ලංකාවේ ඉන්දීය සාම සාධක මෙහෙයුම ගැන ඇත්ත කියන්නේ කවුද?
- Post 21 April 2015
ලංකාවට එවන ලද ඉන්දීය සාම සාධක හමුදාවට කොටි සංවිධානයේ නායකයා කිහිප අවස්ථාවකදීම අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ ඉන්දීය ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා බව වත්මන් ඉන්දීය ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය , විශ්‍රාමික හමුදා ජෙනරාල් විජය කුමාර් සිං ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ විය. අදාළ වාර්තාවන්ට අනුව ප්‍රකාශය කර ඇත්තේ පසුගිය 14 වැනිදා ය. හිටපු ඉන්දීය හමුදා ප්‍රධානියෙකු හා වත්මන් ඉන්දීය ආණ්ඩුවේ වගකිව යුතු නිලයක් දරන්නෙකු විසින් සිදු කළ බව පැවසෙන මෙම මතභේදාත්මක ප්‍රකාශය විසින් හෙළිදරව් කරන්නේ මෙතෙක් සැඟව තිබූ රාජ්‍ය රහසක්ද? නැතහොත් ඉන්දියානු මැදිහත්වීම ගැන මේ වනවිට අනාවරණය වී ඇති නිල ඉතිහාස කතාව වෙනස් කොට ලිවීමට ඉන්දියානු රාජ්‍යයට ඇති අභිලාෂයද?
දෙමළ ලේඛක උජිරවන් විසින් ලියන ලද මෙම ලිපිය, අමතකව ගොස් ඇති ඉන්දු - ලංකා සබඳතාවන්ගේ සහ ඊළම් අරගලයේ යටගිය දවස් පිළිබඳ වැදගත් විවරණයක් සම්පාදනය කරන්නට සමත් ය.
පරිවර්තනය: අතුල විතානගේ සහ රාජ්කුමාර් සුබ්‍රමනියම්
රායිපූර්හි පළමු වරට ඇරඹි "චත්තිස්ගා ජාත්‍යන්තර සිනමා උළෙලේ" විශේෂ අංගයක් ලෙසින් අමාත්‍ය වීකේ සිං විසින් රචිත ස්වයංචරිතාපදානය "Courage & Conviction" කෘතිය එළිදක්වමින් ඔහු කියා තිබුණේ 1987 -88 කාල වකවානුවේදී කිහිප වතාවක්ම විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය සාම සාධක හමුදාවට හැකියාව තිබු නමුත් එවකට ඉන්දීය ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත එම අවස්ථා අත්හළ බව ය. ඒ අනුව ඉන්දියාවේ මැදිහත් වීමෙන් කොටි නායක ප්‍රභාකරන්ට නිදහසේ පළා යාමට ඉඩ ප්‍රස්තා ලැබුණු බවද ඔහු අවධාරණය කර තිබුණි.
'ශ්‍රී ලංකා රජයත් - දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් යුද වදිමින් සිටියදී ඉන්දීය ආණ්ඩුව හා ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹීමත්, ඒ අනුව ඉන්දීය සාම සාධක හමුදා ලංකාවට යැවීමත් ඉහළ මට්ටමින් සිදු වූ ප්‍රතිපත්තිමය වරදකැ'යි ඔහු කී බව වාර්තා හෙළි කරයි.
වීකේ සිං විසින් ලියූ ස්වයං චරිතාපදානයේ මේ සම්බන්ධ වැඩි දුර පැහැදිලිකිරීමක් ඇතිදැයි තවමත් අනාවරණය කෙරී නැත. නමුත් ඉන්දීය සාම සාධක හමුදාව සහ කොටි සංවිධානය අතර යුද්ධයේදී ඉන්දියානු හමුදා තීරණාත්මක ජයක් අත්පත් කරගැනීම ඉන්දීය රාජ්‍ය පිළිවෙත් හේතුවෙන් වැළකී ගිය බවක් ඔහු හැඟවූ බව ඔහුගේ ප්‍රකාශයෙන් නම් පැහැදිලි ය.
