසන්න වැනි කලාත්මක පෞරුෂයක් නිරීක්ෂණය කළ හැකිද? බැලූ බැල්මට බූඩිත් - තිසරත් සමාජීයව සරලමතිකයන් ය. ඔවුන් තුළ ඉහත කී පරම්පරාවේ පෞරුෂයන් සොයාගත නොහැක. නමුත් මේ දෙදෙනා අතින් ඉහත කිසිදු සිනමාකරුවෙකු අතින් නිර්මාණය නොවුණු සංකීර්ණ දාර්ශනික සිනමා ආඛ්‍යානයක් බිහිවීම වටහා ගන්නට වෙරදරමු.

 ‘නිම්නයක හුදකලාව’ යථාර්ථය සංජානනයේ සංකේතීය සිමාවේ සීචනය ගලවා හරිමින් මිනිස් ආත්මයේ ගූඪ මනෝ ලිංගික යාන්ත‍්‍රණයක ඇතුළතින් ඇතුළට ගමන් කරයි. ‘නිනෝ ලයිව්’ මාධ්‍ය ප‍්‍රාග්ධනය විසින් ප‍්‍රතිනිර්මාණය කරන සමකාලීන මිනිස් දෛනික යථාර්ථයේ සංකේතීය වාස්තවික සීමාවේ සීචනය ගලවා හරී. මෙම චිත‍්‍රපට ද්වය සෞන්දර්ය - දේශපාලනිකව සාරාංශ ගතකළ හැකි ආකාරය මෙයයි.
 
අපි දැන් චිත‍්‍රපටි තුළට යමු. මේ චිත‍්‍රපට දෙකම ‘සත්‍ය’ නම් ප‍්‍රපංචයට ඇති පැවත්ම මිනිස් විඥානය කේන්ද්‍රීයව බහුගුණ කරවයි. ‘නිනෝ ලයිව්’ චිත‍්‍රපටය තුළ සත්‍ය හා ප‍්‍රබන්ධය සංකේතකරණය කර ඇත්තේම භූමි අවකාශයක් ලෙසට ය. එනම් අතිවිශාල භූමි ප‍්‍රදේශයක පැතිරුණු චිත‍්‍රාගාරයක් හා ඉන් පිටත ලෙස ය. ‘සත්‍ය’ නම් ප‍්‍රපංචයට අපි ලඟාවෙත්ම එමගින් බිහිකරනා ඇතුළත හා පිටත, එනම් සත්‍ය හා සත්‍යයෙන් පිටත හෙවත් තත්‍යසම (Virtual) ලෙස ද්වීගුණ වේ. මෙම ද්වීගුණ වීමම යනු මිනිස් විෂය නොහොත් ආත්මය තමාත් තමාගෙන් එපිට පවතිනා වාස්තවික ලෝකයත් සංජානනයේ ඥානන හැඩයකි. ‘නිනෝ ලයිව්’ චිත‍්‍රපටය සලකතොත් නිනෝ සිටින්නේ චිත‍්‍රාගාරයක් තුළ බව නොදන්නේ නිනෝ පමණි. සෙසු අය දන්නා සත්‍ය නිනෝ නොදනී. එවිටම අප ඇතුළුවීමට නියමිත පසු නූතන දාර්ශනික උත්කර්ෂිත ස්ථානගත වීමම යනු සත්‍යයේ සාපේක්ෂ මානයයි. එනම් පරම සත්‍යයක් වෙනුවට සාපෙක්ෂවාදයයි. ‘නිම්නයක හුදකලාව’ චිත‍්‍රපටය පුරාවට විශ්වගේ ඉහල මධ්‍යම පාන්තික ෆැන්ටසි ලෝකය යනුම එම සාපේක්ෂතාව විසින් ගොඩනංවන ප‍්‍රබන්ධයකි. එනම් විශ්වට සුවිශේෂී වූ ආකාරයකට වාස්තවික ලෝකය සංකල්පීයකරණයයි. ‘නිනෝ ලයිව්’ තුළදී එම යාන්ත‍්‍රනණය බාහිර ආයතනයක් ලෙස රූපවාහිනී නාලිකාව පවතින නමුත් ‘නිම්නයක හුදකලාවෙදී’ එම යාන්තණය යනු විශ්වගේ අවිඥානික ලූබ්ධි ආර්ථිකයයි. චිත‍්‍රපට දෙක තුළම සත්‍යයට රාමුවක් ලෙස ඇතුළතක් හා පිටතක් නිර්මාණය කරයි.