පරස්පර යථාර්ථයක්
වීකේ සිං ඉන්දීය හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකි. හතළිස් දෙවසරක ක්‍රියාකාරී හමුදා සේවයෙන් 2012 වසරේ දී ඔහු විශ්‍රාම ගියේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වශයෙනි. ඉන්දීය සාම සාධක හමුදාව යටතේ ඔහු ලංකාවට පැමිණි බවට අනාවරණය වී නැතත් ඔහු නියෝජනය කරන රාජ්පුට් රෙජිමේන්තුවට අයත් සේනාංක තුනක් ලංකාවේ සාම සාධක මෙහෙයුම් සඳහා හවුල් වූ බව ප්‍රකට ය. වීකේ සිං විසින් කරනු ලැබ ඇති ප්‍රකාශයට වැදගත් ඉඩක් ඉන්දීය සහ ලංකාවේ මාධ්‍ය විසින් ලබා දී ඇත්තේ ඔහු සතු මේ කියන හමුදා පසුබිම නිසාද විය හැක.
නමුත් ඉන්දියානු සාම සාධක මෙහෙයුම ගැන මීට පෙර පළ වී ඇති ලිපි ලේඛණ සහ පොත්පත් මගින් හෙළිදරව් කර ඇති කරුණු මීට පරස්පර යථාර්ථයක් හෙළි කරයි. ලංකාවේ සිදුකළ ඉන්දියානු හමුදාවේ මෙහෙයුම් ගැන ඇත්ත කියන්නේ කවුද යන ප්‍රශ්නය පැන නගින්නේ ඒ නිසා ය.
ඉන්දියානු හමුදාව ලංකාවට එවන ලද්දේ 1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමට අදාළ ඇමිණුමේ හය වැනි වගන්ති ප්‍රකාරව ය. ආරම්භයේදී ගුවන් සහ නාවුක සේනාංක කිහිපයක 6,000කට නොවැඩි සෙබළ මුළුවකට සීමාව තිබූ සාම සාධක මෙහෙයුම සඳහා 1988 නොවැම්බර් වන විට අනුයුක්ත කොට සිටි සෙබළුන් ප්‍රමාණය 60,000 ඉක්ම වූ අතර අවසාන වකවානුව වනවිට එය 80,000 - 100,000ත් අතර වූ බවද පැවසේ. ඒ වනවිට කොටි සංවිධානයේ සාමාජික සටන්කරුවන්ගේ සංඛ්‍යාව 4,000 නොඉක්මවූ බව ඉන්දීය ලේඛක ඒපී ගෝෂ් ලියයි. (බලන්න: Ethnic Conflict in Sri Lanka and Role of IPKF)
නමුත් අවුරුදු දෙක හමාරකට පසු ඉන්දියානු හමුදා ලංකාවෙන් පිටව යාමෙන් පසු ප්‍රකාශයට පත්කළ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව කොටි සංවිධානය සමග කළ යුද්ධයෙන් සෙබළු 1,155ක් ජීවිතක්‍ෂයට පත්ව 2,984ක් තුවාල ලබා සිටියහ. ඒ වනවිට කොටි සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 10,000 දක්වා ඉහළ නැඟ තිබූ බව ඒපී ගෝෂ් කියයි.
හර්කිරාට් සිං
1987 ජූලි මාසයේදී ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙකුන්දරාබාද් සිට ලංකාවට ගොඩබට ඉන්දියානු සේනාංකයන්ගේ සේනා විධායක ලෙස ක්‍රියා කළේ මේජර් ජෙනරාල් හර්කිරාට් සිං ය. ලංකාවට එවන ලද ඉන්දියානු හමුදාවේ 54වැනි පාබල සේනාංකයේ සේනාපතිවරයාව සිටි හෙතෙම 2007 පෙබරවාරි මාසයේ සිය අත්දැකීම් සංගෘහිත කොට Intervention in Sri Lanka: The IPKF Experience Retold නමින් කෘතියක් එළි දැක්වීය. විමුක්ති කොටි සංවිධානයේ නායකයා කොටුකර ගැනීමට ඉන්දියානු සේනාංක කිහිපවිටක්ම සමත් වූ මුත්, ඉන්දියානු බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ වූ බව කියන වීකේ සිංගේ ප්‍රකාශයට පරස්පර අනාවරණයක් තමන් ලියූ කෘතියෙන් සිදු කළ හර්කිරාට් සිං ප්‍රකාශ කරන්නේ සාකච්ඡාවට පැමිණි විට කොටි නායකයා ඝාතනය කරන මෙන් ලංකාවේ ඉන්දීය තානාපති ජ්‍යොතීන්ද්‍රනාත් ඩික්සිට් තමන්ට නියෝග කළ බවයි.