සර්වබලධාරී අනෙකා

දැන් ගැටලූව කුමක්ද? අපි ඉක්මනින් ඊට ප‍්‍රවේශ වෙමු. ගැටලූව වන්නේ මේ දෙබෙදුමේ අනිවාර්යතාවයයි. නැතහොත් මෙම දයලෙක්තිකයේ පරමත්වයයි. චිත‍්‍රපට ද්වය තුළම ඇතුළත ලෙස සලකුණු කළ හැකි අවකාශයත් නිරන්තර සීමාවකට පැමිණේ. උදාහරණයකට නිනෝ වටා ගොඩනගා තිබූ මාධ්‍ය සංකේත ජාල පද්ධතියට එම ප‍්‍රබන්ධ අවකාශය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි අසමත්කමක් - සීමාවක් අභිමුඛ වේ. එනම් නිනෝට පද්ධතිය අසංගත බව ඉඟි වේ. විශ්වටද ‘නිම්නයක හුදකලාවේ’ දී සිය ක්ෂිතිමය අත්දැකීම් උපරි අහමේ (Super Ego) බලපෑමෙන් මිදීමට ගොඩනැංවෙන අවිඥනික ෆැන්ටසියම අනිවාර්ය අසමත්කමකට මුහුණ දෙයි. එක අතකින් ෆැන්ටසියම යනු ඉන් පිටත ලෙස සැලකෙන ලෝකය විඥානගත කිරීමේ අසමාර්ථතා බොහොමයක චායාමාත‍්‍රය ය (Traces). මනෝ-දේශපාලන (Psycho-Politico) භාෂාවකින් පවසන්නේ නම් යථෙහි (Real) පිහිටීම පරිකල්පනීය වේවා, සංකේත පද්ධතිය තුළ වේවා අනිවාර්යයකි. මෙම තල දෙකෙන්  ඕනෑම එකකට ඇතුළතක් හා පිටතක් නිර්මාණය වීමේ විමර්ශක අක්ෂය 'යථ'යි. නිනෝට තම පෙම්වතිය ලබාදෙන ඉඟිය යනුම නිනෝට ඇය කෙරෙහි පවතින අතාර්කික ප්‍රේමයත් සමග ගොඩනැංවෙන ‘විශ්වාසයයේ’ අතුරු ඵලයකි. අයෙක් දැනටමත් ගොඩනගා ඇති පද්ධතියක් විචාරයකින් තොරව භාරගැනීම යනුම ඒ තුළ වන පරතර ගණනාවක් මැකීමේ මනෝ ලිංගික ආයෝජනයකි. ඒ හරහා බිහිකරනා අනෙකා යනු සර්වබලධාරී අනෙකෙකි.

‘නිනෝ ලයිව්’ තුළ මෙන්ම ‘නිම්නයක හුදකලාව’ තුළ පවතින දෘෂ්ටිවාදී අඩංගුවට අපට දැන් ප‍්‍රවේශ පත‍්‍රයක් ඇත. මේ චිත‍්‍රපට දෙකෙහිම නිර්මිත දේශපාලනය වන්නේ සී.සී.ටී.වී ප‍්‍රවර්ගයේ දේශපාලනයයි. එනම් කේවල විඥානයේ දුර්වල පැවැත්මට එපිටින් වන සර්වබලධාරී මහා අනෙකෙකු විසින් තමාව පාලනය කිරීමේ චෝදනාවයි. ඒ අර්ථයෙන් නිනෝ පැනයාමට උත්සාහ කරන්නේ විශ්ව මෙන්ම මෙම මහා අනෙකාගේ දැක්මෙනුයි (Gaze). නිනෝ පලායන්නේ මාතෘමය (Maternal) විශ්වයකට ය. චිත‍්‍රපටයේ සෞන්දර්ය ආඛ්‍යානයම සැලකුවද පලායාමෙන් පසු අපට ඉතිරි වන්නේ අරූපාවචර නිනෝගේ ආත්ම කථන (voice over) හඬ ඛණ්ඩය පමණි. රූපයෙන් අපට පෙන්වූ අසහනකාරී, දුබල නිනෝ මෙම ආත්ම කථනයේ නැත. ආත්ම කථනයේ නිනෝ යථාර්ථයේ හැම අංශුවක්ම විග‍්‍රහ කළ හැකි ස්වයං අවබෝධයක් ඇති සංගත ආත්මයකි. එය හරියට ලංකාවේ සියලූ දේශපාලන පක්ෂවල හා සමාජ ප‍්‍රතිවිරෝධතාවල සත්‍ය දේව දැක්මකින් (God’s Eye View) විග‍්‍රහ කරන නිෂ්ක‍්‍රීය ලිබරල් බුද්ධිමතුන් වැනි ය. ඔවුන්ට තමා අඩංගු නොවන යථාර්ථයක් ගැන පඵදු නොවූ සංගත ඥාන සිතියමක් ඇත. නිනෝගේ පරිකල්පනීය ආත්ම කථනය ගොඩනංවන දෘෂ්ටිවාදයේ පදනම පවතින්නේ ඒ තුළින්ම බිහිකරනා සර්වබලධාරී මහා අනෙකා පිළිබඳ ෆැන්ටසියයි. නමුත් නිනෝ දකිනා සංගත බවක්, සර්වබලධාරී බවක් නෝමන් හෝ ඔහුගේ ආයතනයට නැති බව චිත‍්‍රපටයම නරඹන්නියට පසක් කරවයි. එවිට පවතින්නේ සංකේතීය පැවැත්මක් නැති බල අරගල රාමුවකි. එම සර්වබලධාරී වේශයම යනු නිනෝ විසින් අනෙකා වෙත ආයෝජිත ෆැන්ටසියකි.

ලෞකික නිනෝගේ ෆැන්ටසියට සමාන්තරව ලොකෝත්තර විශ්වගේ චරිතයට හමුවන මහා අනෙකා යනු කර්මය හෝ මනෝකාය වැනි ආගමික අවකාශයි. විශ්වියානු ඇතුළත/පිටත දෘෂ්ටිවාදයට අනුව හැඟවුම්කාරක දාමයේ පරතරයක් හෝ යථමය ආචරණයකින් (Affect) තොර සංඝතභාවයක් අවිඥානික ෆැන්ටසිය විසින් ප්‍රේක්‍ෂාගත කරයි.