"1987 සැප්තැම්බර් 14 හෝ 15 වැනිදා රාත්‍රියේ ඩික්සිට්ගෙන් මට ලැබුණු දුරකථන ඇමතුමක් මගින් උපදෙස් සපයන ලද්දේ ප්‍රභාකරන් අප හමුවීමට පැමිණි විට ඔහු අත් අඩංගුවට ගැනීමට හෝ වෙඩි තැබීමට ක්‍රියා කරන ලෙස ය. පෙරළා ඔහුට ඇමතුමක් දෙන්නෙමැයි ප්‍රකාශ කළ මම මූලස්ථානයට පණිවුඩයක් තැබීමි. ලුතිනන් ජෙනරාල් ඩෙපින්දර් සිං පෙරළා මට දන්වා සිටියේ සාම්ප්‍රදායයික හමුදාවක් වශයෙන් සුදු කොඩි රැගෙන අප හමුවීමට පැමිණෙන අයට අප වෙඩි තබන්නේ නැතැයි ඩික්සිට් වෙත දැනුම්දෙන ලෙස ය. අනතුරුව කොළඹ සිටි ඩික්සිට් ඇමතූ මම පණිවුඩය දන්වා ඔහුගේ අණ පිළිගැනීමට මට නොහැකි බව දන්වා සිටියෙමි. ගිවිසුම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විසඳුමක් සොයා ගැනීමට එල්ටීටීඊ නායකයාට සාකච්ඡාවට ආරාධනා කරන ලද්දේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් බවද මම ඔහුට පෙන්වා දුනිමි. 'මේ උපදෙස් මට ලබා දී තියෙන්නේ ඔහු (රාජීව් ගාන්ධි) විසිනුයි. ඒ සම්බන්ධයෙන් හමුදාව නොපැකිළව ක්‍රියා කළ යුතු අතර ඉන්දියානු සාම සාධක හමුදාවගේ සේනා විධායක ලෙස එහි වගකීම ඔබ භාරගත යුතු යැයි," ඩික්සිට් පිළිතුරු දුන්නේය. පසුදා උදෑසන මට දුරකථන ඇමතුමක් දුන් යුද මෙහෙයුම් භාර අධ්‍යක්‍ෂ ජෙනරාල් බී.සී.ජෝෂි, ඩික්සිට්ගේ නියෝගය සම්බන්ධයෙන් මගේ ස්ථාවරයට සහාය පළ කළේය. කෙසේ නමුදු හමුදාපති ජෙනරාල් සුන්දර්ජී ඔහුගේ උදහස පළ කර සිටියේය. " (පිට 57)
නමුත් ඩික්සිට් හෝ ඇතැම් විට අගමැති රාජීව් ගාන්ධි විසින්ම දෙන ලද නියෝගය පිළි නොපැදීමේ වන්දිය ගෙවන්නට මේජර් ජෙනරාල් හර්කිරාට් සිංට ඉක්මණින්ම සිදු විය. 1988 ජනවාරියේදී ලංකාවෙන් ආපසු කැඳවන ලද හෙතෙම මහාරාශ්ට්‍ර සහ ගුජරාටයේ රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී.
සිය හදිසි මාරුව සම්බන්ධයෙන් කරුණු දක්වන හර්කිරාට් සිං තවදුරටත් මෙසේ ලියයි:
"මා ශ්‍රී ලංකාවෙන් මාරු කර යැවීමට හමුදා ප්‍රධානී සුන්දර්ජී පොළඹවන ලද්දේ කුමක් විසින්දැයි මට සහතික නැති නමුත්, එල්ටීටීඊ නායකයාට වෙඩි තැබීමට හෝ අත් අඩංගුවට ගැනීමට මට දෙන ලද නියෝගය පිළි නොපැදීම හේතුවෙන් 1987 සැප්තැම්බරයේදී ඉන්දීය මහ කොමසාරිස් ජේඑන් ඩික්සිට් විසින් සුන්දර්ජී වෙත ලියන ලදැයි කියන ලියමන ඊට අදාළ එක් හේතුවක් විය යුතු ය."
කොතරම් මතභේදයන්ට හා දේශපාලන කැළඹීම්වලට තුඩු දුන්නද, මේජර් ජෙනරාල් හර්කිරාට්ගේ කෘතිය ඉන්දීය දේශපාලන විචාරක පැසසුමට නොමදව ලක්වූවකි. 2007 සැප්තැම්බර් මාසයේ 'ෆ්‍රන්ට්ලයින්' සඟරාවට ඔහුගේ පොත පිළිබඳ විවරණයක් ලියූ කෘතහස්ථ ඉතිහාසඥයෙකු හා ලේඛකයෙකු වන ඒජී නූරානිගේ වචන මේ බව සනාථ කරයි: "හර්කිරාට් සිං එල්ටීටීඊ සංවිධානය කෙරෙහි මෘදු බවක් දක්වන්නේ යැයි ඩික්සිට් සහ සුන්දර්ජි කල්පනා කළහ..........ඔහුගේ ඇගයුමෙන් පෙන්නුම් කරන්නේ, ඔහු ඩික්සිට් ඉක්මවා ගිය ප්‍රත්‍යක්‍ෂ ඥාණයක් ඇති යථාර්ථවාදී අයෙක් වූ බවයි."
කොටි සංවිධානයේ නායකයා ජීව ග්‍රහයෙන් ගැනීමට හෝ ඝාතනය කිරීමට ඉන්දීය අගමැතිවරයා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මගින් හර්කිරාට් සිංට දෙන ලද නියෝගය ඇත්තක් නම්, විදේශ ඇමති වීකේ සිංගේ ප්‍රකාශ කරන්නේ බොරුවක්ද?
ඩෙපින්දර් සිං
ආන්දෝලනයට තුඩු දුන්, හර්කිරාට් සිං ගේ ඉහත හෙළිදරව්වට අනුව, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා නිකුත් වූ නියෝගයට අවනත නොවන ලෙස ඔහුට උපදෙස් දෙන ලද්දේ ලුතිනන් ජෙනරාල් දෙඩිපින්දර් සිං විසිනි. ඉන්දියාවේ දකුණු දිග ආඥාවේ සේනාපති ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ඩෙපින්දර් සිං ලංකාවේ ඉන්දීය සාම සාධක මෙහෙයුම් භාර ඒකාබද්ධ සේනා විධායක ලෙස මුලින් පූනේ හිත්, පසුව මදුරාසියේ ශාන්ත ජෝර්ජ් කොටුවේත් ස්ථානගත කරන ලද මෙහෙයුම් මූලස්ථානයේ සිට ක්‍රියා කළේය. හර්කිරාට් සිං දැරූ වගකීම්වලින් ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් හමුදාපති ක්‍රිශ්ණස්වාමී සුන්දර්ජීගෙන් විමසා සිටි බව ලුතිනන් ජෙනරාල් ඩෙපින්දර් සිං සිය අත් දැකීම් අළලා 1992දී ලියන ලද The IPKF in Sri Lanka කෘතියෙහි ලියයි.
'පසුව, හැරී (හර්කිරාට් සිං) සම්බන්ධයෙන් අප අසාධාරණ ලෙස කටයුතු කරන ලද්දේ ඇයිදැයි මම හමුදාපතිවරයාගෙන් විමසීමි. අප සාධාරණ නොවූ බවට ඔහු එකඟ වූ අතර ඊට පිළියම් යෙදිය හැක්කේ තමන්ගේ අනුප්‍රප්තිකයාට බැව් ඔහු කියා සිටියේය. (1988 අප්‍රේල් 30 වැනිදා සුන්දර්ජී සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටි අතර, ඊළඟ හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් වීඑම් ෂර්මාගේ නම නිවේදනය කරනු ලැබ තිබිණ).'