යථාර්ථයට හීනයක් නැත

පරිකල්පනීය යථ අභිමුඛ වන මොහොතේ ඔබට ඇහැරීමට යථාර්ථයක් ඇත. උදාහරණයකට ඔබ හීනයක් තුළ ඔබට දරාගත නොහැකි ක්ෂතියකදී ඇහැරෙන්නට සංකේතීය රෙජිස්තරය හෙවත් යථාර්ථය ඇත. නමුත් යථාර්ථයේ ක්ෂතිමය අත්දැකීමකින් ඔබට ඇතුළුවිය හැක්කේ ෆැන්ටසියකටය. විශ්වගේ මනෝලිංගික ආයෝජනයම යනු ලින්ච්ගේ Lost Highway හි කතානායකයා වැනිම විතැන්වීමකි. අවාසනාවකට මෙම ෆැන්ටසි පදනමද පංතිමූලිකය. විශ්ව සිය වරදකාරිත්වය අනෙකාට පරාවර්තනය කරනවාට අමතරව සිය පංති පදනම ද ෆැන්ටසිය තුළ ජයගැනීමට අවිඥානික වෙර වීරියක් දරයි. නැවතත් අවාසනාවකට විශ්වගේ ඉහල මධ්‍යම පන්තික ෆැන්ටසිය තුළදී වසංගතයක් සේ පැතිර පවතින විතැන් වූ සංඥාම යනු ඇතුළත ලෙස සැලකිය හැකි ඔහුගේම යථාර්ථවත් ජීවිතයේ සලකුණු බහුගුණ වීමකි.
 
ප‍්‍රබන්ධය අනිවාර්ය සත්‍යයක් ලෙස   

දේශපාලන විශ්වයකදී බලය (Power) හා ආධිපත්‍ය (Authority) අතර වෙනස ඉතා තීරණාත්මකය. බලය විසින් සංකේත පද්ධතියක සංගතබව බිඳීයාමට එරෙහි ප‍්‍රාථමික කැරැල්ලක් ගොඩනංවන අතර එය ආරක්ෂණවාදී ය. එමගින් දැනටමත් පරිකල්පිත සමස්තයක් රැකගැනීමට පද්ධතියේම සියලූ සාරයන් උල්ලංඝනය කරයි. ආධිපත්‍ය විසින් පවතින සංකේත පද්ධතියක අර්බුදයකදී දැනටමත් පවතින ආකෘති ප‍්‍රව්‍යුහගත කරවීමක් සිදුකරයි. තෝරාගත් චිත‍්‍රපට ද්වය සැලකීමේදී ‘නිනෝ ලයිව්’හි අනෙකා අවකාශිත තලයේම දෘශ්‍යමාන නමුත් ‘නිම්නයක හුදකලාවේ’ පරිකල්පිත බලවත් අනෙකා අදෘශ්‍යමාන ය. විශ්වගේ පැටලූම්සහගත සංඥා ව්‍යාකූලතාව යනුම මහා අනෙකාගේ ප‍්‍රාථමික බලය පමණක් ශේෂ වූ විට ඇතිවන කාංසාජනක බෙලහීනතාවයි.

උදාහරණයකට රාජපක්ෂ රෙජීමය කාල වකවානුවේ බලය අභ්‍යාසයේ සෘජු හිංසනීය මැදිහත්වීම් හුදු නිදහස උල්ලංගනයකට හෝ දේශපාලන සදාචාර පිරිහීමකට ලඝු නොකළ යුතු ය. එම යුගයේ අතුරු මුහුණත් යනුම එක අතකින් ලංකාවේ ලෞකිකත්වයේ  ‘රියලිටි ටී වී කලාවේ’ කූටප්ප‍්‍රාප්තිය වන අතරේම ආධ්‍යාත්මික දර්ශනය වූ බුදුදහමේ පැවැත්ම ආධිපත්‍යයේ සිට ග‍්‍රාමීය හිංසන බලයක් දක්වා පොලාපැන්න අවධියයි. එම අන්ත දෙකෙහි කලාත්මක නියෝජන යනු මෙම චිත‍්‍රපට දෙකයි. වාස්තවික ලෝකයට නාභිගත වූ ආත්මීයත්වය මාධ්‍ය ප‍්‍රාග්ධනය විසින් හසුරවන ඒකාධිපතිත්වයක් බවට ලෞකික කලාව ප ත් වේ. සර්වබලධාරී හතුරු අනෙකෙකු වෙත (දෙමළා හෝ මුසල්මානුවා) අධ්‍යාත්මික පැවැත්ම හිංසනීය ස්වයං උල්ලඃඝනයක් බවට ද යොමුවන කාංසාජනක සමාජයක් අපි අත්විඳිමු. එය තනි තනි පුද්ගලයාට තනි තනි ශ‍්‍රාස්තෘවරයකු වන තරමට සමාජයේ සංගත බව විසිරී ඇත. මේ ශ‍්‍රාස්තෘවරු ඔබට ඉහළම ජීවන නිදහසක් නිතිපතා පොරොන්දු වේ. එවන් යුගයක් යනු මහා අනෙකාගේ බැල්ම වඩාත් තර්ජනාත්මකව මිනිස් ආත්මය වෙත නාභිගතවන යුගයයි.  

ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ ආභාෂය ලද සිනමාවක් අපට දැන් හඳගමගෙන් වෙනුවට හිමිවන්නේ බූඩිගෙනි. වාස්තවික යථාර්ථයේ සමකාලීන විශය හා වස්තුව අතර ව්‍යුහය තිරගත කරනා කලාකරුවා වී ඇත්තේ ප‍්‍රසන්න වෙනුවට තිසර ය. ඉතා පැහැදිළි ලෙස පරණ සිනමාව හා අලූත් සිනමාව අතර වෙනස අන්තර්ගතයෙනුත් ආකෘතියෙනුත් ඇතුළත හා පිටත ලෙසම වෙන්වී ඇත.  

ධනවාදය මිනිස් සංකේතීය ගොඩනැංවීම්හි පරතර ලාභ යාන්ත‍්‍රණ බවට පත්කරමින් සිටින විට එය ස්වභාවිකවාදයක් දක්වා පල්ලම් බස්සන කලාකරුවන් සිටිනා රටක් ලෙස ලංකාව ගැන තරමක පොප් ආකෘතියක සිනමාවක් තිසර අතින් බිහිවී ඇත. ‘නිනෝ ලයිව්’ දෙවැනි අදියරේ රුචී හා නිශාන්ත මෙන්ම ලංකාවේ සීරියස් කලාකරුවන් ලාම්පුවට ඇඳෙන මෙරු මෙන් ධනේශ්වර වෙළඳ පොලට ඇදී ගොස් හමාර ය. ඔවුන්ගේ දෘෂ්ටිවාදය සරල ය. නරුමවාදී ය. ඔවුන් රුචී හෝ නිශාන්තම මෙනි. ඔවුන් කරනා දේ ගැන ඕනෑවටත් වඩා සත්‍යයක් ඔවුන් දැනටමත් දනී. අපට දැන් නිනෝගේ ආත්ම කථන හඬපටය තැනින් තැන ඇසෙන්නාක් මෙන් මොවුන්ගේ කලාකෘති වරින්වර අහිමුඛ වූවද ඒ හඬට උරුමකම් කියනා දේහයක පෞරුෂයක් තවදුරටත් ඒ අය දරා නොසිටී. සාරයේ දේශපාලනය අවසාන වී ඇත. ඒ වෙනුවට ප‍්‍රසන්න-හඳගම යුගයේ අවතාරාමය 'ටින් ඩ‍්‍රමර්' වූ බූඩි හා පසු-නූතන චින්තනකරණය වූ යුගයේ තිසර වැන්නන් කලාකරුවන් ලෙස පිළිගැනීමට සිදුව ඇත. මහා අනෙකා නොපවතින බව දේශපාලන උදාන වාඛ්‍යය වී ඇත.

අතීතකාමයත් අනාගත සුභවාදයත් යන දෙමගම මග හරිමින් සිනමා විචාරය ලාංකික සංස්කෘතික දේශපාලනයේ කතිකාව, බලයේ සිට ආධිපත්‍ය දක්වා විතැන්කිරීමට අරගල කළ යුතුව ඇත.☐ 

බූපති නලීන් වික්‍රමගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.