වීකේ සිං විසින් ඉකුත් 14 වැනිදා කර ඇති ප්‍රකාශයට පිටුබල සපයන කිසිදු සාක්‍ෂියක් සිය කෘතියේ ගෙන හැර නොපාන, එවකට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියාව සිටි ඩෙපින්දර් සිං, ඒ වෙනුවට සඳහන් කරනුයේ තද ප්‍රහාරක පිළිවෙතක් අනුගමනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් තමන් හමුදාපති සුන්දර්ජීට අනතුරු හැඟ වූ බවයි. 1987 ඔක්තෝබර් මුල් සතියේ පලාලි කඳවුරේදී තමන් හා සුන්දර්ජී අතර පැවැති සාකච්ඡාව පිළිබඳ ඔහු මෙසේ ලියයි:
"ජෙනරාල් සුන්දර්ජීට මගේ නිර්දේශය වූයේ, තද පිළිවෙතක් කරා අප නොයා යුතු බවත්, එසේ කළහොත් ඉදිරි විසි වසරක් දක්වා දිග්ගැසෙන කැරළිකාරී තත්ත්වයක් තුළ අප කොටුවනු ඇති බවත් ය. පරාජිතවාදී ආකල්පවලට නොයන ලෙස මට අවවාද කෙරුණු අතර මගේ පිළිතුර වූයේ මා හුදෙක් යථාර්ථවාදී වූවා මිස පරාජිතවාදී නොවූ බව ය." (පිට 84)
මේ සියල්ලටත් වඩා, ඉන්දීය විදේශ ඇමතිවරයා විසින් කර ඇති ප්‍රකාශයට සෘජු අභියෝගයක් එල්ල කරන අදහසක් ඩෙපින්දර් සිං සිය කෘතියේ දක්වා තිබේ.
"ප්‍රභාකරන් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට ඉන්දීය සාම සාධක හමුදාවට නොහැකි වූයේ මන්දැයි යන්න ගැන අනේක විධ ප්‍රශ්න නගනු ලැබේ: මේ හා සමාන වඩාත් වගකට නැති චෝදනාවක් වන්නේ ප්‍රභාකරන් මරා නොදමන ලෙස සාම සාධක හමුදාවට නියෝග කෙරී තිබූණේය යන්නයි. එහි පැවති ආකාරයේ වාතාවරණයක් තුළ, විනාශ කිරීම සඳහා හෝ ආරක්‍ෂා කිරීම සඳහා පුද්ගල ඉලක්කයක් තනි කර ගැනීමට තිබූ පුර්ණ නොහැකියාවට අමතරව, කාර්යක්‍ෂම කණිෂ්ඨ නායකත්වයක් තිබීම හේතු කොටගෙන, ප්‍රභාකරන්ගේ මරණය විසින් එල්ටීටීඊ සංවිධානය කැඩී බිඳී යාමට ඉඩක් නොතිබූ බවද අප මතකයේ තබාගත යුතු ය. මෙම ග්‍රන්ථය, නොමගක යාම හේතුවෙන් වුවද යටපත් නොවන අසාමාන්‍ය අභිප්‍රේරණයක් හා විශිෂ්ඨ රණ ශූරත්වයක් පෙන්වූ එල්ටීටීඊයට වම'තින් දක්වන ආචාරයක් වන අතර ඉන්දියානු හමුදාවන් තුළ ඒ සම්බන්ධයෙන් වන යහ ගරුත්වයක් හැමවිටම පවතිනු ඇත. " (පිට 121)
විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශය ඇත්තක් නම් ඩෙපින්දර් සිං ලියා ඇත්තේ මුසාවක්ද?
සර්දේශ්පාන්ඩේ
හර්කිරාට් සිංගෙන් පුරප්පාඩු වූ 54 වැනි පාබල සේනාංකයේ සේනා විධායක ධූරයට මේජර් ජෙනරාල් සර්දේශ්පාන්ඩේ පත්කර එවන ලද්දේ 1988 ජනවාරියේදී ය. ඔහු විසින් සිය අත්දැකීම් පදනම්කොට 1992දී ලියා පළ කළ Assignment Jaffna කෘතියෙහිද කිසි තැනක කොටු කරගනු ලැබූ කොටි නායකයා ඉහළින් ලැබුණු නියෝග මත මුදාහළ බවක් ඔහු නොකියයි. ඒ වෙනුවට ඉන්දීය සේනාංක මුහුණ දී සිටි අභියෝගය ඔහු මෙසේ පහදයි:
"එල්ටීටීඊ සටන්කරුවාට වඩා අභිප්‍රේරිත, ශික්‍ෂිත, කැප වූ සහ දේශපාලනීකරණය වූ වෙනත් සටන්කරුවෙකු හෝ සටන්කාමී කණ්ඩායමක් අභිමුඛ වෙතැයි සිතීම දුෂ්කර ය. ඔවුන්ගේ කැරැල්ල නාගලන්ත සහ මිසෝරාම් ඒවාට වඩා බලවත් එකකි.....සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනය, දේශපාලනීකරණ මට්ටම, භාවමය බැඳියාව සහ එල්ටීටීඊ කෙරෙහි වූ මානසික පරවශභාවය නාගලන්තයේ සහ මිසෝරාමයේ පැවැති තත්ත්වය පරයා සිටියේය. ආහාර සහ ඖෂධ ආදී මූලික අවශ්‍යතා සපුරාලීම මගින් නාග සහ මිසෝ ජනයා විශාල වශයෙන් සෑහීමකට පත්කළ හැකි වුවද, ලංකාවේ අති සංවේදී දෙමළ ජනයා කෙරෙහි එ්වා ඇති කළේ කුඩා බලපෑමකි. (පිට 61)."
කොටි සංවිධානයට එරෙහි ඉන්දීය යුද මෙහෙයුම් අසාර්ථක වීම පිළිබඳ ඔහු විසින් කරන තක්සේරුව, ලංකාවේ ඉන්දීය යුද අත්දැකීම් පිළිබඳ හෙළිදරව් කරන්නේ වෙනත් කතාවකි.
"අපගේ ඒකකයේ සහ යුද සැකසුම්වල අණ දෙන්නන්ද කොටි සංවිධානයේ මානසික බලපෑමට යටත් විය. සාමාන්‍ය ජනයා අතර කෙතරම් ගැඹුරින් කොටි සංවිධානය මුල් බැස ඇත්තේද යන්නත්, ජනයා අප කෙරෙහි කෙතරම් ගුණමකු වී ඇතිද යන්නත්, කොටි සංවිධානය කෙතරම් දුරවබෝධී එකක්ද යන්නත්....පැහැදිලි කිරීම මගින්, අප හමුවේ වූයේ කිසිසේත් සඵල කරගත නොහැකි කාර්යයක් බවත්, අපගේ ප්‍රයත්නයන් අර්ථ ශූන්‍ය බවත් ඔවුහු නිගමනය කළහ.' (පිට 151)
ඇත්ත කුමක්ද?
ඉන්දීය සාම සාධක හමුදාවන්ට අණ දුන් ජ්‍යෙෂ්ඨ සෙන්පතියන් ලෙස ක්‍රියා කළ හර්කිරාට් සිං, ඩෙපින්දර් සිං හා සර්දේශ්පාන්ඩේ යන නිලධාරීන් තිදෙනා විසින්ම ලියා ඇති ස්මරණයන්ගේ සමස්ත සාරය විසින් තහවුරු කරන්නේ ඉන්දියාවේ වියට්නාමය බවට ලංකාව පත් වූ ආකාරය සහ ඊට පිටුබල සපයන ලද දේශපාලන, මූලෝපායික සහ උපක්‍රමික සාධකයන්ගේ සදොස්භාවයයි. ඒ අනුව බලතොත්, වීකේ සිං විසින් නොබෝදා කර ඇති ප්‍රකාශය ඉහතින් කී ජ්‍යෙෂ්ඨ ඉන්දීය හමුදා නිලධාරීන් තිදෙනාගේම අනාවරණයන්ට පරස්පර තොරතුරක් හෙළි කරයි.
එක්කෝ ක්‍රියාන්විත මෙහෙයුම්වල යෙදුණු ඉන්දීය නිලධාරීන් බොරු කියා තිබේ. නැතහොත් වත්මන් ඉන්දීය විදේශ ඇමතිවරයා බොරුවක් කියයි.
මේ දෙපිරිසෙන් ඉන්දීය සාම සාධක හමුදාව ගැන ඇත්ත කියන්නේ කවුද?☐
© JDS